ඇත්තටම මට සතුටක් තියෙනවා, අපෙන් පස්සෙ මේ දේවල් බාරගන්න පුළුවන් පිරිසක් හැදෙන්න ඕනෑ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දවස්වල අන් කවරදාටත් වඩා රට්ටු ඇය ගැන කතා වෙති. ඒ ‘වොයිස්’ නිසාය.ඇගේ ‘වොයිස්’ එක නිසා නොවේ, සිරස ටී.වී. නාලිකාව ඔස්සේ විකාශය වන ‘වොයිස්’ රියැලිටි වැඩසටහන නිසාවෙනි.

ඇය මෙම වැඩසටහනට සහභාගි වන්නේ ‘කෝච්’ කෙනෙක් ලෙසිනි. ඇගේ කණ්ඩායමට මනා පුහුණුවක් දෙමින් ඔවුන් තරග වේදිකාවට නංවා  ඔවුන්ගෙන් ගායන උපරිමය ලබාගනු පිණිස ඇය වෙහෙසෙයි. එහෙත් හැම සති අන්තයකම සිරස ටී.වී. ඔස්සේ අපට ඇය හමුවේ. ‘වොයිස්’ වේදිකාවේ ගී ගයන සියල්ලන්ගේ සැඟවුණු කුසලතාවයන් සොයමින්, හෙට දවස වෙනුවෙන් සංගීත ලෝකයට දක්ෂයන් සොයමින් ඇය බලා ඉන්නා අපූරුව...

“ ‘වොයිස්’ වේදිකාව ඔබට අලුත් අත්දැකීමක් ද?”
ඉර හැංගෙන හැන්දෑවක ඇගේ සුන්දර නිවෙසේ, විසිත්ත කාමරයේ සිට මම ඇගෙන්, ඔව් ශෂිකා නිසංසලාගෙන් විමසුවෙමි.
මගේ පැනයට පිළිතුරු දෙන්නට කලින් ඇය අර ලස්සනම සිනාවෙන් මොහොතක් මදෙස බැලුවාය; බලාසිටියාය.
“මම මීට කලිනුත් විනිසුරු මණ්ඩලවල ඉඳලා තියෙනවා. නව පරපුරක දක්ෂතා දැකලා තියෙනවා. දක්ෂතා අගය කරලා තියෙනවා. හැබැයි මේ ‘වොයිස්’ වෙනස් අත්දැකීමක් තමා. මොකද මේක ජාත්‍යන්තර වැඩසටහනක්. ඒ වගේම මම කෝච් කෙනෙක්. මට කණ්ඩායමක් ඉන්නවා. මම ඒ අය පුහුණු කරගෙන ඒ අය ඉස්සරහට අරගෙන එන්න ඕනෑ.
මේ දවස්වල යන්නෙ ඒ රියැලිටියෙ තුන්වැනි වටය. මුලින් මගෙ කණ්ඩායමේ 56ක් හිටියා. ඒ ඔක්කොම දක්ෂයො. දැන් ඒකෙන් භාගයක් වෙලා. ඒ කියන්නෙ දැන් ඉන්නෙ දක්ෂයන්ගෙනුත් දක්ෂයන්.
අනිත් එක, ඔයාලා ටී.වී. එකෙන් දකින්නෙ බොහොම ටිකයි. මම මගේ කණ්ඩායමට වැඩමුළු තියනවා. එයාලට ගී තෝරගන්න උදව් කරනවා. එයාලව පුහුණු කරනවා. පුරුදු කරනවා. අඩුපාඩු පෙන්නල දෙනවා. කොටින්ම කිව්වොත් ඉස්කෝලයක් වගේ වැඩ ගොඩාක් තියෙනවා කරන්න.”
“මේ තරුණ ළමයි ගැන ඔයාගෙ වැටහීම කොයි වගේද?”
