ඇඳුම් මහන යන්ත්‍රයෙන් සිතුවම් මහන නිර්මාණකාරිනිය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20210420kibulapitiya-4

සිතුවම් ඇඳීම සහ ඇඳුම් මැසීම ක්ෂේත්‍ර දෙකකි. මෙම ක්ෂේත්‍ර දෙකම එකක් බවට පත්කරමින් සිතුවම් මැසීමේ කලාව නිර්මාණය කළ නිර්මාණ ශිල්පිනියක් පසුගිය දිනෙක අපට හමුවිය. කිඹුලාපිටිය, කටියල ප්‍රදේශයේ ජීවත් වන රසිකා උදේනි ධර්මසේන නම් වන ඇයට ඕනෑම සිතුවමක් තම රෙදි මැසීමේ යන්ත්‍රයෙන් නිර්මාණය කළ හැක.

''මම මේ විදිහට රෙදිවල චිත්‍ර මහන්න පටන් ගත්තේ පාසල් යන කාලේ ඉඳලමයි. මට මතක විදිහට උසස් පෙළ කාලෙදි වගේ. විශේෂයෙන් පුහුණුවීමක් හෝ හැදෑරීමක් ඒ කාලෙ තිබුණෙ නැහැ. මගේ අම්මා ඇඳුම් මසන්නියක්. අම්මා ඇඳුම් මැහුවා විතරයි. එයා එම්බ්‍රොයිඩ්ර් කළේ නැහැ. ඉතින් මම පොඩි කාලෙ ඉඳලා අම්මා ඇඳුම් මහන තැනට වෙලා ඉන්නවා. අම්මා එයාගෙ පරණ කැඩිච්ච මැෂිමක් මට දීල තියෙනවා. මම ඒකෙන් එක එක ඒවා මහනවා. එහෙම පරණ රෙදි කෑලි හතර වටේට කරකව කරකව මැහුවා. ඒක කළේ එහෙම ඇඳුම් මහන්නම නෙවෙයි. සෙල්ලමට වගේ. එතැනින් තමයි මට මෙහෙම සිතුවම් මහන්න හැකියාව ලැබෙන්න ඇත්තේ කියලයි මම විශ්වාස කරන්නේ. මේක මගේ විශේෂ හැකියාවක් කියලත් කියන්න පුළුවන්.''

රසිකා මහත්මිය අප සමග කතාව ආරම්භ කළේ එලෙසිනි. ඇඳුම් මැසීමේ යන්ත්‍රයකින් විවිධ රටා මවමින් නිර්මාණය කළ ඇඳුම් මෝස්තර ඕනෑතරම් අප දැක ඇත. එමෙන්ම නිමි ඇඳුම්වලට ඕනෑතරම් නූල් භාවිතයෙන් නිර්මාණය කරන කැටයම්ද දැක ඇත. නමුත් සාමාන්‍ය ඇඳුම් මැසීමේ යන්ත්‍රයකින් සම්පූර්ණයෙන්ම සිතුවමක් නිර්මාණය කිරීම අතිශය සංකීර්ණ ක්‍රියාවලියකි.

''මුලින්ම මේ විදිහට චිත්‍රයක් මැහුවේ මට වයස අවුරුදු දහඅටේදී. ඒ සමනළයෙක්. ඒක අදටත් මගේ ළඟ රාමු කරලා තියාගෙන ඉන්නවා. මුලින්ම මේක පටන් ගත්තේ විනෝදාංශයක් විදිහටයි. යාළුවන්ගේ විශේෂ උත්වසව වලදි තෑගි විදිහට දුන්නා. එයාල ඉල්ලපු ඒවා මහල දුන්නා. එහෙම කාලයක් යද්දි මට ඇණවුම් එන්න පටන් ගත්තා.''

ඇය නිර්මාණය කරන මෙම සිතුවම් ඈත සිට දුටු විට පෙනෙන්නේ තීන්ත හෝ සායම් භාවිත කරමින් නිර්මාණය කර ඇති බවකි. නමුත් සිතුවම ළඟට ගෙන නරඹන විට සාමාන්‍ය රෙදි මැසීමේ යන්ත්‍රයකින් මැසූවක් බව පැහැදිලිව පෙනී යයි. රසිකා මහත්මිය මෙලෙස සිතුවම් මසන ආකාරය පිළිබඳව මෙසේ පැවසුවාය.

''මුලින්ම මම රෙද්දේ අවශ්‍ය චිත්‍රය කටුවට අඳිනවා. ඇඳලා ඒ ඉරි දිගේ මහනවා. ඊට පස්සෙ තමයි ඇතුළ පුරවන්නේ. ගොඩක් වෙලාවට ඇණවුම් එන්නේ පුංචි පුංචි පින්තූර. මම ඒක ලොකු කරලා රෙද්ද මත ඇඳ ගන්නවා.

රෙදි මහනව වගේම මේක කලාවක් විදිහට කරගෙන යනවා නම් චිත්‍ර ඇඳීමේ හැකියාවත් යම් ප්‍රමාණයකට තියෙන්න ඕන. ඇත්තටම මේක කලාවක් හෝ වෘත්තියක් විදිහට කරගෙන යන්න පුළුවන්. මොකද විදේශිකයෝ මේ වගේ අත්කම් නිර්මාණවලට විශේෂ කැමැත්තක් දක්වනවා. ඒ වගේම මෙවැනි අත්කම් නිර්මාණවලට විශාල ඉල්ලුමකුත් තිබෙනවා.''

