එයා නැව් නැංගම මම ගිටාරය වැයුවා - මහින්ද බණ්ඩාර



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වදනින් කියා නිමකළ නොහැකි බොහෝ දේ අතිරමණීය ලෙස සවනට ළංකළ හැක්කේ සංගීතයටමය. එවන් වූ සංගීතය තම සහජ හැකියාව ඔස්සේ රසවත්ව රසික සවනට ළං කරන සොඳුරු කලාකරුවෙකු සමඟයි අද හදසර අපේ කතාබහ. ගිටාරය යැයි කියූ සැණින් ශ්‍රී ලාංකික අපේ මතකයට එන ඔහු සංගීතවත් කළ ගීත ගණනාවක්ම අප හද රැඳී ඇත.

දුහුල් මලෙක මල් පෙත්තක
එහා මෙහා පෙනෙන පරිදි
සියුම්ව ලිව්වා වූ මගෙ පෙම් පණිවිඩය...

යනුවෙන් මීට ටික කලකට පෙර නිරෝෂා විරාජනී ගැයූ ගීතය ඇතුළුව ජනප්‍රිය ගිත දහස් ගණනක් ඔහුගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩ වි අපේ හදවත්හි ලියැවී ඇත. ඉතින් අද අප හමුවන ඔහු ප්‍රවීණ සංගිතවේදී මහින්ද පාලිත විජේසුන්දර බණ්ඩාර නොඑසේ නම් අප සැම ආදරය කරන මහින්ද බණ්ඩාර නම් වන්නේය.

කෑගල්ල තම උපන්බිම වූ මහින්ද කෑගලු විද්‍යාලයේ ආදි සිසුවෙකි. ගුරුවරයෙකු වූ ඔහුගේ පියා රත්නපාල විජේසුන්දර බණ්ඩාර සහ සරල ගී ගායන ශිල්පිනියක වූ චන්ද්‍රා තිලකානි බණ්ඩාර දෙදෙනාම මේ වනවිට ජීවතුන් අතර නොමැත. සංගීතය යනු ඔවුන්ගේ පවුල තුළ නිරතුරු ඇසුරේ තිබුණකි.

අපේ පවුලේ සහෝදර සහෝදරියන් ඔක්කොම නව දෙනයි. මම හතරවෙනියා. අපේ අක්කලට එහෙමත් සංගීතමය හැකියාවන් තිබුණා. ඒ වුණත් ක්ෂේත්‍රයට ආවේ මාත් රාජ මල්ලිත් විතරයි. කුඩා වියේ ඉඳන්ම අපේ ගෙදර තිබුණේ සංගීතමය පරිසරයක්. අපේ තාත්තා පාසල් ගුරුවරයෙක් නිසාම මම පාසල් දෙකක ඉගෙන ගන්න අවස්ථාව ලැබුවා. පරගම්මන විද්‍යාලයේ දෙක ශ්‍රේණිය දක්වා ඉගෙනගෙන ඉන්පසු තමයි කෑගලු විද්‍යාලයට ගියේ. මාත් මල්ලිත් (රාජු බණ්ඩාර) දෙන්නම ඉගෙනීමට දක්ෂකම් දැක්වූවා. මම ජීව විද්‍යා අංශයෙනුත් මල්ලී ගණිත අංශයෙනුත් තමා උසස් පෙළ කළේ. ඒත් කුඩා කාලේ සිටම අපි සංගීතයටත් නැඹුරු වුණා. මගෙ සීයා තමයි D.C. කොඩිතුවක්කු. මාමා තමයි ප්‍රේම්නාත් කොඩිතුවක්කු. ඔහු දක්ෂ තබ්ලා වාදකයෙක්. අම්මත් සරල ගී ගායිකාවක්. අනික අපේ ගෙදර සංගීත භාණ්ඩ ගොඩක් තිබුණා. ඉතින් එනිසාම ඒවා දකින්න වාදනය කරන්න නිරායාසයෙන්ම අපි හුරුවුණා.

ඉගෙනීමට, සංගීතයට සේම මහින්ද ක්‍රීඩාවටද දක්ෂයෙකු විය. මම ඉස්කෝලේ නවය දහය වසරවලට එද්දී පාසල් ක්‍රිකට් කණ්ඩායමට බැඳුණා. සංගීතය මගේම ක්‍රීඩාවට එක්වෙන්නත් මට හැකිවුණා. පාසල් යන අවධියේම තමයි මම ෆෝචූන්ස් සංගීත කණ්ඩායමට එක්වුණේ. පාසල් යන අතරම මම පටිගත කිරීම්වලටත් එක්වුණා. ප්‍රවීණ සංගීතඥ ස්ටැන්ලි පීරිස් තමයි මාව ඒ සඳහා තෝරාගත්තේ. මේ සියල්ල මම විනෝදාංශයක් වගේ හරිම කැමැත්තෙන් කළ දේවල්. වෘත්තිමය සංගීතඥයෙකු බවට පත්වන්නට ඒ දවස්වල හිතුවේ නැහැ. මගේත් රාජුගේත් අධ්‍යාපන දක්ෂතා මත වෙනත් ක්ෂේත්‍රයන්හි රුකියා සොයාගන්නට හොඳටම ඉඩ තිබුණා.* නමුත් එය එසේ වූයේ නැති වග අද අප දකිමු. ගීත 5000කට පමණ සංගීත නිමැවුම්කරුවෙක් ලෙස ඔහු ලබාදුන් දායකත්වය පිළිබඳ රසිකයින් ලෙස අප දැනුවත්ය. ගිටාරයක තත් අතර මැවෙන අපූර්ව මාධූර්ය සමඟම ඔහු අප මතකයේ රැඳෙන්නට තරම් ඔහුගේ වාදන හැකියාව අපූරුය.

