කරුණාරත්න දිවුල්ගනේගේ හඬින් සුනේත්‍රා අලුත්දුන්න ගේ ගී පද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ අහස මේ වගේ 
ගන නිල් සළුවකින් එතී 
සැරසුණු එක් වසන්තයක 
හමුවුණා අපී 
ගහකොළ ද මල් පිපී 
සැරසී සුළඟෙ දඟවේවී 
ඔබයි මමයි ළං කළ හැටි 
සිහිනයක් වැනී 

ඒ අතීතයේ ඔබ මිමිනූ
වදන් යළි යළී
රාව නගන විට දෙනුවන් 
බොඳව යයි සැලී 
අතීතයේ මතක සුවඳ 
සුසුම් හා වෙලී 
නටබුන් සෙනෙහසේ නුවර 
ගොස් ලැගුම් ගනී 

ඒ අහසමයි යළිත් 
අද නිල් සළුවකින් එතී 
වසන්තයට මල් පිපෙනවා 
සුළඟෙ දඟවෙවී
වසත් සියොත් කැල ගැයුවද 
ප්‍රේමයේ කවී 
අපේ හදේ වස්සානය 
තවම නිම නැතී 

පෙබරවාරිය යනු පාසල් වල නිවාසාන්තර ක්‍රීඩා තරග පැවැත්වෙන කාල වකවානුවයි. පාසලේ පංති කාමරවල අධ්‍යාපන කටයුතුවලට මද විරාමයක් දී ළමයි සියල්ලන්ම පිට්ටනියට බහින්නේ මේ කාලයේය. ඒ නිසාම ගුරුවරු ද මද විවේකයක් ලබති. 
සුනේත්‍රා අලුත්දුන්න එවක උගන්වමින් සිටියේ මාතලේ සුජාතා බාලිකාවේය. 
යොවුන් බාලිකාවෝ පිට්ටනියේ ඔබ මොබ දුව පනිමින් ක්‍රීඩා කරද්දී සුනේත්‍රා සහ තවත් ගුරු මෙනෙවියක පිට්ටනිය අද්දර වූ විසල් අඹ ගසක් සෙවනේ වාඩි වී සිටියහ. 
මම නම් කැමතිම පෙබරවාරියට බලන්නකෝ අහසෙ නිල්පාට විතරක් යෙහෙළි ගුරු මෙනවිය, සුනේත්‍රාට කීවේ විසල් වූ නිල් අහස පෙන්වමින්ය. 
ඒ වුණාට හිතේ රැඳුණු වස්සානය මේ පෙබරවාරියේදීත් මතක් වෙනවා.
සුනේත්‍රා කීවාය. 
එවකටත් ඇය කවි ලියමින් සිටියාය. උසස් පෙළ පංතියේ සිසුවියකව සිටි වකවානුවේ සිටම කවියට ඇලුම් කළ සුනේත්‍රා තම යෙහෙළියට කීවේද කවියක් වැනි කතාවකි. 
උඹ ඔය කතාව කිව්වාම මට මතක් වුණේ මානෙල් ටීචර්. 
යෙහෙළිය කීවාය. 
එතැන් පටන් අහස ගැන කියැවුණු ඔවුන්ගේ කතාව මානෙල් වෙත යොමු විය. 
මානෙල් කිව්වේ අර සුදු ලස්සන ටීචර් නේද? අවුරුදු හතළිස් පහක විතර පෙනුමක් තියෙන. 
සුනේත්‍රා ඇසුවාය. 
ඔව් එයා තමා මට නම් එයාව දැක්කාමත් පව් කියලා හිතෙනවා. 
ඇයි? 
ඇයි කියන්නේ එයා බැඳලා නැහැනේ. 
බොරු නම් කියන්න එපා. එයාගේ ලස්සනට කොල්ලො පෝලිමේනේ පස්සෙන් එන්න ඇත්තේ. උන් පිස්සුවෙන් වගේ ආදර යෝජනා කරන්න ඇත්තේ.
එයා බැඳලා නැහැ කිව්වට මමත් විශ්වාස කළේ නැහැ මුලින්. ඒත් එයාම එයාගේ කතන්දරේ කිව්වාම මට විශ්වාස කරන්න සිද්ධ වුණා. 
මොකක්ද ඒ කතාව? 
සුනේත්‍රා ඇසුවේ ඕපාදූපවලට ගැහැණු සිත් ඇදී යන නිසාම නොව හිතේ උපන් කුහුල සංසිඳවා ගනු පිණිසය. 
