අසංවර වැස්සේ තෙමෙන රෝහිත



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තමන්ට ලැබෙන ඕනෑම චරිතයක් පණ පිහිටුවා එලෙසම නිරූපණය කරන්නට මේ නළුවා උපන් හපනෙකි. රඟපෑම රඟ නොපෑමක් සේ ප්‍රේක්ෂකයාට දැනෙන මට්ටමින් සාර්ථක නිරූපණයක යෙදෙන ඔහු අන් කවරෙකුත් නොව රෝහිත ඩයස් ගුණරත්නය. සතියේ ඕනෑම දිනක මොන නාළිකාව කරකැවුවත් ඔහුගේ රංගනයෙන් දායක වන ටෙලි නිර්මාණයක් අනිවාර්යයෙන්ම දැකගත හැකිවන්නේය. මේ දිනවලත් ඔහු රඟන සංගීතේ හා අසංවර වැස්සක් විකාශය වෙයි. රෝහිත කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වන්නේ 1984 වසරේදීය. ඒ, සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ ‘සොක්කාණෝ රජාණෝ’ නම් නාට්‍යයට රංගනයෙන් දායක වෙමිනි. එතනින් ආරම්භ කළ ගමන ඔහු මේ වනවිට ටෙලි චිත්‍රපට වේදිකා ක්ෂේත්‍රයේ සැලකිය යුතු නිර්මාණ ගණනකට දායක වෙමින් ඇත. පසුගියදා ඔහු සිය කලා දිවියේ අභිමානවත් 30 වැනි වසර පසු කළේය. මේ ඔහුගේ කලා දිවිය පිළිබඳ ‘සඳැල්ල’ සමඟ සිදු කළ සංවාදයකි.

• ඔබ ආරම්භයේ සිටම ප්‍රවීණ අධ්‍යක්ෂවරු සමග එක්වීමේ භාග්‍ය ලැබුවා. ඒ මතකය අලුත් කරමින් මේ කතාබහ ආරම්භ කරමු. 

“සතිස්චන්ද්‍ර මහතාගේ නිර්මාණයෙන් පසු මට සයිමන් නවගත්තේගමගේ ‘පණ්ඩුකාභය’ නාට්‍යයට සම්බන්ධවීමට අවස්ථාව ලැබුණා. එතනින් පසු තවත් වේදිකා නාට්‍ය රැසකට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණා. ‘සුදු කබාය’ නමින් මමත් නාට්‍යයක් අධ්‍යක්ෂණය කළා. මේ දිනවලත් සංජය ලීලාරත්නගේ ‘කරපිංචා ඕනෑ’ නම් නාට්‍යයට මා රංගනයෙන් දායක වී සිටිනවා. ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය ගත්තොත් මගේ පළමු ටෙලිනාට්‍ය රංගනය වෙන්නේ ධම්ම ජාගොඩගේ ‘මිහිකතගේ දරුවෝ’. එදා මෙදා තුර මේ වනවිට ටෙලිනාට්‍ය 300කට පමණ දායක වෙන්න පන්නරය සැපයුවේ ඒ නාට්‍යය තමයි. මට පළමු වරට සැලකිය යුතු මට්ටමේ චරිත නිරූපණයකට අවස්ථාව ලැබුණේ රොහාන් වැලිවිටගේ ‘සුසීමා’ ටෙලිනාට්‍යයේ. එහි වෛද්‍යවරයකුගේ චරිතයක් නිරූපණය කිරීමට අවස්ථාව ලැබුණා. ‘වසූදා’ නාට්‍යයේ නීතිඥයාගේ චරිතයත් ‘ආදරවන්තයෝ’ නාට්‍යයේ ප්‍රධාන චරිතයකුත් නිරූපණය කරන්න අවස්ථාව ලැබුණා. ලංකාවේ ටෙලිනාට්‍යවල නීතිඥයාගේ සහ වෛද්‍යවරයාගේ චරිත වැඩිපුරම නිරූපණය කර තිබෙන නළුවා මම කියලා හිතනවා. පසුගියදා විකාශය වූ ගිනිඅවි සහ ගිනි කෙළි නාට්‍යයේත් ප්‍රබල චරිතයක් මම නිරූපණය කළා.”

• ඔබ සිනමාවට ලබාදුන් දායකත්වය ගැනත් අපි කතා කරමු?

