මං ඉගෙන ගත්තෙ ගායනය - ටිකක් විතර රඟපාන්නත් පුළුවන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20210419Nawarathna (3)

“නොකියාම ඇවිත් හිත ඇතුලට
නොකියාම යන්න ගිය දවසක
නොහඩාම විඳිනු තනිකම
මම කාට කියන්නද මේ දුක...”

සිහින් හඬින් අතිශය සංවේදී ලෙසින් ගැයුණු ඒ ගී හඬට මා පෙම් කළේ කනට ඇසුණු පළමු දවසේ පටන්මය. ගායකයකු ලෙස ගී මහ ගොඩාක් ගයා නැතත් ඔහුගේ මේ ගීත හඬ ඇසුණු විටම මට සිතුණේ ඔහු ප්‍රවීණ ගායන ශිල්පියකු විය යුතුය කියාය.
නවරත්න ගමගේ ඔහුය.
නවරත්න ගමගේ, ගායන ලෝකයට අරුමයක් වුවත් ඔහු සංගීත ලෝකයට අරුමයක් නොවේ. උරුමයකි. ඔහුගේ අතින් හැදුණු මියුරු තනු, සංගීත රචනා අනන්තවත් අප අසා ඇති බැවිනි.
මියුරු සංගීත රචනා සේම මියුරු ගායන කෞෂල්‍යයකින් ද යුත් නවරත්න ගමගේ හමුවන්නට නුගේගොඩ චැපල් පටුමගට ගියේම ‘කෝ මේ ගායකයා’ යැයි කුහුලෙනි.
“ඉතින් ඉතින් කාලෙකින්” ඔහු දෝතම එක් කරමින් ලෙංගතුව මා පිළිගත්තේ ඉඳගන්නට අසුනක් ද පෙන්වමිනි.
ඒ මොහොතේත් අලුත් ගී පද රචනයකට තනුවක් සොයමින් සිටි ඔහු ඉදිරියේ සර්පිනාව ද කඩදාසියක් සහ පෑනක් ද තවත් කඩදාසියක් ද තිබිණි.
‘බර වැඩක් වගේ’
මම ඇසීමි.
“අනේ නෑ ශාන්ත, මම මේ අලුත් කොල්ලෙකුගේ සින්දුවක් හදනවා.”
ඔහු කීවේම සිනාසෙමිනි.
‘වෙන වෙන ප්‍රශ්න තිබුණට සින්දු හැදෙන එකේ නම් අඩුවක් නැහැ නේද?’
මම කතාබහ ආරම්භ කළෙමි.
“අද අලුත් ගී පද රචක පරපුරක් බිහිවෙලා ඉන්නවනේ. ඒගොල්ලෝ හොඳ ලස්සන සින්දු ලියනවා. ඉතින් මමත් ඔය පුළුපුළුවන් විදිහට ඔය සින්දුවලට තනු දාලා දෙනවා.”
ඔහු හිනාවකින් මුව සරසා ගත්තේය.
‘ඒ කියන්නේ පහුගිය දවස්වල සෑහෙන්න සින්දු කළා ද?’
“සෑහෙන්න නෙමේ නොසෑහෙන්න.”
ඔහු යළිත් සිනාසේ.
“ඒ අතරේ විශේෂයි කියලා හිතෙන සින්දු වගේකුත් කෙරුණා. එකක් මහාචාර්ය සනත් නන්දසිරි ගයන බුදු ගුණ ගීතයක්. ඒක ලියලා තිබුණෙත් මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර.”
‘සනත් ප්‍රණීත් කියන්නේ ගී ලොවේ සුසංයෝගයක්නේ.’
මම කීවෙමි. ප්‍රණීත් අයියා ලියා සනත් අයියා ගැයූ ‘වරදක් කළත්’, ‘නිල් සඳ මඩල බැස ගිහින්’, ‘මම නම් ආසයි අහන්න නයනා’, ‘තුංමං හන්දියේ’ වැනි අතිශය ජනප්‍රිය ගීතාවලිය සැණෙකින් මසිතෙහි අවදි විය. 
“මේක බුදු ගුණ ගීතයක්. මේ වෙසක් පෝයට කෙරෙන වැඩක්.”
ඔහු ඌන පූර්ණය කළේය. 