“ඒක නම් කියන්නම ඕනෑ දෙයක්. මේ ළමයි හුඟදෙනෙක් සංගීතය ගැන හුඟාක් ඉගෙන ගත්තු අය. හුඟ දෙනකුගෙ ජීවිතේම සංගීතය බවට පත්වෙලා තියෙන්නෙ. ‘යූටියුබ්’ එකට සම්බන්ධවෙලා ලෝකෙ තියෙන විවිධ සංගීත ප්‍රවණතා ගැන හැදෑරීම් තියෙන අය. මං කියන්නම ඕනෑ දේ තමයි, අපිට අපේ සංගීතය ගැන බය වෙන්න දෙයක් නෑ කියන එක. මේ ළමයි අනාගතය බාරගනීවි.”
“ඔයා හුඟාක් සතුටින් කතා කරන්නෙ?”
“ඇත්තටම මට සතුටක් තියෙනවා. අපෙන් පස්සෙ මේ දේවල් බාරගන්න පුළුවන් පිරිසක් හැදෙන්න ඕනෑ. හදන්න ඕනෑ.”
ශෂිකා ගී ලොවට පැමිණ දැන් අවුරුදු විසිඑකකි. ඇගේ ගමනේ ඇරඹුම වූයේ එවකට ලංකාවේ බොහෝ තරුණ තරුණියනට පහන් වැටක් වූ තුරුණු ශක්ති වේදිකාවයි. ඉතින් මේ ‘වොයිස්’ වේදිකාවේ සිටින විට ඇයට ඒ තුරුණු ශක්ති වේදිකාව සිහිවෙනවාට කිසිදු සැකයක් නැත.
“ඒ ‘තුරුණු ශක්ති’ වේදිකාව ඔයාට මතක් වෙනවද නංගී?”
මම ඇගෙන් අසමි.
“එතකොට මම පදිංචිවෙලා හිටියෙ අවිස්සාවේල්ලෙ. එහෙ ඉඳලා තමා ඉස්කෝලෙට ආවෙත්. ඉතින් දවසක් දා මම බස් එකේ එනකොට දර්ශන වික්‍රමතුංග අයියා මට කිව්වා, තුරුණු ශක්ති කියලා ගායන වැඩසටහනක් තියෙනවා, ඒකට ඉල්ලුම් කරන්න කියලා. ඊළඟට මට ඉල්ලුම් පත්තරේකුත් දුන්නා.
ඔය කාලෙ දර්ශන අයියා, ලක්මාල් කස්තුරිරත්න, මම කියන අපි ඔක්කොම එකම සංගීත පංතියකට ගියෙත්. ඒ වගේම අපි තුන්දෙනාම ඉගෙනගත්තෙ කොළඹ ඉස්කෝලවල. මේ නිසා අපි ආවෙ එකම බස් එකේ.
ඉතිං අපි ඔක්කොම තුරුණු ශක්ති වේදිකාවෙදි ඊළඟට හමුවුණා. මුලින්ම තිබ්බෙ දිස්ත්‍රික් තරග. ඊළඟට පළාත් තරග. ඊළඟට ජාතික මහා තරගය. දිස්ත්‍රික් තරගෙන් පළමුවෙනියා. පළාත් තරගයෙන් දෙවැනියා වෙලා ජාතික තරගයට ඉදිරිපත් වුණා. මුලින් විශාරද නන්දා මාලිනියගෙ, සුජාතා අත්තනායකගෙ ගීත ගයපු මට ජාතික තරගයේදී ගයන්න වුණේ අලුත්ම ගීතයක්. විනිශ්චය මණ්ඩලේ හිටියෙ නන්දා මාලිනී, වික්ටර් රත්නායක, රෝහණ වීරසිංහ කියන ප්‍රවීණයන්. අපි සිංදුව ගායනා කරලා ඉවර වෙනකොට තිරයෙ ලකුණු වැටෙනවා. ඉතින් ඒක හරි අපූරු දෙයක්. ඒ තරගෙන් මම පළමුවෙනියා වුණා කියන්නෙ මගෙ ගමන් මගට පහන් වැටක් දැල්වුණා වගේ වැඩක්.”
ශෂිකා සිනාසේ.
