එදා පෙම්වතියො අද යාළුවෝ - මාත් දැන් ‘සීයා’ කෙනෙක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මිහිපිට වෙසෙන සෑම සත්වයෙක්ම බලාපොරොත්තු වන වටිනාම දේ වන්නේ කාගෙන් හෝ ලැබෙන ආදරයයි. ආදරය හරි පුදුමාකාර දෙයකි. ඒ මහා පුදුමාකාර දේ එක්කෙනෙකුගෙන් නොවී, දෙදෙනෙකුගෙන් නොවී සමස්ත සමාජයෙන්ම ලැබේ නම්? එය සැබෑම වාසනාවකි. ‘‘දයාන්’’ යනු එලෙසින් බොහෝ දෙනාගේ ආදරය ලබන ආදරණීය කලාකරුවෙකි. ඔහුට ආදරේ කවුදැයි කියා අසනවාට වඩා ඔහුට ආදරේ නැත්තෙ කවුද කියා අහන එක වඩා හොඳය. ඒ තරමටම ‘‘දයාන්’’ හට හැමෝම ආදරේය. ඒත් දයාන් තවමත් තනිකඩය. ඔහුගේ 60 වැනි උපන් දිනය යෙදී තිබුණේ, අප්‍රේල් 18 දාය. එදින ‘‘දයාන්’’හට වෙනදාටත් වඩා පිරිසක් සුබ පැතුම් එක්කර තිබිණි. මේ ආදරණීය තනිකඩයා, තනිය මග හරවා ගෙන ‘‘අවුරුදු’’ සමය ගෙවා දැමුවේ කෙසේද? තනිකඩව සිටින ‘‘දයාන්’’හට මිනිස්සු මෙච්චර ආදරේ ඇයි? අපිත් දයාන් එක්ක ආදරණීය කතාබහකට එක්වෙමු.

කොහොමද මේ දවස්වල ජීවිතේ?

විශේෂම දේ මේ අවුරුද්දෙ අපේ පොඩි අක්කා එයාගෙ පවුලේ ඔක්කෝමලා එක්කගෙන ලංකාවට ආවා. ලොකු අක්කයි, එයාගේ පවුලෙ අයයි, පොඩි අක්කයි, එයාගෙ පවුලෙ අයයි, ඔක්කෝමලා එක්ක කාලයකට පසුව මට එකතු වෙලා ජීවිතය ගෙවන්න ලැබුණු අපූරු අවස්ථාවක් වුණා. කොග්ගල ලස්සන තැනක් තියෙනවා. අපි ඔක්කෝමලා 15 සිට 22 දක්වා ඉන්නෙ එහේ. ඉතින් මට නම් හරිම සතුටක් දැනෙන්නෙ. ලොකු අක්කා ලංකාවෙ ඉඳලා නිතර මගේ දුක සැප බැලුවත්, පොඩි අක්කා, පදිංචිය ඔස්ට්‍රේලියාවෙ නිසා, අවුරුදු තුනකට පස්සෙ ආවෙ. ඉතින් අපි හැමෝම හරිම සතුටින්. මගේ උපන් දිනයදා එයාලා මාව පුදුමයට පත්කළේ, හාමුදුරුනමක් වඩම්මලා දානයක් දීලා, බණක් අහන්න සැලැස්වීමක්. ‘‘60’’ උපන් දිනයේ විශේෂ දේ එයයි. පොඩි අක්කට ඩේසි කියලා මිණිපිරියක් ඉන්නවා. ලොකු අක්කට ෂිහානා කියලා මිණිපිරියක් ඉන්නවා. ඉතින් මාත් දැන් ‘‘සීයා’’ කෙනෙක්. ඒ මිණිපිරියන් දෙන්නව මට එකට දකින්න ලැබුණෙත් මේ පාර.

ඒ කියන්නෙ සීයලා අතරින් තරුණම සීයා වෙන්නැති මේ?

තනිකඩයා වුණත් මට දැන් හැටක්නෙ. සීයා තමයි.

ඒ වුණාට මොකක්ද මේ ‘‘දයාන්’’ගෙ තරුණ වීමේ රහස?