“ඒ එක්කම ආචාර්ය නන්දා මාලිනියට ‘සන්නාලි තාත්තා’, අමරසිරි පීරිස්ට ‘වැව් පිරිත’, සුනිල් එදිරිසිංහට ‘විරාගය මගේ’, ජයලත් මනෝරත්න ලියපු අන්තිම ගීතය ‘ නාට්‍ය බස් එක’ කියන ගීත පහුගිය දවස්වල කළා.” 
‘නවා’
මට එක්වරම කියැවිණි. ඒ කලා ලෝකයේ නවරත්න ගමගේට හිමිවුණු ආදරණීය නමයි. ඒ නම ඔහුට ලැබෙන්නේ ඔහු හැමදාමත් අලුත් අලුත් වැඩ කරන නිසාදැයි මම නොදනිමි. නමුත් නවරත්න යන්න ‘නවා’ ලෙස කෙටි වී කොයි කාගේත් කටට හුරු වී තිබේ. 
‘ඔයා ඔය සංගීතේ පැත්තට බරවුණේ ඉස්කෝලේ කාලේදීම ද?’
මම ඔහුගේ නිර්මාණ දිවියේ ආරම්භය ගැන දැනගනු රිසින් ඇසීමි. 
“ඉස්කෝලේ කාලේ නම් මං සංගීතය ඉගෙන ගත්තේ නැහැ.” 
ඔහු කීවේය. 
‘එතකොට?’
“ඉස්කෝලෙ කාලෙන් පස්සේ මම බී. වික්ටර් පෙරේරා සර්ගේ පන්තියකට ගියා. එතනින් තමයි මම ශාස්ත්‍රීය සංගීතයයි, ගායනයයි ඉගෙන ගත්තේ.” 
‘ගායනය?’
මා ඇසුවේ හඬබරකරය
“ඔව්. මං ප්‍රගුණ කළේ ගායනය.”
‘කෝ ඉතින් ඒ ගායකයා, සංගීතඥයා විසින් පස්සේ කාලෙක හංගගත්ත ද?’
“ඔව් ශාන්ත. ඇත්තටම වුණේ ඒක.”
ඔහු යළිත් ඔහුටම ආවේණික ලෙංගතු සිනාවෙන් දෙතොල තෙමා ගත්තේය. 
‘කොහොමද නවා, ඔය සංගීත ක්‍රියාකාරකම් පටන් ගැනෙන්නේ?’
ගායකයා, සංගීතඥයකු වීමේ රහස හිතට වද දෙන නිසාම මම ඇසීමි.
“ඒක ටිකක් දිග කතාවක් ශාන්ත. පටන් ගන්න වෙන්නේ මුල ඉඳලමයි.” 
‘කමක් නෑ කියමු.’ 
මම එකඟ වීමි. 
ඔහු යළිත් ඔහුගේ සිනාව දෙතොල’තර ඇඳගත්තේය. 
“ඒ කාලේ ගංගොඩවිල කියන්නේ ලස්සන ගමක්. ගස් වැල් පිරිලා, කුඹුරුයායවල් තිබුණා. අද තියෙන මේ නාගරිකත්වය තිබුණේම නැහැ. මම ඉගෙන ගත්තේ ශ්‍රී රේවත මහ විදුහලෙන් සහ සුභද්‍රාරාම පිරිවෙණෙන්. ඔය කාලේ අපේ ගම්වල තියෙන මඟුල් ගෙදර, මරන ගෙදර, පිරිත් ගෙදර, තොවිල් ගෙදර ඔය හැම එකකම අපි ඉන්නවා. ඒවායේ තියෙන සංස්කෘතික ක්‍රියාකාරකම් බලනවා. එතකොට අපේ ගෙවල් ළඟ තිබුණා බාලිකා නිවාසයක්. ඒකෙත් නිතරම වගේ සංස්කෘතික ප්‍රසංග තියෙනවා. මයුරා වන්නම, තුරඟා වන්නම වගේ වන්නම් එහෙම මම මුල්වරට දැක්කේ එතැනින්. ඒ වන්නම්වලට ගෑනු ළමයි නටන හැටි එහෙම මම බලා හිටියේ හරි ආසාවෙන්. 
එතකොට දහම් පාසලේ විවිධ උත්සව, ගමේ අවුරුදු උත්සව ඔය හැම උත්සවයකම සංස්කෘතික ක්‍රියාකාරකම් මගේ හිතට වැදුණා. 
ඔයා දන්නව ද ශාන්ත ඒ කාලේ මං සින්දු කියනවා. විශේෂයෙන් ඉස්කෝලේ සාහිත්‍ය සමිතියේ එහෙම ඒ කාලෙත් මං ළමයි අතරේ ජනප්‍රියයි ගායකයෙක් විදිහට.”