හැමදාමත් ලෙංගතු ඇගේ මේ හසරැල්ලේ පුංචි ආඩම්බරයක් තිබෙනු මට පෙනෙයි. ඒ තුරුණු ශක්තියෙන් කිරුළ දැරීමේ ආඩම්බරය බව මම දනිමි.
“ඊට පස්සෙ?”
මම ඇගේ මුහුණ බලමි.
“ඊට පස්සෙ මට කැසට් පටයක ගී ගයන්න අවස්ථාව ලැබුණා. ඒ නිල්වලා ලේබලයෙන්.”
“මොකද්ද ඒ? පාරමිතා ද?”
ශෂිකා නිසංසලාගේ ‘පාරමිතා’ නමින් කැසට් පටයක් පැමිණි බව මගේ අතීත මතකයේ රැඳී තිබේ.
“ඔව්නෙ...”
ශෂිකා යළි සිනාසේ.
“පාරමිතා නොපුරමු අපි දෙදෙනා 
මතු මතු සංසාරේ
පාන සිනා සුළඟට විසිකරමූ
හමුවන හැම වාරේ...”
පාරමිතා කැසට් පටයට නම තැබූ පාරමිතා ගීතයේ මුල් පද පෙළ මගේ මතකයේ අලුත් විය.
“පාරමිතා කැසට් පටයත් එක්ක මගෙ ගීත තුන්තිස් පැයේම රේඩියෝවලින් ඇහෙන්න ගත්තා. හුඟාක් වෙලාවට සිද්ධ වෙන්නෙ එක කැසට් පටයකින් එක ගීතයක් විතරක් ජනප්‍රිය වෙන එක. ඒත් මේ කැසට් එකේ තිබුණු ගීත තුනක්ම එකපාර ජනප්‍රිය වුණා. ‘තොල්පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න’, ‘සඳ රෑට රෑට සඳ විමනට’ අනෙක් ගීත දෙක.”
“ඒ ඔයාගෙ වාසනාවද?”
මම ඇසීමි
“වෙන්න ඇති.”
ශෂිකා සුපුරුදු සිනාවෙන් කීවාය.
“ඒ වාසනාවන්තියට එතැන් පටන් ප්‍රසංගවලට ඇරියුම් ලැබෙන්න ඇති?”
“ඔව්...”
“ඔයා ප්‍රසංග බාරගත්තද ඉතිං?”
“මම නෙමෙයි, මගේ තාත්තා තමයි ප්‍රසංග බාරගත්තෙ. මාව ප්‍රසංගවලට එක්කගෙන ගියෙත් තාත්තා. හැබැයි ඉතිං මගෙ වාසනාවට මට ප්‍රසංගවලදි කියන්න ජනප්‍රිය ගීත තුනක් තිබ්බා.”
ශෂිකාට සරසවි වරම් හිමිවන විට ඇය රටේ ජනප්‍රිය ගායිකාවකි. කැලණිය සරසවියට ඇතුළත් වූ ඇයට ඒ ජනප්‍රියත්වය බලපෑවේ කෙසේ විය හැකිද? රැග් වැඩිවෙන්න ඇත්ද? අඩුවෙන්න ඇත්ද?
පාඨක ඔබේ හිතේ මතුවන්නේ ඒ පැනයයි. ඇත්තටම මටද ඒ කාරණාව දැනගන්නට අවැසි විය. 
“අයියෙ ඔයාලා ඉගෙන ගත්තු කාලෙ නම් කොහොමද දන්නෙ නැහැ. ඒත් මං යන කාලෙ නම් එහෙම රැග් එකක් තිබ්බෙ නැහැ. අයියලා අක්කලා ඇවිත් කතාකරලා අඳුනගත්ත විතරයි. ඒ වෙද්දිත් මගෙ සිංදු තුනක් විතර රේඩියෝවල යනවා. ඉතින් සමහරු මාව ගායිකාවක් විදිහටත් දැනන් හිටියා. ඒ අය මට කිව්වා සිංදුවක් කියන්න කියලා. එච්චරයි. ඇත්තටම ඒ කාලෙ අදටත් මතක් වෙනකොට සුන්දරයි.”
ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් උණපඳුර දහම් පාසල ලෙස නම් කළ කැලණිය සරසවියේ කන්ද නැග යනවිට මඟ දෙපස හිනැහෙන ඇහැළ මල් යාය, සරසවි විද්‍යාර්ථියකුට අමතක කළ නොහැක. වසර තුනක නැත්නම් හතරක මතකය ගීතයක් වැනිය.
මීට වසරකට පමණ කලින් ප්‍රවීණ සංගීත ශිල්පී රෝහණ ධර්මකීර්ති, කැලණි සරසවි ප්‍රේම ගීතයක් නිර්මාණය කරමු යැයි මට යෝජනා කළේය. අන්තිමේදී මා ලියූ ඒ ගීතය රෝහණ සංගීතවත් කර ගයන්නට ආරාධනා කළේ ශෂිකාටය. ඒ අප තිදෙනාම කැලණි සරසවි විද්‍යාර්ථීන් වූ බැවිනි. එදා ශෂිකා ඒ ගීතය ගයන්නට ඉදිරිපත් වූයේ කැමැත්තෙනි.
“සොඳුරු සරසවි බිමේ ඉපදුණු
සසර හුරු වූ ප්‍රේමයක්
ඇත තෙල් පිරිපහදුවේ
ගිනිසිළුව වාගේම දැල්වුණත්
කල්පයක් කල් මහද දවනා
වේදනා බර සිහිනයක්” 
බොහෝ සරසවි ප්‍රේම ගී මෙන්ම ඒ ගීතයද විරහ ගීතයකි. එබැවින් ශෂිකාට ඒ ගීතය ගැලපුණේම නැත. නවක වදය සමයේදී ඇයට මුණගැහුණ පෙම්වතා අද ඇගේ ආදරණීය සැමියා වන බැවිනි. එහෙත් ශෂිකා වැඩිදෙනකුට පොදු සරසවි ප්‍රේමයේ දුක්බර අත්දැකීම දුක දැනෙන ලෙස ගායනා කළාය. 
ශෂිකා මේ මෑතකදී තවත් අපූරු ගීතයක් ගායනා කර තිබිණි.
“මම තරු කැකුල අහසේ
ඔබ පුරසඳට දිලිසේ
එළිය දී රැකවරණ දී
සෙනෙහසින් ළඟ ගැවසුණේ
පියාණනී ඔබයි සඳ සේ”
බණ්ඩාර ඇහැලියගොඩ ලියූ මේ ගීතය ඔහු මවෙත එවූයේ අපූරු ගීතයක් සේ ද නම්කරමිනි.
“ඔය ගීතය ලිව්වෙ ශෂිකාගෙම තාත්තා වෙනුවෙන්.”
එදා බණ්ඩාර අයියා මට පැවසුවේය.
එහෙත් ඒ ගීතය ගැන ගී උල්පතට ලියන්නටවත් මට ශෂිකාට කතා කරන්නට නොහැකි විය. එනිසාම මේ මොහොත, ඇගේ පිය සෙනෙහස ගැන පවසන්නට ඇයට වෙන්කර දෙමි.
“පුංචි කාලෙ ඉඳලම මාව ගුවන්විදුලියට, රූපවාහිනියට එක්කගෙන ගියේ තාත්තා. පැදුර, මුතුහර, හඳමාමා වගේ ළමා වැඩසටහන්වල මට ගීත කියන්න පුරුදු කළෙත් මගේ තාත්තා. එතකොට සංගීත පංතිවලට මාව එක්කගෙන ගියෙත් තාත්තා. ප්‍රසංගවල ගී ගයන්න ආරාධනා ආවාම ඒ තැන්වලට මාව එක්කගෙන ගියෙත් තාත්තා. අද ඒ තාත්තා, මගෙ අම්මා දෙන්නා මගෙ දරු දෙන්නා රැකබලා ගන්නවා. එහෙම නොවුණ නම් මට ගී ගයන්න නිදහසක්, වෙලාවක් ඉතුරුවෙන්නෙ නැති වේවි. ඉතින් මට හිතුනා මගේ ඒ තාත්තා වෙනුවෙන් ගීතයක් ගායනා කරන්න.
