එයා කවදාවත් මට මගේ වෘත්තිය කරන්න එපා කියලා නෑ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අරුණි රාජපක්ෂ කියලා කියන්නේ අපේ රටේ සිටින ඉතාමත්ම දක්ෂ රංගන ශිල්පිනියකි. රංගනයට පමණක්ම නොවෙයි ඇය දක්ෂ නිවේදන ශිල්පිනියක්ද වෙනවා. ඒ වගේම අරුණි රාජපක්ෂව අපිට වෙළද දැන්වීම් වලින්ද දැකගන්නට ලැබෙනව. ඇය මුළින්ම ප්‍රේක්ෂකයන් අතරට එන්නේ සුපර් සික්ස් චිත්‍රපටය හරහායි. එම චිත්‍රපටයේ ඉතාමත්ම දගකාර කෙළිලොල් චරිතයකට තමයි ඇය රංගනයෙන් දායක වෙන්නේ. මෙම චිත්‍රපටය හරහා ඇය ප්‍රේක්ෂකයන් අතර බොහෝ සෙයින් ජනප්‍රියත්වයට පත් වුණා. එතනින් නොනැවතුණු අරුණි රාජපක්ෂ මහරජ ගැමුණු, ඇඩ්‍රස් නෑ, ආදරණීය කතාවක්, පත්තිනි යන විවිධ නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට පැමිණීමට සමත් වුණා. එකිනෙකට වෙනස් රංගන හැකියාවන් ප්‍රේක්ෂකයන්ට පෙන්වමින් කලාව තුළ ඇය සාර්ථක ගමනක් පැමිණියා. නමුත් මේ දක්ෂ කලාකාරිනිය මේ වෙනකොටනම් රංගනයට සමුදීලා තමයි තියෙන්නේ. ඒ ඇය විවාහ වීමත් සමගම තම ආදරණීය සැමියා සමග විදෙස් ගත වීම නිසා. ඇය මේ වෙනකොට පුංචි දියණියන් දෙදෙනෙකුගේ ආදරණීය මවක්ද වෙනවා. ඉතින් මේ වෙනකොට ලංකාවට පැමිණ ඇති ඇය පසුගිය දිනයක පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවට එකතුවී මේ විදියට තමයි කතා කරලා තිබුණේ.

අරුණි කොහොමද ඉතින් මේ දවස්වල ජීවිතේ?

ගොඩාක් සතුටෙන් තමයි මේ දවස්වල කාලය ගත කරන්නේ. මම දැන් දියණියන් දෙදෙනෙකුගේ මවක් වෙනවා. ඉතින් දියණියන් දෙදෙනා සහ සැමියා සමග ඉතාමත්ම ආදරෙන් තමයි කාලය ගත කරන්නේ. ඒ වගේම මම ගොඩාක්ම කාර්‍යබහුල වෙලා තියෙන්නේ දරුවන්ගේ වැඩකටයුතු එක්ක. දරුවන්ගේ වැඩකටයුතු කරනකොට මට හුස්මක් ගන්නවත් නිදහසක් ලැබෙන්නේ නෑ. ඒත් මට දරුවන් දෙදෙනා සමග කාලය ගත කරන කොට මහන්සියක් දැනෙන්නේ නෑ. මම ඒ දෙන්නාගේ වැඩකටයුතු කරන්නේ හරිම ආසාවෙන් උනන්දුවෙන්. ඇත්තටම ඒ දේවල් එක්ක මම ගොඩාක් සතුටෙන් තමයි ජීවත් වෙන්නේ.

ඔබේ දරුවන් දෙදෙනාම එකම වයස්වල පසුවන නිසා නේද ඔබ මේ තරම්ම කාර්‍යබහුල වෙලා තියෙන්නේ?

ඔව්. මට ඉන්නේ නිවුන් දරුවන් දෙදෙනෙක්. ඒ දෙන්නාම දියණියන්. ඉතින් ඒ නිසා වැඩ වැඩියි. නිතරම වගේ ඒ දෙන්නා රණ්ඩු වෙනවා. ගොඩාක් වෙලාවට එයාලා රණ්ඩු වෙන්නේ මාව බෙදාගන්න තමයි. එක්කෙනෙක් මගේ උකුලට ආවොත් අනිත් කෙනාටත් මගේ උකුලට එන්න ඕනි වෙනවා. එක්කෙනෙක් දෙයක් කරොත් අනිත් කෙනාටත් ඒ දේම කරන්න ඕනි වෙනවා. දෙන්නාම කෑම කන්නේ එකට නිදාගන්නේ එකට. එතකොට ඉතින් මට ඒ දෙන්නගේ පස්සෙන්ම ඉන්න වෙනවා. මම හිතන්නේ නිවුන් දරුවන්ගේ තියෙන බැදීම ගොඩාක් වැඩියි ඒ නිසා තමයි එක්කෙනෙක් ආස දේට අනිත් කෙනාත් ආස වෙන්නේ. හැබැයි ඒකෙන් වැඩ වැඩි වෙන්නේ රණ්ඩු බේරන්න වෙන්නේ මට තමයි.