‘ගායකයෙක් විතරම ද?’
මම ඇසීමි.
“නෑ මම හොඳ පාඨකයෙකුත් වුණා. පැපිලියානේ තිබුණා ජනතා ප්‍රගති පුස්තකාලය කියලා දැවැන්ත පුස්තකාලයක්. මම ඕකේ තිබුණු හැම පොතක්ම ආශාවෙන් කියෙව්වා. මගේ රසිකත්වය හැදුණේ එතැනින් කිව්වත් හරි. හැබැයි ඒ ලෙවල් විභාගේ ඉවර වුණ ගමන්ම මම කාර්මික ක්‍ෂේත්‍රයේ පුහුණුවකට ගියා. කලම්බු කමර්ෂල් ඉංජිනේරු ආයතනයට. හැබැයි ඔය කාලේ මම කොළඹ මහජන පුස්තකාලෙට බැඳෙනවා. ඔන්න ඔහොම ඉන්දැද්දි තමයි රෙජිනෝල්ඩ් ජයමාන්න මට විකල් සමයමට කතා කරන්නේ.” 
‘පටන් ගන්නෙම විකල් තැනකින්?’
මා ඇසුවේ නැවත වතාවක් නවාගේ සිනාවක් බලාපොරොත්තුවෙනි. මා සිතූ පරිදිම ඔහු සිනාසුනි.
“විකල් සමයමේ මම ගී ගයමින් රඟපෑවා.”
ඔහු කීවේය. 
‘එතකොට නළුවෙක්?’
“දන්නැද්ද ඉතින් ටිකක් රඟපාන්නත් පුළුවන්.” 
‘සින්දු කියලා, රඟපාලා ඒ ඔක්කොම පැත්තක දාලා ද සංගීතඥයෙක් වෙන්නේ?’ 
මම යළිත් ඇසීමි.
“එතෙන්ට පාර කපන්නේ දීප්ති කුමාර ගුණරත්න. එයා කළා ‘නිරුවත’ කියලා නාට්‍යයක්. ඒ නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය කරන්නේ මම. ඊට පස්සේ දිගින් දිගටම මට නාට්‍ය ලැබෙනවා සංගීතවත් කරන්න. ප්‍රසන්නජිත් අබේසුන්දරගේ දොරේදෙණ්ඩා, දුක්ගන්නාරාල එහෙම. ඒත් එක්කම මට සුදර්ශිය ගෙදර වගේ වෙනවා. සෝමලතා සුබසිංහගේ, සරච්චන්ද්‍රයන්ගේ, ජයලත් මනෝරත්නයන්ගේ නාට්‍ය මට ලැබෙනවා. 
ඔය අතරේ තමයි මට නන්දා මාලිනියගේ සත්‍යයේ ගීතයේ අත්වැල් ගායනා කරන්න ලැබෙන්නේ.”
‘අත්වැල් ගායනා... ඒ කියන්නේ ආපහු මුල්ම තැනට යන්න ලැබෙනවා?’
“ඔව්නේ...”
‘කොහොම ද ආයෙමත් එතෙන්ට පාර කැපෙන්නේ?’
“කීර්ති පැස්කුවල් නිසා. කීර්තිට එන්න බැරි වෙන දවස්වලට අත්වැල් ගායනා කරන්න තමයි මාව තෝරා ගන්නේ. කීර්ති මට ලියුමක් දීලා නන්දා මාලිනිය හමුවෙන්න කිව්වා. මං ගියා. නන්දක්කා මට සින්දු කියන්න මල්ලි කියලා සතුටු වෙලා මාව තෝරා ගත්තා.” 
‘මතක ද මුලින්ම අත්වැල් ගායනා කළ දවස?’
“මතකයි...”
නවා හිනැහෙන්නට විය. 
‘ඇයි හිනාවෙන්නේ?’
මගේ ප්‍රශ්නයට පිළිතුරු නොදීම ඔහු හඬින් හිනැහේ.
“මම සත්‍යයේ ගීතය මුලින්ම බැලුවේ ලුම්බිණි රඟහලේදී. ඒකත් බැලුවේ හොරෙන් පැනලා. මට ඉස්සෙල්ලම කෝරස් කියන්න ලැබුණෙත් ලුම්බිණි රඟහලේදීමයි. ඒකයි හිනා ගියේ.”