20210420kibulapitiya-1

ඇයගේ සිතුවම් හොඳින් පිරික්සීමේදී පෙනී යන්නේ එය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් බවයි. සිතුවම්කරණය යනු සංකීර්ණ සහ සියුම්ව නිර්මාණය කළයුතු කලාවකි. එහෙයින් මෙවැනි සිතුවමක් නිර්මාණය කිරීමට ගතවන කාලය පිළිබඳවද අපි ඇයගෙන් විමසුවෙමු.

''එක සිතුවමකට මෙච්චර කාලයක් යනවා කියල කියන්න බැහැ. මම ගෙදර වැඩකටයුතුත් එක්කනේ මේක කරන්නේ. සමහර චිත්‍ර මහන්න මාස හත අටක් යනවා. ඒවා ප්‍රමාණයෙන් ලොකු සහ සංකීර්ණ රූප තිබෙන චිත්‍ර. සාමාන්‍ය සරල චිත්‍රයක් නම් දවසින් වගේ මහල ඉවර කරන්න පුළුවන්. බොහෝ වෙලාවට උපන් දින සුබපැතුම්පත් වගේ ඒවා නම් එක දවසින් මහල නිමකරන්න පුළුවන්. මම තවම සමාජ මාධ්‍යවලවත් සිතුවම් ඇණවුම් බාරගන්නවා කියල දාල නැහැ. හැබැයි මම දැම්මොත් ඇණවුම් විශාල ප්‍රමාණයෙන් එනවා කියල දන්නවා. ඒ වුණාට මගේ දෙවෙනි බබා තවම පොඩියි. ඒ නිසා එයාලගේ වැඩකටයුතුවලට මූලික තැනක් දෙන්න ඕනේ.''

රසිකා මහත්මිය මසන ලද සිතුවම්වලින් ප්‍රදර්ශනයක්ද පවත්වා තිබේ.

''මම දැනට වසර කිහිපයකට කලින් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සිතුවම් දැක්මකුත් කළා. ඒකට චිත්‍ර 17ක් විතර තිබ්බා. ඒක බලන්න ආපු ගොඩක් අයගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒකෙදි මම මහපු සංඝමිත්තා තෙරණියගේ සිතුවම දැකලා ගොඩක්දෙනෙක් ඇහුවා වැලි දාලද ඇතුළ පුරවලා තියෙන්නේ කියලා.''

ඇය මේ වන විට මේ ආකාරයේ සිතුවම් කිහිපයක් සිය නිවසේ තබා ඇත. ඒවායෙන් බොහෝමයක් සිය ප්‍රදර්ශනයට තැබූ ඒවාය. රසිකා මහත්මිය පවසන පරිදි මේ ආකාරයට ඇඳුම් මැසීමේ යන්ත්‍රයකින් සිතුවම් ගෙතීමට සිටිනා එකම නිර්මාණකාරිනිය ඇයයි.

''මම දන්න විදිහට මේ විදිහට සිතුවමක් මැෂිමකින් මහන කෙනෙකුට ඉන්නේ මම විතරයි. අපිත් හොයල බැලුවා. එහෙම කවුරුත් අපට හමු වුණෙත් නැහැ''

රසිකා මහත්මිය පවසන පරිදි මෙලෙස හැකියාවක් ඇති එකම ශිල්පිනිය ඇය නම්, මෙම කලාව දියුණු කිරීම හෝ ඉදිරියට පවත්වාගෙන යාමට තවත් ශිෂ්‍ය පරපුරක් බිහිකිරීම අත්‍යාවශ්‍යය. ඒ හැරත් මෙවැනි අත්කම් නිර්මාණ ශිල්පයන් දියුණු කරමින් වෘත්තියක් ලෙස පවත්වාගෙන යාම ඉතා වැදගත්ය. ඒ පිළිබඳව ඇය මෙලෙස අදහස් දැක්වීය.

''ප්‍රදර්ශනයෙන් පස්සෙ බොහෝ දෙනෙක් ඇහුවා මම පන්ති කරනවද කියලා. දැනටත් මම එහෙම පන්තියක් කරන්නේ නැහැ. නමුත් ඇත්තටම දැන් නම් පන්තියක් පටන්ගන්න අදහසක් තිබෙනවා. මේක තවත් කෙනෙකුට පුරුදු කරන්න පුළුවන් කලාවක්. උවමනාව සහ කැපවීම තිබෙනවා නම් ඕනෑම කෙනෙකුට ඉක්මනින්ම අල්ලගන්න පුළුවන්. හැබැයි එයාට මුලින්ම ඇඳුම් මහන්න පුළුවන් වෙන්න ඕනේ. මැෂිම සහ ඉඳිකටුව හුරු කෙනෙක් වෙන්න ඕනේ. මහන්න බැරි කෙනෙකුට මේක කියල දෙන එක ටිකක් අමාරුයි සහ විශාල කාලයක් ගත වෙනවා. ඇඳුමක් මහන්න පුරුදු වෙන්නත් අපිට දිගු කාලයක් ගත වෙනවානේ. මුලින්ම එයා මහන්න පුරුදු වෙන්න ඕනේ. ඉඳිකටුව ඉරක් දිගේ ගෙනියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම චිත්‍ර ඇඳීමේ හැකියාවත් යම්තාක් දුරකට තියෙන්න ඕනේ''

කැළුම් දේවින්ද / ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු

20210420kibulapitiya-220210420kibulapitiya-3