ඔබ දරුවන් දෙදෙනාගේ සහ නිවසේ වැඩකටයුතු සදහා සහයෝයගට කෙනෙක් තියාගන්නේ නැත්ද?

අනේ නෑ. හැම වැඩක්ම කරන්නේ මම තනියම තමයි. මම කවදාවත් දරුවො බලාගන්න නැනී කෙනෙක් ගත්තේ නෑ. මම.කැමති නෑ මගේ දරුවන්ගේ වැඩ වෙන කෙනෙක්ට බාර දීලා බලාගෙන ඉන්න. මම හරිම ආසයි දරුවන්ගේ වැඩ මගේ අතින්ම කරන්න. නමුත් දරුවෝ දෙන්නා පොඩි කාලේ නම් මගේ අම්මයි තාත්තයි මගේ උදව්වට ඇවිත් හිටියා. නමුත් දැන් දරුවෝ දෙන්නට අවුරුදු දෙකක් වෙනවා. ඒ නිසා මම දැන් තනියම ඒ වැඩකටයුතු බලාගන්නවා. ඒ වගේම ගෙදර උයන පිහන වැඩවලටවත් මම කවුරුවත් ගන්නේ නෑ. මම ආස මගේම අතින් මගේ දරුවන්ට සැමියාට උයලා දෙන්නෙ. ගෙදර වැඩ මම කරන්නේ නැතුව වෙන කෙනෙක් කරද්දී මගේ හිතට හරි නෑ. ඒ දේවල් හරියටම වෙන එකක් නෑ කියලා මට හිතෙනවා. ඒ නිසා මම තනියෙම මේ හැම වගකීමක්ම අරගෙන කටයුතු කරනවා.

දරුවන්ගේ වැඩකටයුතු සදහා ඔබේ සැමියාගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?

එයා පුළුවන් උපරිම සහයෝගය මට දෙනවා. එයා නැත්නම් ඇත්තටම මට මේ දේවල් තනියම කරගන්න බෑ. එයාගෙන් ලැබෙන සහයෝගය 100% කියලා මට කියන්න පුළුවන්. දරුවන් දෙන්නගේ වැඩකටයුතු නිසා මට ගොඩාක් වෙහෙසකර දවස් තියෙනවා. ඒ දවස්ට මට විවේකයක් ගන්න කියලා මහත්තයා තමයි දරුවෝ දෙන්නවා බලාගන්නේ. දුවලා කොහොමත් වැඩියෙන්ම ආදරේ තාත්තට කියලා කතාවක් තියෙනවානේ. ඒ වගේම තමයි මගේ දරුවන් දෙදෙනාත්. තාත්තට හරිම ආදරෙයි. ඒ නිසා ඒ දෙන්නා මට කරදර කරන තරම් තාත්තට කරදර කරන්නේ නෑ. මාත් එක්ක දෙන්නම නිදාගන්න ගියාම ලොකු යුද්ධයක් කරනවා. නමුත් ඒ දෙන්නා තාත්තා එක්ක නිදාගද්දී කරදර නොකරම නිදාගන්නවා. එයාගෙන් මගේ ජීවිතයට ලැබෙන සහයෝගය මට කියලා නිම කරන්න බැහැ. ඇත්තටම මම ගොඩාක් වාසනාවන්තයි.

ඔබ විවාහයෙන් පසුව රංගනයෙන් ඈත් වෙනවා නේද?

ඔව්. මම විවාහයෙන් පස්සේ විදෙස්ගත වෙනවා. මොකද මගේ මහත්තයාගේ ස්ථීර පදිංචිය එංගලන්තයේ. මොකද එයා පොඩි කාලේ ඉදන්ම ඒ රටේ ජීවත් වුණු කෙනෙක්. ඉතින් මම කොහොමත් දැනගෙන හිටියා විවාහයත් එක්කම ඒ රටට මටත් පදිංචියට යන්න වෙනවා ඒ නිසා රංගනයෙන්ද ඈත් වෙන්න වෙනවා කියලා. අපි දෙන්නාගේ විවාහය යෝජනාවක් මගින් තමයි සිදු වුණේ.
ඉතින් අපි දෙන්නට අපි දෙන්නව තේරුම් ගන්න කාලයක් තිබුනේ නෑ. ඒ නිසා අපි ඉක්මනටම විවාහ වෙන්න තීරණය කළා. ඊට පස්සේ අපි රට ගිහින් වෙනමම පරිසරය ජීවත් වුණා. එක එක තැන් වල ගොඩාක් travel කරා. අපි දෙන්නට අපි දෙන්නාව ගොඩාක් තේරුම් ගන්න පුළුවන් වුණා ඒ කාලය ඇතුළත. අපි දරුවෝ හැදුවෙත් විවාහ වෙලා අවුරුදු 3 කට පස්සේ තමයි.