මම ද ඔහු සමඟ හිනාවීමි.
‘ඒ කියන්නේ මුලින් නන්දක්කට පාඩු කරලා.’
ඔහු යළිත් සිනාව අලුත් කරගත්තේය. 
“ඒ කාලේ ලුම්බිණියට එන නාට්‍ය වුණත් අපි බලන්නේ හොරෙන් පැනලා.”
‘කොහොම ද නවා සත්‍යයේ ගීතයේ අත්දැකීම්?’
“රෝහණ වීරසිංහ, එච්.එම්. ජයවර්ධන, කලණි පෙරේරා, තිස්සසිරි පෙරේරා, සේන වීරසේකර වගේ අය හඳුනාගත්තේ එතැනින්.”
නවා යළි හිනැහේ.
එදා සංගීත ලෝකයේ දැවැන්තයන් සිටි තැන, අද අපේ නවාට ද ඉඩක් ලැබී තිබේ. එහෙත් එතැනට එන්නට ඔහුට මඟ පෑදුණේ කෙසේ ද? කොතැනකදී හරි කවදාක හරි ඔහුටත් ගීතයකට සංගීතය නිර්මාණය කරන්නට ඉඩ ලැබෙන්නට ඇත.
‘ඔයාට මුලින්ම ගීතයකට තනු සංගීතය නිර්මාණය කරන්න ලැබෙන්නේ කොහොම ද නවා?’
මම තාමත් ඔහු නොකියූ කතාව අසාගනු රිසින් විමසීමි.
“ඔය සුදර්ශියේ ඉන්න කාලේ ස්වර්ණ ශ්‍රී ඥානරත්නගෙයි පාලිත සිල්වාගෙයි නිර්මාණයකට සංගීතය නිර්මාණය කරන්න ලැබෙනවා. ඔය නිර්මාණය අහන නිමල් ලක්ෂපති ආරච්චි මට දෙනවා වැඩක්, අනුරාධා ශ්‍රී රාම් කියන ඉන්දීය ගායිකාව කියන ගීත වගේකට සංගීතය නිර්මාණය කරන්න. මම ඔය වැඩ කළේ උපරිම කැපවීමෙන්. ඒ නිසාම මට වැඩක් බාරදුන්නු හැමෝම උපරිම සතුටු වුණා. 
ඔය අතරේ දවසක් දා මට කොළඹ කැම්පස් එකේ ළමයෙක්ගේ සින්දුවකට සංගීත නිර්මාණයක් කරන්න ලැබෙනවා, පතන් බිම කියලා පොතක් දොරට වඩින උත්සවයකදී. ඒ පොතේ ඇතුළත් ගීයක් දෙකක් ගායනා කෙරෙනවා. ඉතින් ඔය වැඩේ කොහොමින් හරි එන්නේ මට. මමත් පුළුවන් උපරිමයෙන් මේ කටයුත්තට දායක වෙනවා. ඔය සින්දුව කිව්වේ ප්‍රදීපා ධර්මදාස. සින්දුව කිරි සිරා ඉරී කියලා. සින්දුව ලියලා තිබුණේ යසනාත් ධම්මික බණ්ඩාර කියලා කෙනෙක්. 
ඔතෙනදී තමයි මට යසනාත්ලා, දුක්ගන්නාරාලලා මුණුගැහෙන්නේ. ඒ කාලේ යසයා අලුත් සින්දු කළානේ, ‘ගාන තෙල් සඳුන් වරලස’ වගේ. මේ සින්දු සෙනේෂ් දිසානායක බණ්ඩාර රූපවාහිනියට කළ යාත්‍රා වැඩසටහනත් එක්ක ජනප්‍රිය වෙනවනේ. ඔන්න එතකොට මාවත් නිකන්ම චරිතයක් වෙනවා. ඒත් එක්ක මට නිර්මාණය කරන්න සින්දු ගොඩක් ලැබෙනවා. හීන අහුරු මුකුළු කරන සුවඳ මල් රේණු පිසගෙන වගේ. 
ඔය එක්කම හිතින් විතරක් පෙම් කරන්නම්, කිරිවෙහෙරට ඉහළින් වගේ කැසට් සින්දුත් මහ ගොඩක් කරනවා. 
ඔය අස්සේ උපුල් ශාන්ත සන්නස්ගල සින්දුවක් අරන් මං ගාවට එනවා. 
‘ඔබ එන්න ඇවිත් යන්න එන්න...’
