අපෙන් හැංගුනු සුන්දර ගම්මාන වල දර්ශන එකතුවක් පොතකින් එළිදක්වයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඡායාරූප ශිල්පියෙක්, ගේය පද රචකයෙක්, පිට කවර නිර්මාණකරුවෙක් ඇතුළු කලාවේ විවිධ ඉසව් නියෝජනය කරන ධනුෂ්ක කුමාරතුංග ඔහුගේ නවතම පර්යේෂණාත්මක කෘතිය පසුගිය දා එළිදැක්වීය. ඒ පිළිබඳව සහ ඔහුගේ වැඩකටයුතු පිළිබඳව සාරවිට සමග කතාබහකට ධනුෂ්ක මෙලෙස එක්විය.

මේ දවස්වල වැඩකටයුතු කොහොමද?

කොවිඩ් කාලයත් එක්ක කරපු වැඩ කිහිපයක් තිබුණා. එකක් තමයි මම Essence කියලා පොතක් එළිදැක්වූවා. ඒක පර්යේෂණාත්මක වැඩක්. ඒක ඩිජිටල් මාධ්‍ය තුළ රිලීස් කරගෙන යනවා. ඒකත් එක්ක තමයි මේ දවස්වල වැඩ වෙන්නේ.

පොත ගැන හඳුන්වා දුන්නොත්?

පොතේ නම Essence. ඒක පොතක සහ මැගසින් එකක එකතුවක්. අධ්‍යන කට්ටලයක් කියලත් හඳුන්වන්න පුළුවන්. මට අනුව Essence කියන්නේ ක්‍රියේටිව් ආර්ට්වර්ක් එකක්.

මොකද්ද මේ Essence කියන්නේ ?

Essence කියන්නේ මේ පොතේ නම. ඇත්තටම ඉතා දුෂ්කර ගම්මානයක අපිට නෙත නොගැටෙන සොබාදහමත් එක්ක ජීවත්වෙන මිනිසුන්ගේ අත්දැකීම් සහ හැසිරීම් තුළින් අපට අහිමි වෙලා තියන නිදහස සහ සමාජ සංස්කෘතිය පිළිබද කියවීමක් කියන්න පුළුවන්. ඒ සියලු ජායාරුප ගැනීමට මම තෝරාගත්තේ ජංගම දුරකථනය. Mobile Photography තුලින් වෙනස් නිර්මාණ කරන්න පුළුවන්. ඒවගේම එම සියලු ජායාරුප සංස්කරණය කරෙත් දුරකතනයෙන්. Essence කෘතිය වෙනස් ආරක නිර්මාණයක් මෙහි පිටු සැකසුම සිදුකරෙත් බටහිර සගරා ආකෘතියක ඊට හේතුව මම හිතනවා අපි ලෝකයට අපේ රටේ දේවල් අරන් යන්න නම් වෙනස් වෙන ලෝකයේ අලුත් තාක්ෂණය වගේම වෙනස්කම් සමග මුහු වෙන්න ඕනේ. Essence කෘතිය බලන කෙනෙක්ට Visual Inspiration දෙන්න පුළුවන් නිර්මාණයක් විදිහට හදුන්වන්න පුළුවන්.

මේ තරම් දියුණු කැමරා තියෙන කලෙක Mobile එක තෝරාගත්තේ ඇයි?

ලෝකයේ කාලෙන් කාලෙට සියලු දෘඪාංග සහ මෘදුකාංග තප්පරයෙන්තප්පරය වෙනස් වෙනවා. කැමරා වගේම දුරකතනත්. නමුත් මානව හැගීම් සහ සංවේදීතාවයන් ජායාරුප තුල රදවාගන්න සහ හරිම දුෂ්කර ගමනකදී මට පහසුවෙන් භාවිතයේ පහසුව නිසා mobile එක තෝරාගත්තා. අනෙක් කාරණය mobile photography පිළිබද ආසාවක් සහ උනන්දුවක් තිබුන නිසා එතුලින් විවිධ අත්හදා බැලීමක් විදිහට මම try කරා.

Essence වැනි පර්යේෂණාත්මක කෘතියක් නිර්මාණය කිරීමට අදහස එන්නේ කොහොමද?