එක එක්කෙනා එක එක විදියට ඒ ගැන අහනවා. ඒත් කිසිම රහසක් නම් නැහැ. මම කාටත් හදවතින්ම ක්‍රියාවෙන්ම යහපතක් බලාපොරොත්තු වන කෙනෙක්. නිතරම ඒක තමයි මගේ ප්‍රාර්ථනය. කවදාවත් කාටවත් කරදර නැතුව සතුටින් සිටිනවා දකින්න කැමති කෙනෙක්. ඒ නිසා මටත් ජීවිතයට සතුට ලැබෙනවා ඇති. සතුටින් සිටීම නිසා ප්‍රිය උපදිනවා.

කලා ක්ෂේත්‍රයේ තරුණ මෙන්ම, මුහුණු පොතේ බොහෝ දෙනා ‘‘දයාන්’’ට උපන් දිනයදා ආදරය ප්‍රකාශ කරලා තිබුණු විදිය හරිම අපූරුයි. ඇයි මිනිස්සු ‘‘දයාන්’’ට මෙච්චර ආදරේ?

ඒක ඇත්තටම හරිම සතුටුයි. මට ඒ සුපැතුම් තවම දකින්න ලැබුණෙ නැහැ. මොකද මගේ පිටුව එක්ක සිටින පිරිස ලක්‍ෂයකට වඩා වැඩියි. ඒ නිසාම දෝ ලැබෙන මැසේජ් වැඩි නිසා වැඩි හොඳට ‘‘ෆේස්බුක්’’ ආයතනයෙන්ම මගේ පිටුව තාවකාලිකව රඳවාගෙන ඉන්නෙ. මොකද එයාලා එහෙම කරන්නෙ ‘‘හැකර්ල’’ට ඇතුල් වෙන්න බැරි වෙන්නයි. ඉතින් මම ෆේස්බුක් ආව ගමන් ඒ සියලු දෙනා ආදරණීයව මුණ ගැසෙන්නම්. මෙච්චර ආදරයක් මට ලැබීම මොනතරම් සතුටක්ද? ඒ ‘‘ආදරය’’ තමයි මාව ජීවත් කරවන්නෙ. මාව සතුටින් රඳවන්නෙ. ඒ නිසා ඒ සියලු දෙනාටම බොහෝම පින්.

මේ වගේ ආදරයක් ලැබේවි කියලා එදා ඔබ හිතුවද?

කොහෙත්ම නැහැ. අපි ගමෙන් ආපු අය. ඒ විදියට ගමෙන් ඇවිත් මෙච්චර ආදරයක්, ගෞරවයක් ලැබීම ලොකු සතුටක්. ජනප්‍රිය වෙන්න කවදාවත් හිතුවෙ නැහැ. හැබැයි කරන දේ ලස්සනට කරන්න උත්සාහ කළා. හොඳම විදියට කරන්න උත්සාහ කළා. මේ සියලු දේ එක්ක හැමෝගෙම ආදරය ලැබුණා.

‘‘දයාන්’’ ඔබගෙ දුරකථනයේ රින්ගින් ටෝන් එකට දාලා තියෙන්නෙ. ඔබගේම ‘‘මල් නොපිපෙනා වසන්තේ’’ ගීතය. ‘‘රස නොදැනෙනා ආදරේ ඇයි ඔබ ගෙනාවේ’’ දයාන් ඇයි එහෙම ගයන්නෙ?

ඕනෑම ආදරයක් කාලයක් යනකොට නීරස වෙන්න පුළුවන්. ඒක තමයි ස්වභාවය. අපි රසයි කියලා හිතන දෙයක් නීරස වෙනවා. ඒක තමයි අපේ ජීවිතයෙ තණ්හාව. ඒක නොසන්සිඳෙන දෙයක්. අම්මා කෙනෙකුගෙන් ලැබෙන ආදරය හැරුණු කොට, සහෝදර සහෝදරියන්ගෙන් සහ හිතමිතුරන්ගෙන් ලැබෙන ආදරය හැර අන් සියල්ල ආත්මාර්ථකාමී ආදර. ඒවා පවතින්නත් පුළුවන්, නොවෙන්නත් පුළුළුන්. මොන දේ අහිමි වුණත් හිත සතුටින් නම් ඒක තමයි ජයග්‍රහනය. අනුන්ගේ සතුට සහ අනුන්ගේ මුහුණට හිනාවක් දෙන්න පුළුවන් නම්, ඒක තමයි ලොකුම දේ. මම හිතන්නෙ එහෙමයි.