ඒ ලෙවල් පංතියේ ඉගෙන ගන්න කාලේ යාබද ස්කෝලෙක බෝයි කෙනෙක් ගැන එයාට හිතක් ඇති වෙලා. ඒත් ඉගෙනගන්න නිසා එයා එයාගෙ හිත හංගගෙන. අර බෝයි දැක්කත් හොරෙන් බලලා මූණට අහක බලාගෙන ගිහින්. 
ඔහොම කාලයක් ගත වෙලා ගුරු පත්වීමකුත් ලැබුණට පස්සේ ගෙදරින් මෙයාට ප්‍රපෝසල් ගෙනත්. 
ඔය වෙලාවේ මානෙල් එයාගේ අම්මට කියලා තියෙනවා උසස් පෙළ පංතියේදී දැකපු බෝයි ගැන. මම එයාට නම් කැමතියි අම්මා. වෙන කිසිම කෙනෙක් ගැන මගේ හිතේ කැමැත්තක් ඉපදෙන්නෙ නැහැ. 
මේ කතාව දැන ගත්තට පස්සේ මානෙල්ගේ අම්මයි තාත්තයි තමන්ගේ දුවගේ හිත ගිය ඉලන්දාරියා ගැන විපරම් කරලා. ඒත් ඒ වෙද්දි ඒ බෝයි බඳින්න ලෑස්ති වෙලා ඉඳලා තියෙන්නේ. ඒ බව දැන ගත්තාම මානෙල්ට දුක හිතිලා. ඉස්කෝලෙ යද්දි තමන්ගේ හිත හංගගත්තු මෝඩකම ගැන එයා දුක්වෙලා. 
ඒත් ඉතින් මොනව කරන්න ද? කාලයක් තමන්ගේ හිත හංගගත්තු විදිහටම එයා පාඩුවේ ඉඳලා. ප්‍රපෝසල් ආවත් ඒ කවුරුවත් ගැන හිත ගිහින් නැති නිසා එයා හැමදාම තනියෙම ඉඳලා. 
යෙහෙළිය කී විට සුනේත්‍රාගේ දෑසේ විමතිය සටහන් විය. 
ප්‍රේමය යනු මේ තරම්ම බැඳීමක් දැයි සුනේත්‍රා කල්පනා කළාය. සමහරු ප්‍රේමය වෙනුවෙන් අපමණ කැප කිරීම් කරද්දි තවත් සමහරෙක් ප්‍රේමයේ මුවාවෙන් වංචා කරති. රවට්ටති. 
ඉතින් මානෙල්ගේ ඒ උතුම් ප්‍රේමය එමොහොතේ පටන් සුනේත්‍රාගේ හිතේ රිදිල්ලක් ඇති කළේය. 
අර පෙබරවාරියේ සුන්දර නිල් අහසත් මානෙල්ගේ හිත හැඬවූ වස්සාන ප්‍රේමයත් ඇගේ හිතේ කවියක් ඉපැද්දවිය. ඒ පැතුම් ආකෘතික වශයෙන් කවියකට වඩා ගීයකට නෑකම් කීවේය. 
ඔය අතරතුර ඇයට කරුණාරත්න දිවුල්ගනේ ප්‍රවීණයාගේ පුවත්පත් පිළිසඳරක් කියවන්නට ලැබිණි. එහි ඔහු කියා තිබුණේ හොඳ ගී පද රචනාවල හිඟයක් පවතින බවය. 
මගේ මේ පද රචනය හොඳ වෙයි ද දන්නෑ. 
එම ලිපිය කියැවූ ඇය තමන්ටම කියා ගෙන ඒ පද වැල කරුණාරත්න දිවුල්ගනේට තැපැල් කළාය. 
ඒ ඇගේ දුරකථන අංකය ද සමගිනි. සතියකට පමණ පසු ඇයට ඇමතුමක් දුන් දිවුල්ගනේ කීවේ පද රචනය හොඳ එකක් බවය. 
කාලය ගෙවී ගියේය. සති මාස අවුරුදු වී අවුරුදු දෙකක් ද නික්ම ගිය පසු එක් දිනෙක දිවුල්ගනේ ගෙන් යළි ඇමතුමක් සුනේත්‍රාට ලැබිණි. 
මම ඔයාගේ සිංදුව ගායනා කළා. 
දිවුල්ගනේ කීවේ සුනේත්‍රාගේ හිත අප්‍රමාණ ප්‍රබෝධයකට පත් කරමිනි. 
දිවුල්ගනේ එවා තිබූ ගීතයට කන්දුන් විට ඇයට සිය දෙසවන අදහා ගත නොහැකි විය. ලියූ පදවැලකට වඩා හඬින් ඔපවත් වුණු ගීතයක රසය මොනතරම්ද?
ගීතයට තනුව නිර්මාණය කර තිබුණේ නාලක සම්පත් වීරසිංහ සහ කරුණාරත්න දිවුල්ගනේ එක්වය. සංගීත නිර්මාණය තිස්සසිරි පෙරේරාගෙනි.

ශාන්ත කුමාර විතාන

20210419Song-1