ඇත්තටම මේක පොතක් ගැන අදහසකින් කරපු වැඩක් නෙවෙයි. මම සේවය කරන පේරාදෙණිය කැම්පස් එකේ පර්යේෂණ කටයුතුවලට අපි විවිධ ප්‍රදේශවලට යනවා. ෆීල්ඩ් යද්දි මට අත්දැකීමක් ගන්න ඕනේ වුණා මොබයිල් එකෙන් කොහොමද දසුනක් කැප්චර් කරගන්නේ කියලා. මොබයිල් එකෙන් කොහොමද වැඩක් කරන්න ඕනේ කියන එක තමයි ඇත්තටම මුලින්ම මම කළේ. මොබයිල් එකෙන් ෆොටෝස් අරගෙන, මොබයිල් එකෙන්ම එඩිට් කළා. ඊටපස්සේ හිතුණා මේකෙන් මීට වඩා වැඩක් ගන්න පුළුවන් කියලා. එහෙම තමයි පොතක් විදිහට එළියට එන්නේ.

සංගීතය පැත්තේ වැඩකටයුතු ගැන කිව්වොත්?

මම ගීත කිහිපයක්ම ලියලා තියෙනවා. මේ දවස්වල නම් ලොකුවට වැඩක් කළේ නැහැ. බෑන්ඩ් එකකට එකතු වෙන්න කතා කරගෙන යනවා. මම වෘත්තීයෙන් ගීත රචකයෙක් නෙවෙයිනේ. කලා ක්ෂේත්‍රයේ යහළු මිත්‍රකම්වලින් ඇරයුම් ලැබුණොත් සංගීත වැඩකටයුතුවලට සම්බන්ධ වෙනවා.

කලාව තුළ ඔබ වැඩියෙන්ම කැමති මොන ඉසව්වටද?

මගේ වැඩිම ඉන්ට්‍රෙස්ට් එකක් තියෙන්නේ ෆිල්ම් පැත්තට. තව ටික කාලෙකින් ෆිල්ම් ප්‍රඩක්ෂන් එකක් එක්ක අපිට කතාබහ කරන්න පුළුවන් වෙයි.

රැකියාවත් සමග කලා කටයුතුවලට වේලාව වෙන්කරගැනීම පහසුද?

ඇත්තටම කිව්වොත් ඒක තමයි ප්‍රශ්නය. කලාවේ නිරන්තරයෙන් රැඳී නොසිටීම, විවිධ කලා මාධ්‍යන් හරහා එකපාරටම මතුවීමත් රැකියාවත් එක්ක මම කොහොමද වෙලාව වෙන් කරගන්නේ කියන කාරණය තමයි ඉස්මතු වෙන්නේ. බොහෝමයක් වෙලාවට සවස් කාලය හෝ රාත්‍රී කාලය තමයි මම මගේ නිර්මාණවලට වෙන් කරවා ගන්නේ.

පේරාදෙණියේ ඉඳලා කලාවේ නිරත වෙද්දි වෙන හැඟීමක් දැනෙනවා නේද?

ඔව්. පේරාදෙණියෙන් බොහෝ නිර්මාණකරුවෝ බිහිවෙන්නත් හේතුව ඒක වෙන්න ඇති. ඔබ අහන ප්‍රශ්නයට මම මෙහෙම උත්තරයක් දෙන්නම්. මම උත්සාහ කරනවා Mobile Photography පැත්තේ විවිධ පර්යේෂණ කරන්න. මමත් පේරාදෙණියේ නිසාදෝ දන්නේ නැහැ Nature එකට විශාල ඉන්ට්‍රෙස්ට් එකක් තියෙනවා. මොකද උදේ හවස අපි ඉන්නේ මහවැලි ගඟ, හන්තාන කන්ද මේ හැම එකක් එක්කමනේ. ඒවා නිතර දකිද්දි අපි ඇත්තටම එතැන ජීවත් වෙනවා.

ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

Mobile Photography ලංකාවේ සුලභ වෙන්න, ජනප්‍රිය වෙන්න ඕනේ. තාක්ෂණයත් එක්ක හැමදේම අළුත් වෙලා. දැනටත් බොහෝ දෙනෙක් DSLR වැනි කැමරාවලින් ඈත් වෙලා. තාක්ෂණය ෆෝන් එක ඇතුළට ඇවිත්. අපි ඩිජිටල් ප්ලැට්ෆෝම් එක ඇතුළේ ඒක ඵලදායි විදිහට භාවිතා කරන්නේ කියන දේ සම්බන්ධයෙන් පර්යේෂණ කරන්න බලාපොරොත්තු වනවා.

කැළුම් දේවින්ද