ඊළඟ කෝච්චිය එනකම් පැය දෙකක් වැවේ නෑවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ සති අන්තයේ My Travel ගැන කතා කරන්න අපිත් සමඟ එකතු වන්නේ ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන හර්ෂ තෙන්නකෝන්

හර්ෂ... මොනවද මේ දවස්වල අලුත් තොරතුරු?

මේ දවස්වල The Good Karma Hospital කියලා හොලිවුඩ් ප්‍රඩක්ෂන් එකක වැඩ කරනවා. ඒ වගේම සංජය නිර්මාල්ගේ B.T.S. කියලා ටෙලිනාට්‍යයක රෑගත කිරීම් පටන් අරගෙන ඉන්නේ. ඔය වැඩ ටික තමයි මේ දවස්වල කරන අලුත් වැඩ කටයුතු.

හර්ෂ... ඔබ Travel කියන දෙයට කැමති කෙනෙක්ද?

ඇත්තටම ඔව්.. හැබැයි මම Travel කරනවාමයි කියලා ඇවිදින්න යන කෙනෙක් නෙවෙයි. රෑගත කිරීම්වලට ගොඩක් වෙලාවට අපි කොළඹින් පිට තමයි යන්නේ. ඒ අවස්ථාවල මට විවේක වෙලාවක් ලැබුණාම මම ඇවිදින්න යනවා.

ඔබ Travel කියන දේ පොඩි කාලේ සිට කරන කෙනෙක්ද?

ඔව්.. මම ගොඩක් වෙලාවට කැමති තනියම නිදහසේ ඉන්න. ඒ වුණත් මම හරි කැමතියි නිදහසේ ඉන්න පුළුවන් පරිසරවල ජීවත් වෙන්න. මම Travel කියන දෙයට කුඩා කාලයේ සිට ආසා කරපු කෙනෙක් වුණත් ඒ කාලයේ අපිට සීමාවන් තිබුණා.හැබැයි මම විවාහයට පෙර මගේ යාළුවෝ එක්ක ගොඩක් තැන්වල Travel කරලා තියෙනවා. දැන්නම් මම ගොඩක් වෙලාවට Travel කරන්නෙ මගේ බිරිඳයි ළමයිනුයි එක්ක විතරයි.

දැනට කරපු Travel වලින් ඔබේ හිතට දැනිච්ච ගමනක් තියෙනවද?

මට එක තැනක් කියලා කියන්න අමාරුයි. හැබැයි අපේ drama පන්තියේ හිටපු යාළුවෝ කට්ටිය එකතුවෙලා දවස් තුනක චාරිකාවක් ගියා තඹුත්තේගම. ඒ අපේ drama පන්තියේ යාළුවෙකුගේ ගෙදර.

ඇයි ඔබ ඒ ගමනට එච්චරටම කැමති?

මම දැනට ගිය Travel වලින් හොඳටම විනෝද වුණු ගමනක් තමයි තඹුත්තේගම ගිය ගමන. මොකද ඒ ගමන ගියේ අපේ drama පන්තියේ ළමයි කිහිප දෙනෙක්. ඒ වගේම තව දෙයක් තමයි ඒ පරිසරය. අපි හිතාගෙන හිටියේ තඹුත්තේගම හරි රස්නේ සහිත පරිසරයක් කියලනෙ. නමුත් එහෙම නෑ. රූ වෙනකොට පුදුම සීතලක් තිබුණේ. මම හිතන්නේ ඔය හේතු නිසා වෙන්න ඇති මම ඒ ගමනට ආසා කරන්නේ.

තඹුත්තේගම ගිය ගමනෙදි ඔබට සිදුවුණු අමතක නොවන සිදුවීම් එහෙම ඇති නේද?