ගිය අවුරුද්දෙ තිබ්බ තාත්තගෙ උපන්දිනේ දවසෙ මම ඒ ගීතය තාත්තට අහන්න දුන්නා. තාත්තා ඇස් දෙකේ කඳුළු පුරවාගෙනයි මගෙ දිහා බලාහිටියෙ.”
“මාර සර්ප්‍රයිස් එකක්...”
මම ඇසීමි.
“ඔව්. තාත්තට අමතක වෙන්නෙම නැති උපන්දින තෑග්ගක්. මේ වෙද්දි ඒ ගීතය ගොඩ දෙනෙක් රසවිඳලා තියෙනවා. ඒක මට සතුටක්. හැම දුවෙකුටම තමන්ගෙ තාත්තට දෙන්න පුළුවන් තෑග්ගක් ඒ ගීතය.”
“හැබැයි ඔයා දැන්නම් තරු කැකුළක් නෙමෙයි. හොඳට එළිය දෙන තරුවක්. මෑත කාලේ ඔබ තරම් බැබලෙන වෙනත් ගී තරුවක් නැති තරම්.”
මම ශෂිකාට කියමි.
“අපොයි නෑ. මම තාම කැකුලු තරුවක්.”
ශෂිකා සිනාසෙන්නේ නිහතමානීවය.
කෙසේ වෙතත් තරුවක් යනු නිවි නිවී දැල්වෙන්නකි. අප අහස බලන විට නිවි නිවී දැල්වෙන්නේ තරු බවත් එකදිගටම එකම ආලෝකයකින් බැබලෙන්නේ ග්‍රහලෝක බවත් දැන කියාගත්තේ හතේ අටේ පංතිවලදීය. එහෙත් ශෂිකා නම් ගී තරුව දැල්වුණු මොහොතේ පටන් දිගටම ආලෝකවත් විය. දිනෙන් දින ඒ ආලෝකය වැඩිවුණා මිස කවදාවත් නිවී තිබුණේ නැත. එබැවින් ඇසට උචිත උපමාව තරුව නොවේ. සඳයි.
“සඳ රෑට රෑට සඳ විමනට
තරු අරන් ගියා
ඔබ ආදරේට මටත් හොරෙන්
හිත අරන් ගියා
ඔබ මේ ආවෙ මා සොයා සසරේ පුරුදු ඇති නිසා
පෙර ආත්මයේ මා ඔබේ නිසා”
ඇය ගී ලොව පෑයූ මුල්ම දවස්වල ගැයූ ගීතයක් මගේ මතකයේ අලුත් විය. ඒ සමගම ඇය සඳ ගැන ගැයූ ගීත මහ ගොඩක් තිබෙන බව ද මගේ මතකය කීවේය.
“නිසංසල සඳක්
පැතුම් මල් ගොඩක්
සුපෙම්බර හදක් ළඟ
සිත නැවතෙනා හැඩක්”
“ඔයා තරම් සඳ ගැන ගී ගයපු වෙනත් ගායිකාවක් ලංකාවේ නැහැ. මට හිතෙන්නෙ ඔයාට අමාවක දාටත් හඳ පායනවා ඇති.”
මම ශෂිකාගේ මුහුණ බලමි.
“ඕක හුඟදෙනෙක් මගෙන් අහන කතාවක් අයියෙ. ඒත් ඔය සිංදු ඔක්කොම මට කියන්න ලැබුණ සිංදු මිස මම කියලා ලියවගත්තු සිංදු නෙවෙයි.”
“ඒ කියන්නෙ සඳ ගැන ඔයා ගයන්නෙ අහම්බෙන්?”
“ඔව්...”
“එතකොට චන්ද්‍රා පායන්න?”