එදා ඔබ අපේක්‍ෂා කළ ප්‍රේමය ලැබුණා නම්, ඔබ විවාහ වුණානම් හොඳයි කියලා අද හිතෙන්නෙ නැද්ද?

මේ මොහොතේ මට එදා මම පෙම් කළ, මට හිටිය පෙම්වතියන් පවා උපන් දිනයදා සුබ පැතුවා, කතා කළා. ඇත්තටම කවුරුත් මා එක්ක තරහා නැහැ. අදටත් එයාලා යාළුවෝ. මම විවාහ වුණා නම් හොඳයි කියලා කවදාවත් හිතුවෙ නැහැ. තනිකඩව සිටි නිසා ජීවිතය කරදර අඩුයි. තනිකඩව සිටීම නිසා ජීවිතය බරක් නැහැ වගේ. දැන් ඉතින් හැටත් පැනලා නිසා තවදුරටත් බැඳීම් අඩුකරගෙන යන්න පුළුවන් නම් හොඳයි.

බොහෝ දෙනෙක් අදටත් ඔබගෙන් විමසන්නෙ ඒ කාලයේ පෙම්වතිය ජනප්‍රිය රංග ශිල්පිනියක් නේද කියලා? ඒ ගැන ඔබ මොනවද කියන්නෙ? කවුද හරියටම ඒ පෙම්වතිය?

එයා එදා හිටියෙ අපේ නන්දා මාලිනි මිස්ගෙ සංගීත පංතියෙ. මාත් ඒ පංතියෙ හිටියෙ. ඇයත් මට උපන් දිනයදා කතා කළා. ඒ වගේම ඒ ඒ කාලවල සිටි අනෙක් පෙම්වතියන් පවා කතා කළා. හැමෝම මා එක්ක හරි සුහදයි. මම එයාලට ගෞරවය දැක්වීම නිසා තමයි එයාලගෙ ගෞරවයත් මට ලැබෙන්නෙ. පාසල් කාලයේදී පවා ප්‍රේමයක් තිබුණා. ඔය විදියට පෙම්වතියන් හිටියා. මට හොඳක් වෙනවට අදටත් එයාලා කැමතියි.

ඒ කාලයේදී ඒ විදියට පෙම්වතියන් ගොන්නක් හිටියා නම්, ජනප්‍රිය වූ පසු කොහොම ඉන්න ඇතිද නේද?

අදටත් ප්‍රේම ආරාධනා ලැබෙනවා. හැට පැන්නත් ඒ විදියට ආදරය ලැබීම, එක අතකට පිනක්. මම පින් කරලා ඇති. ඒත් තණ්හාවක් වන නිසා ‘‘ආදරය’’ තුරුලට ගන්න මම කැමති නැහැ. මේ තනිකඩ ජීවිතය හොඳයි.

මේ විදියට කාගෙත් ආදරය ලබන ‘‘දයාන්’’ කවුද?

මාත් මාව හොයනවා. මම හොඳ මනුස්සයෙක් කියලා මිනිසුන්ගේ හදවත්වල ඉන්නවා නම්, මට ඒ ඇති. ‘‘හොඳ මනුස්සයකු’’ ලෙස හිතන – පතන මම අවුරුදු කාලවලදී තනිකඩයකු ලෙස කවදාවත් තනිවුණේ නැහැ. මාව තනි නොකළ පිරිසක් නිතර මා වටේ හිටියා. ඒ අය එක්ක අවුරුදු චාරිත්‍ර සැමරුවා. ඇත්තටම මම තනිකඩයි කියලා මට දැණුනෙ නැහැ. දැනිලා නැහැ. මොකද මගේ ජීවිතේ තියෙන්නෙ ඉතාම සීමිත බලාපොරොත්තු විතරයි. ඒ සරල බව එක්ක ජීවත්වන විට ජීවිතය බරක් ලෙස දැනෙන්නෙ නැහැ.

සඳුන් ගමගේ