රංගන ශිල්පිනියක් විදියට ඔබව මිනිසුන් අතර ජනප්‍රිය වීගෙන එන කාලේ තමයි ඔබ රංගනයෙන් ඉවත් වුණේ. ඒ ගැන ඔබට මොකද හිතෙන්නේ?

මම ඒ දේ ගැන දුක් වෙන්නේ නෑ. මොකද විවාහය කියලා කියන්නේ ගැහැණියකගේ ජීවිතයේ ඉතාමත්ම වටිනා දෙයක්. මට මගේ වෘත්තිය නිසා මගේ විවාහ ජීවිතය අසාර්ථක කරගන්න බැහැ. මම හැමදේටම වඩා මුල් තැන දෙන්න ඕනි මගේ පවුල් ජීවිතයට. සමහර අය කියනවා පවුලේ වැඩකටයුතුත් රංගන වැඩකටයුතුත් සමබරව කරන්න පුළුවන් කියලා. නමුත් මට හිතෙනවා එහෙම දෙකම කරන්න යන එකෙන් ඒ දෙකෙන් එක පැත්තකට හෝ මගෙන් අඩුවක් වේවි කියලා. මොකද වෙනත් වෘත්තීන් වගේ නෙවෙයි රංගනය. උදේ පාන්දර ගෙදරින් ගියාම ආයේ ගෙදර එන වෙලාවක් කියන්න බෑ. එතකොට මට මගේ සැමියාගේ මගේ දරුවන්ගේ වැඩකටයුතු අතපසු වෙන්න පුළුවන්. ඒක මගේ හිතට හරිම වදයක්. මට ඕනි සාර්ථක බිරිදක් සාර්ථක මවක් වෙන්න. ඒ නිසා තමයි මම තාවකාලිකව රංගනයෙන් ඈත් වුණේ. මගේ දරුවෝ ලොකු වෙනකොට මට නෑවත රංගනයට එන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒ නිසා මම මගේ ජීවිතේ මේ ගත්ත තීරණය තමයි නිවැරදිම තීරණය. ඒ ගැන මම කවදාවත් දුක් වෙන්නේ නෑ.

ඔබේ සැමියා ඔබ රංගනයේ යෙදෙනවාට අකමැති නැත්ද?

අනේ නැහැ. එයා කවදාවත් මට මගේ වෘත්තිය කරන්න එපා කියලා නෑ. ඇත්තටම අපි විවාහ වෙනකොට මගේ සැමියා වන නලින් මම රගපානවා දැකලා තිබුණේවත් නෑ. නමුත් අපි දෙන්නා විවාහ වුණාට පස්සේ මම රංගනයෙන් දායක වුණු නිර්මාණ සියල්ලම එයා බැලුවා. ඒවා බලලා මට ගොඩාක් ප්‍රශංසා කරා මාව ගොඩාක් අගය කිරීමට ලක් කරා. එයා විවාහ වෙන්න කලින් මේ ක්ෂේත්‍රය ගැන දන්නේ නෑ වැඩිය. නමුත් විවාහයෙන් පස්සේ එයා මේ දේවල් ගැන ගොඩාක් ඉගෙන ගත්තා. එයා මට හැමවෙලේම සහයෝගය දෙනවා මගේ වැඩකටයුතුවලට. මගේ රංගන හැකියාව එයා දැක්කට පස්සේ එයා ගොඩාක් සතුටු වුණා. මාව ඒ දේවල්වලට උනන්දු කරා. මම හැමදාටම රංගනයෙන් ඈත් වුණේ නෑ. ඉදිරියේදී ඉඩක් ලැබුණු කාලෙක හොද නිර්මාණ තුළින් ප්‍රේක්ෂකයන් අතරට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා මම.

අරුණි ලංකාවට ආවේ නැවත එංගලන්තයට යන්න හිතාගෙනද?

නලීන් කරන රැකියාවත් එක්ක නිතරම එයාට එංගලන්තයට යන්න එන්න වෙනවා. නමුත් අපි දෙන්නා තීරණය කළේ දිගටම ලංකාවේ පදිංචි වෙලා ඉන්න තමයි. නලීන් පොඩි කාලේ ඉදන්ම එංගලන්තයේ හැදුනු වැඩුනු කෙනෙක් වුණත් එයා මටත් වඩා ලංකාවේ සංස්කෘතියට ආදරෙයි. ලංකාවේ දේවල් වලට එයා ගොඩාක් ආදරය කරනවා. අපි එංගලන්තයේ යන එන කටයුතු සිදු කරත් ස්ථිරව පදිංචි වෙන්න හිතාගෙන ඉන්නේ ලංකාවේ තමයි.

සටහන – තමාරා පතිරණ