මම ශෂිකා අන්තිමටම ගැයූ ගීතය ගැන ද අසමි.
“ඒකත් මනුරංග විජේසේකර සිංදුව ලියලා, අමුතු සිංදුවක් ලියැවුණා කියලා මට එවපු සිංදුවක්. ඒකෙ වචන ටිකටයි සංගීතයටයි මට ආසා හිතුණා. ඇත්තෙන්ම ඒක වෙනස් හැඩයක් තිබුණු ගීතයක්. ඒ වගේම ඒ ගීතයේ තිබුණු,
‘නැතුවට කම් නෑ රන්මාලේ 
සිත බැඳි මුතුපොට නුඹෙ ආලේ’ කියන වචන ටිකට මට ආසා හිතුනා. ඒ වචන ටිකේ ලොකු ගැඹුරකුත් තියෙනවනෙ. ඉතින් මම ඒ ගීතය ගායනා කළා.” 
“ඒ ගීතයෙනුත් සඳ පෑව්වා නේද ඔයාට?”
“මං නොහිතුව විදිහට ඒ ගීතය ජනප්‍රිය වුණා. ලක්ෂ ගණනක් දෙනා එක රැයකදි රසවින්දා. හැමෝගෙම ප්‍රතිචාරවලින් කියැවුණෙත් ලස්සන ගීතයක් කියන දේ.
“මේ ගීතයටත් ප්‍රසංග වේදිකාවෙන් ඉල්ලීම් එයි?”
මම අන්තිමටම ඇසීමි. එහෙත් ඒ ප්‍රශ්නය වර්තමානයට නොගැලපෙන ප්‍රශ්නයක් බව මට තේරුම් ගියේ ශෂිකාගේ නිහඬ බව හමුවේය. ප්‍රසංග නැවතී දැන් මහා කාලයකි. තවත් කී කාලයක් මේ විදිහට ප්‍රසංග නැතිව ගෙවී යනු ඇද්දැයි කිව නොහැකිය.
“ඒ ප්‍රශ්නෙට උත්තර එපා.”
අන්තිමේදී මමම කීමි.
ශෂිකා හිනැහුණාය.
අපේ පිළිසඳරට දැන් හෝරාවක් පමණ ගෙවී ගොසිනි. ඉර පෑල දිග අහසේ සිතිජ රේඛාව දෙස බලාගෙන සිටින්නේ දවස හමාර කර ඉසිඹු ලබන්නටය. මට දැන් සමුගන්නට කාලය හරිය.
මම තුරු අතු ඉති අස්සෙන් පෙනෙන සැඳෑ හිරු දෙස බලමි. ශෂිකාට නම් මීට වඩා සුන්දර විචිත්‍ර සන්ධ්‍යාවන් සිහිපත් වනු ඇත. ඒ ලෝකයේ බොහෝ රටවලට ගිය ඇගේ ගමන් නිසාය.
“ජපානය, එංගලන්තය, ඕස්ට්‍රේලියාව වගේ රටවල්වල ගෙවුණු හැන්දෑවන් මට මතකයි. ජපානෙට ගියේ සිසිර ඍතුව ඉවර වෙන්න ඔන්න මෙන්න. එතකොට සකුරා මල් එහෙම පිපෙන්න පටන් අරගෙන. හරිම ලස්සනයි. මට නාගසාකි නුවර යුද කෞතුකාගාරෙටත් යන්න සිද්ධ වුණා. ලස්සන නගරයක් පරමාණු බෝම්බෙන් සහමුලින්ම වැනසුණු හැටි මතක් වෙද්දිත් ඇස්වලට කඳුළු එනවා.
හැබැයි ඒ රටේ මිනිස්සු හරි විනීතයි. අනිත් අයට ගරු කරන්න පුරුදු වෙලා ඉන්නෙ. අපේ රටේ වගේ නෙවෙයි. අද අපිටත් ණය දෙන්න තරම් දියුණු රටක් වෙලා තියෙන්නෙ ඒ විනයගරුක බව නිසා වෙන්න ඇති. එතකොට එංගලන්තෙදි ඉටිරූප කෞතුකාගාරයට ගියා. ඒකත් සුන්දර අත්දැකීමක්.”