“ටෙලිනාට්‍යවලට සාපේක්ෂව මම සිනමාවට දායක වූ ප්‍රමාණය අඩුයි. මට චිත්‍රපට 12කට වගේ තමයි රංගනයෙන් දායක වී තිබෙන්නේ. උදයකාන්ත වර්ණසූරියගේ චිත්‍රපට අටකටම මම දායක වී තිබෙනවා. ගිනි අවි සහ ගිනි කෙළි චිත්‍රපටයේ මම ප්‍රබල චරිතයක් නිරූපණය කළා. ෂෙලීනා චිත්‍රපටයේත් සැලකිය යුතු චරිතයක් නිරූපණය කළා. මේ දිනවලත් ජීවන් කුමාරතුංග මහතාගේ ජීවා චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගි වී සිටිනවා.”

• කලාකරුවකු ලෙස ගොඩනැගුණු ඔබගේ පාසල් කාලය සිහිපත් කරන්න කැමැති ද?

“මම පාසල් තුනක අධ්‍යාපනය ලබා තිබෙනවා. මොරටුව ශාන්ත සෙබස්තියන්, මීගමුව ශාන්ත පීතර, කොළඹ ලුම්බිණි යන විදුහල්වල මම අධ්‍යාපනය හැදෑරුවා. ඒ පාසල්වලින් මගේ කලා ජීවිතයට ලොකු දායකත්වයක් මට ලැබුණා.”

• ඔබ මේ දිනවල විකාශය වන සංගීතේ, අසංවර වැස්සක්, දෙවැනි ඉනිම ටෙලි නිර්මාණවලට සම්බන්ධ වී සිටිනවා. පාරේ තොටේ යනකොට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොම ද?

“දෙවැනි ඉනිමේ වෛද්‍යවරයකුගේ චරිතයකුත්, සංගීතේ ප්‍රධාන සුපවේදියාගේ චරිතයත් අසංවර වැස්සක් නාට්‍යයේ සැමියකුගේ චරිතයකුත් නිරූපණය කරනවා. මේ නිර්මාණ තුනේම මට යමක් කරන්න පුළුවන් චරිත නිරූපණයක යෙදෙන්න අවස්ථාව ලැබුණා. මේ සියලු නිර්මාණවලට ප්‍රේක්ෂකයන්ගෙන් ඉහළම ප්‍රතිචාරයක් ලැබෙනවා.”

• අවුරුදු 30ක කලා ජීවිතය දෙස නැවත හැරී බලද්දී මොන විදියේ හැඟීමක් ද ඔබට තිබෙන්නේ?

“ඇත්තටම සන්තෝෂයි. මේ දක්වා ආපු ගමන තුළ යමක් කරන්න ලැබුණා කියලා මම විශ්වාස කරනවා. මුල් කාලේ මට වැඩිය ටෙලිනාට්‍යවලට දායක වෙන්න ලැබුණේ නැහැ. එහෙත් පසු කාලීනව මට නිර්මාණ රාශියකට දායක වීමට ලැබුණා. මම රංගනයට අමතරව වෘත්තියකත් නිරත වූ නිසා රංගන අවස්ථා සීමා කරන්නත් සිදු වුණා. පසුගිය කාලේ ලැබුණු නිදහසත් එක්ක වැඩිපුර නිර්මාණවලට දායක වීමට ලැබුණා.”

• චරිතාංග නළුවෙකු විදියට මතුවීමට තිබූ අවස්ථා ඔබට මගහැරුණා කියලා හිතෙන්නේ නැද්ද?

“වෘත්තිය නිසා ඉතාම සීමා සහිතව තමයි රංගන කටයුතුවලට දායක වීමට ලැබුණේ. කොහොම නමුත් ලැබුණු අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ලබාගත්තා. ඒ නිසා කාටවත් ඒ සම්බන්ධව දෝෂාරෝපණය කරන්න මම කැමැති නැහැ. කොහොම නමුත් ක්ෂේත්‍රයේ ඉදිරියට යෑමට උදව් කළ හැමෝටම ස්තුති කරන්න මම කැමැතියි.”

• ජනප්‍රිය මෙගා නාට්‍යවලට කැමැති පිරිසක් වගේම අකැමැති පිරිසකුත් සිටිනවා නේද?

“වෘත්තීමය නළුවෙක් විදියට අපි ඒ නිර්මාණවලට දායක වෙනවා පමණයි. 30 වසරක ඉතිහාසය බැලුවාම එදා මෙදා තුර විශාල වෙනසක් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ තිබෙනවා. දැන් ගොඩාක් ටෙලිනාට්‍ය වාණිජකරණය වීම තමයි මේකට හේතුව. නිර්මාණාත්මකභාවය යම් දුරකට දුරස් වී තිබෙනවා. එදා සහ අද රංගනයේත් සෑහෙන වෙනසක් අපට දැනෙනවා. ඒ චෝදනා අතර හොඳම මට්ටමේ නිර්මාණත් විකාශය වෙනවා.”

 

අමිල චින්තක ගමගේ