ඒ ගමනෙදි සිදුවුණු අමතක නොවන සිදුවීමක් තියෙනවා. අපි කට්ටිය දවස් දෙකකට පස්සේ ආපහු කොළඹ එන්න තඹුත්ගේම දුම්රියපොළට ආවා. අපි දුම්රියපොළට එනකොටම කොළඹට එන දුම්රිය අපිට මඟහැරුණා. ගෑනු ළමයි කිහිප දෙනෙකුත් අපිත් එක්ක මේ ගමන ගියා. එයාලට දුවගෙන ඇවිල්ලා දුම්රියට ගොඩවෙන්න බැරි නිසා අපිට දුම්රිය මඟහැරුණා. නැවත තඹුත්තේගම සිට කොළඹට දුම්රියක් තියෙන්නෙ පැය දෙකකට පස්සෙ. අපිට ඉතින් පැය දෙකක් කරන්න දෙයකුත් නෑ. ආපහු යාළුවාගේ ගෙදර යන්නත් බෑ. මොකද යාළුවා හිටියේ තඹුත්තේගම දුම්රියපොළේ සිට ටිකක් දුර තැනක. කොහොම හරි ටික වෙලාවක් ඉන්නකොට අපි දැක්කා දුම්රියපොළ අසල පොඩි වැවක් තියෙනවා. අපිට පැය දෙකක කාලයකුත් තියෙන එකේ කට්ටිය කතා වුණා මේ වැවෙන් අපි නාමු කියලා. ඊට පස්සෙ ඒ වැවෙනුත් නාලා හොඳට විනෝදවෙලා තමයි කොළඹ ආවේ. ඒ සිදුවීම මට කවදාවත් අමතක වෙන්නෙ නෑ.

හර්ෂ Travel කියන දේ දකින්නෙ මොන විදිහටද?

Travel කියන දේ ඇත්තටම මරු. මට හිතෙන්නේ ඒ දේ එකිනෙකාට සාපේක්ෂව වෙනස් දෙයක්. උදාහරණයක් වශයෙන් Travel කරන දෙන්නෙක් එකතු වුණාම ඒ දෙන්නට මෝටර් සයිකලයක වුණත් Travel කරන්න පුළුවන්. නමුත් මම Travel එකක් කරනවානම් මට ගැලපෙන කට්ටියක් සහ නිදහසේ ඉන්න පුළුවන් පරිසරයක් වෙන්න ඕනෙ. නැත්නම් ඒ කරන දෙයට මම ආසා නෑ. මම සාදයකට ගියත් යන්නෙ මට ගැලපෙන කට්ටිය ඉන්නවානම් විතරයි. ඒකයි මම කියන්නෙ Travel කියන දේ එකිනෙකාට සාපේක්ෂ දෙයක් කියලා.

ඔබ කවදාවත් නොගිය නමුත් යන්න ආසාවෙන් ඉන්න තැනක් තියෙනවද?

මෙහෙම දෙයක් තියෙනවා. මගේ බිරිඳ වුණත් ඒ දේ කියනවා. මම food lover කෙනෙක්. මම ආසයි එක එක ජාතියේ කෑම කන්න. මම සමාජ ජාලාවල වුණත් වැඩිපුර බලන්නෙ කෑම සම්බන්ධ දේවල්. ඒ නිසා මම යන්න ආසා තැනක් තමයි &Salt Bae* කියන තුර්කිවල තියෙන රෙස්ටූරන්ට් එකට. ඒ හෝටලයට යන්න තමයි මගේ එකම ආසාව තියෙන්නෙ.

හර්ෂ.. ඔබ වගේ Travel කරපු සහ කරන්න ඉන්න අයට ඔබට මොනවගේ පණිවුඩයක්ද දෙන්න තියෙන්නෙ?

මම හිතන්නෙ තැනේ ලස්සනට වඩා මානව සම්බන්ධකම් ලස්සන වෙන්න ඕනෙ කියලා. ඒ කියන්නෙ මානව සම්බන්ධකම් ලස්සන නම් අපිට ඕනෙ දෙයක් ලස්සන කර ගන්න පුළුවන්. ඒ වගේම ජීවිතේ එක එක කාලවල් තියෙනවා. ඒ කාලය අනුව ජීවිතය විඳින්න ඕනෙ කියලා. ඒ විදිහට ජීවිතය විඳින්න පුළුවන් දෙයක් තමයි Travel කියන්නෙ. මේ ජීවත්වෙලා ඉන්න ටික කාලයේ අපි ආසා තැන්වලට ගිහිල්ලා ආසා කරන මිනිස්සු ආශ්‍රය කරලා ජීවිතය විඳින්න කියලා තමයි මම සියලු දෙනාට කියන්නෙ.

චන්න කස්සප කෝරලේආරච්චි