“ඔය හැම අත්දැකීමක්ම ඔයාට ලැබුණෙ ඔයා ගායිකාවක් වූ නිසා නේද?”
මම ඇසීමි
“ඔව්...”
“ජනතාවගේ ආදරය දිනූ ගායිකාවක් වූ නිසා නේද?”
“ඇත්තටම...”
“එහෙනම් මට කියන්න මේ වෙද්දි ඔයා ගීත කීයක් විතර කියලා තියෙනවද කියලා?”
“ඇත්තටම අයියෙ ඒක මටත් ප්‍රශ්නයක් වෙලා තිබුණෙ. ඉස්සර කාලෙ මං කියපු ගීත, යුග ගීත ගැන සටහන් මගෙ ළඟ නැහැ. ඒත් දැන්නම් මම ගයන ගීත ගැන ලියාගන්නවා. ඉතින් මම එකතු කරගත්තු ගීත ලැයිස්තුවෙ මේ වෙනකොට ගීත තුන්සිය විස්සක් තියෙනවා.
“ඔය ඔක්කොම ගීත එක තැනකට එකතු කරල නැද්ද ශෂිකා?”
මම ඇගෙන් ඇසීමි.
“මගෙ යූටියුබ් නාලිකාවක් තියෙනවා. ඒකෙ සමහර ගීත තියෙනවා. ඔයා දන්නවද, දැන් ඒකෙ ග්‍රාහකයො ලක්ෂයකට කිට්ටු වෙලා ඉන්නවා.”
එය සතුටුදායක ප්‍රවෘත්තියකි. ශෂිකා සුපුරුදු මිතුරු සිනාවම පාමින් සිටින්නීය. 
මම ඉඳසිටි පුටුවෙන් නැගිට්ටෙමි.
විසි වසරක කලා ජීවිතය තුළදී ලැබුණු විවිධ සම්මාන ශෂිකාට තනි රකින මිතුරු පිරිසක් සේ මට පෙනේ. හොඳම ගායිකාව, ජනප්‍රියම ගායිකාව ලෙස සම්මානිත වූ ඇයට විටින් විට ලැබුණු ඒ සම්මාන කියාපාන්නේ ශෂිකා නිසංසලාගේ ජනප්‍රියත්වයයි. ඇගේ දක්ෂතාවයයි.
“එක දිගටම වසර හයක් තිස්සේ ඔබ ජනතාවගේ ගායිකාව වුණා.”
ශෂිකා ලද ඒ සම්මාන පෙන්වමින් මම ඇසීමි.
“ඔව්.”
ශෂිකා කීවාය.
“ඒක වාසනාවක් නේද?”
මම යළිත් ඇසීමි.
“වෙලාවකට මට එහෙම හිතෙනවා.”
ඇය කී විට මම සිනාසුනෙමි. මම ඇගේ නිවෙසින් පිටව පාරට පිය එසැවීමි.
“චන්ද්‍රා පායන්න 
ගංගා සිපගන්න
හෘදේ ඡායා මවා
රිද්දා සිපගන්න 
සීතේ බෑ ඉන්න
ආලේ හිස්තැන් එපා
නැතුවාට කම් නෑ රන්මාලේ
හිත බැඳි මුතුපොට නුඹෙ ආලේ...”
ශෂිකාගේ ගී හඬ මට කොහෙන්දෝ ඇසිණි.
මම හැරී බැලීමි.
ශෂිකාගේ නිවෙසේ සඳ පායා තිබිණි.
ඒ ‘නිසංසල සඳකි’.
හැබැයි ඒ නිසංසල සඳට තවත් නමක් තිබේ.
ශෂිකා නිසංසලා...
ඒ ආදරණීය නමයි.

ශාන්ත කුමාර විතාන / ඡායාරූප: සජීව ලක්ෂාන්