මේ වචනවල තනුවක් දාන්න තරම් ගලාගෙන යන ගතියක් තිබ්බේ නෑ. මං උපුල්ට කිව්වා මේ වචන වෙනස් කරන්න වෙයි, මේකට තනුවක් දාන්න බැහැ කියලා.
උපුල් මගේ දිහාවේ බලාගෙන හිටියා. 
මේක තමයි නවා සින්දුව, ආයේ ඕකේ එක වචනයක්වත් වෙනස් වෙන්නේ නෑ. උඹට පුළුවන් මේකට මෙලඩිය දාන්න කියලා කිව්වා. පස්සේ මං ඒ අභියෝගය බාරගත්තා. ඇත්තම කිව්වොත් ඒක අභියෝගයක්.”
‘ඒ වුණාට නවා ඒක මාර ලස්සන සින්දුවක්නේ?’
“ඔව්. මොරිස් විජේසිංහගේ හඬත් එක්ක ඒක නැගලා ගියා. අන්තිමට වස්සාන සිහිනය චිත්‍රපටියටත් ඔය සින්දුව ගත්තනේ.” 
නවා හපනෙකි. 
මේ වනවිට උදාවී තිබුණේ නවාගේ නව යුගයකි. ඒ වනවිට ඔහු ඔහුගේ පළමු රස්සාවෙන් ඉවත්ව සිටින්නට ද ඇත. ඔහු පූර්ණ කාලීනව සංගීතයට කැපවන්නට ඇත. එතැන් පටන් නවරත්න ගමගේ සංගීතවත් කළ නාට්‍ය, ගීත, ටෙලිනාට්‍ය, චිත්‍රපට බොහෝය. ඉන් සමහරකට ඇගයීම් ද තවත් සමහරකට සම්මාන ද හිමිවිණි. ඒ සම්මාන සියල්ල විසිත්ත කාමරයේ පැත්තක ඇති රාක්කයක පිළිවෙළකට අසුරා තිබේ. මම මොහොතකට ඒ සම්මාන ඔස්සේ නෙත් දුවවමි. සරසවි, සුමති, ජනාධිපති, ඕ.සී.අයි.සී, රයිගම්, රාජ්‍ය සංගීත ඇතුළු හැම සම්මාන උළෙලකදීම ලැබුණු සම්මාන ඒ අතර තිබේ. 
“මේ බුන්කා සම්මානේ නාට්‍ය කලාවට කළ සේවය වෙනුවෙන් ජපානෙන් දුන්නේ.”
නවා එක් සම්මානයක් මට පෙන්වීය.
‘මේ ඔක්කොම මාහැඟි සම්පත් නේද?’
මම නවාගේ මුහුණු බලමින් අර සම්මානය දෝතින් ගතිමි. ඔහු හිනැහෙන්නේ සුපුරුදු අහිංසක විදිහටමය. 
“තේකක් බීලා ඉම්මු.” 
නවා වෙනස්ම කතාවක් කීවේය. 
බුන්කා සම්මානය ආපසු රාක්කයෙන් තැබූ මම නවා දෙස බැලීමි. ඔහු ළඟම සිටියේ තේ බන්දේසියක් දෝතින් ගත් කාන්තාවකි. 
“මේ ප්‍රීති. ශාන්ත දන්නවනේ මගේ වයිෆ්ව.”
නවා වහා ඇය හඳුන්වා දුන්නේය. ඇය සුහදව සිනාසී ආපසු ගෙට ගියාය. 
“ප්‍රීති මට මුණගැහෙන්නේ එයා ඒ ලෙවල් කරන කාලේදී. මෙයා ඇවිල්ලා අපේ මහප්පලාගේ ගෙදර නැවතිලා ඉස්කෝලේ ගියේ.”
නවා අතීතයක විඳි ප්‍රේමයේ සුවඳ ඔහුගේ හද විලේ පිපුණු හැටි කියන්නට වූයේය. 
‘එතකොට නවා මහප්පලාගේ ගෙදර නිතර නිතරම යන්න ඇති. ඒ ගියේ ප්‍රීතිට පාඩම් කියලා දෙන්න ද? නැත්නම් මහප්පයි ලොකු අම්මයි දැක බලා ගන්න ද?’
මම නවාගෙන් අසමි. 
“ලොකු අම්මයි මහප්පයි බලන මුවාවෙන් ප්‍රීතිව බලන්න.” 
නවා සිනාසේ.
එහෙත් ඒ ගැන වැඩිපුර ඇසිය යුතු නැත. ඔවුන්ගේ ප්‍රේමය දෙහදක දලුලා මල් පුබුදුවන්නට ඇත්තේ හැම පෙම් කතාවක්ම ලියැවෙන පරිද්දෙනි. අන්තිමේදී ඔවුහු විවාහ වී පුතුන් දෙදෙනෙකු ලබන්නට වාසනාවන්ත වූහ. 
“අද ලොකු පුතා ෂොෆ්ට්වෙයාර් ඉංජිනේරුවෙක්. එයා බැඳලා දරුවනුත් ඉන්නවා. පොඩි පුතා මැනේජ්මන්ට් ඉගෙන ගන්නවා.” නවා දිග කතාවක් කෙටියෙන් පැවැසුවේය. 
පනාමුරේ, කලකට ඉහත නවාගේ අප්‍රමාණ මහන්සියෙන් බිහිවුණු ඔපෙරාවකි. එකල මේ ඔපෙරාව ගැන බොහෝ දෙනා බොහෝ දේ කතා කළේය. 
‘පනාමුරේ ආයේ පෙන්නන අදහසක් තිබ්බ නේද නවා?’
තේ බී අවසන මම නවාගෙන් විමසුවෙමි. 
“සූදානමක් තිබ්බා. ඒ වගේම තව ෂෝ එකක් කරන අදහසකුත් තිබ්බා. ඒත් මේ කොවිඩ් ඒ ඔක්කොම යටපත් කළානේ.” 
‘ෂෝ එක සඳ එළිය ද?’ 
මම සිනාසුනෙමි. 
“නමක් දාලා තිබ්බේ නෑ ශාන්ත.”
‘මම ඇහුවේ ඔයාගේ කලින් ෂෝ එක සඳ එළියෙන් දෝතක් නිසා. මේක සම්පූර්ණ සඳ එළිය වෙන්න එපායැ.’
මම විහිළුවට කීවෙමි. 
නවා, සඳ එළියෙන් දෝතක් සංගීත ලොවට ගෙන ආවේ මීට දහසය වසරකට පමණ පෙරාතුවය. එදා අපි දෝතට ගත් සඳ එළිය තාමත් අපේ දෝත්වල තැවරී තිබේ. 
මම මොහොතකට අහස බලමි. සඳ එළියෙන් දෝතක් යළිත් පෙරාගන්නට සඳ අහසේ සිටී දැයි මම විමසිලිමත් වීමි. 
නැත. 
ඉර ද තාමත් බටහිර අහස හැරගොස් නැත. එනිසාම අවශ්‍ය නම් දොඩමලු වීම සඳහා ඉර හැංගෙන හැන්දෑවේ තවත් කාලය ඉතිරි වී තිබේ. 
එහෙත් මම යන්නට හැරුණෙමි. 
නවා තවමත් දශක හතරකට පෙර දුටු සුන්දර ගම්මානයේ සුන්දරත්වය හිතේ තියාගෙන සතුටුවන්නෙකි. ඔහු තාමත් එදා ගමෙන් නැගුණු ඉරටත් ඒ හැන්දෑවටත් ආදරය කරයි. අදටත් ගීයකට තනුවක් හදද්දී ඉර ගෙදර දුවපු හැන්දෑවන් ඔහුට සිහිපත් වේ. 
“ඉර ගෙදර දුවන හැන්දෑවේ කේතකී අරණේ
පෙර ඔයයි මමයි ඇවිදපු තැන්වල දුක පිරුණ
යළි හීනෙන්වත් එන්නැත්නම් මගේ රත්තරනේ
සුදු මලක් වෙලා හිනැහෙනවද ගිනිගත් යහනේ...” 
ඉන්දික පල්ලෙවත්ත නැමැති නවක ගායකයකු වෙනුවෙන් නවා මෑතකදී සංගීතවත් කළ ගීතයක පද මගේ මතකයේ අලුත් වෙද්දී මම චැපල් පටුමගට පයක් තැබීමි. 
‘නවා, අර නවරත්න ගමගේ කියන ගායකයාට හැංගෙන්න දෙන්න එපා...’ 
මම ඔහුට මතක් කළෙමි.

ශාන්ත කුමාර විතාන

20210419Nawarathna (1) 20210419Nawarathna (2) 20210419Nawarathna (3)Maker:S,Date:2017-10-21,Ver:6,Lens:Kan03,Act:Lar02,E-Y 20210419Nawarathna (5)