අපේ මාමලාගේ මිත්‍රයෙක් තමයි ස්ටැන්ලි පීරිස් කියන්නේ. ඒ වගේම තව හිටියා ලෝරන්ස් ප්‍රනාන්දු කියලා හිතවතෙක්. මම ආසාවට ගිටාරය වාදනය කළත් එය ක්‍රමානුකූලව විධිමත් ක්‍රමවේදයකට අනුව කරන්නට පුහුණු කළේ එතුමා. ඔහු භෞතික විද්‍යා ගුරුවරයෙක්. මේ අය ඉස්සර නිතර අපේ ගෙදර එනවා. මාමලාගේ යාළුවෝ නිසා. ඔහොම එද්දී මම වාදනය කරන හැටි දකිනවා ස්ටැන්ලි පීරිස් මහතා ඇතුළු පිරිස. ඉතින් ඔවුන් මගේ වාදනය පිළිබඳව යම් කතාබහක නිරත වන්නට ඇති. මේ කාලේ ෆෝචූන්ස් කණ්ඩායමේ නිත්‍ය ලීඩ් ගිටාර් වාදන ශිල්පියා වුණේ පද්මසිරි රෑපරත්න. ඒ දවස්වල නැව්වල රුකියා සඳහා යාමක් තිබුණනෙ. ඉතින් මෙයාටත් ග්‍රීක නෞකාවක රුකියාව කරන්න ලැබිලා කණ්ඩායමෙන් ඉවත්වුණා. ඒ ෆෝචූන්ස් කණ්ඩායමට අධික කාර්යබහුල කාලයක්. ඉතින් එහි ඇතිවූ පුරප්පාඩුවට ඔවුන් කිසිදු පැකිලීමකින් තොරව මාව බඳවා ගත්තා. මමත් බොහොම කැමැත්තෙන් එක්වුණා. මට මතකයි ඉතාම වෙහෙසකර කාලයක් ඒක. ෆෝචූන්ස් සංගීත කණ්ඩායමේ පුහුණුවීම් නුවර තිබුණේ. මම කෑගල්ලේ ඉඳන් නුවරට යනවා බස් එකේ. ඒක මට අලුත් අත්දැකීමක් වුණා. බටහිර ගීත තමයි ඔවුන් බොහොමයක් වාදනය කළේ. සිංහල ගීත වාදනය කළා නම් ඒ කලාතුරකින්. ඔය අතර තමයි ගුවන් විදුලියේ ගී අනුවාදන* වැඩසටහනට සම්බන්ධවීම සිදුවුණේ. ස්ටැන්ලි පීරිස් මහතා තමයි මේ සඳහා එක්ව නැවත අපව සිංහල ගීත හා සංගීතය සමඟ එක්කළේ. ඉන්පසු අප දිගින් දිගටම මෙරට ජනප්‍රිය ගායන ශිල්පීන් සමඟ පටිගත කිරීම් සඳහා එක්වුණා තම අතීත මතකයන් හා සංගීත දිවියේ ආරම්භය ගැන සිහිකරමින් මහින්ද බණ්ඩාර පවසයි.

වික්ටර් රත්නායකයන්ගේ ගීත ඇතුළත් වූ EP තැටියකට තමයි මම මුලින්ම වාදනයෙන් දායකත්වය ලබාදුන්නේ. ගීත හතරයිනේ. ස්ටැන්ලි පීරිස් මහතා සංගීතවත් කළේ. නමුත් මගේ ගිටාර් ඛණ්ඩයකින් ඇරඹෙන ගීතයක් ලෙස මුලින්ම පටිගත වුණේ වික්ටර් රත්නායකයන්ගේ උදා ළා හිරු පායලා කියන ගීතය. ඉන්පසු නම් විවිධ ශිල්පීන් වෙනුවෙන් මාගේ ගිටාර් පාට් ගණනාවක් ඇතුළත් වුණා. අතිශයින් ජනප්‍රිය වූ අසූව දශකයේ අග භාගයේදී රෑකාන්තගේ රේණු රේණු මල් මිටේ රේණූ, දිගන්තයේ වාගේ ගීතවලට අප අත්හදා බැලීමක් ලෙසින් තමයි ගිටාරයේ විවිධ හඬ යොදාගත්තේ. ඒවා ගොඩාක් සාර්ථකයි. මොකද ගිටාරය ඉගෙන ගන්නා අය අදටත් ඒවා ගැන කතා කරනවා. මම මුලින්ම ගීත තනු නිර්මාණයක් කළේ තරංගා විජය රාමනායක මහතාගේ හඳුන්වාදීම මත ඔවුන්ගේ කැසට් පටයක් වෙනුවෙන් ශ්‍යාමි ෆොන්සේකාට. ඒ දවස්වල රෑකාන්ත ගීත පටිගත කරලා නැහැ. අපි දෙන්න යාළුවෝ. මොකද දෙන්නම කෑගල්ලෙනෙ. අර කැසට් පටයට අජන්තා රණසිංහ ලියූ &හිතට හිතී මා නොකී කතා* ගිතය ශ්‍යාමි ෆොන්සේකා සමඟ ගායනා කළේ රෑකාන්ත. එලෙස තනු නිර්මාණයට එක්වූ සංගීතවේදී මහින්ද බණ්ඩාරයන්ගේ ගී නිර්මාණයක් කීර්ති පැස්කුවෙල් හා ධම්මිකා වල්පොළ සුගායනීය හඬින් අදටත් අප දෙසවන රුව්දේ.

කවිකාරියේ... සින්දු කියනා ළඳේ
නුඹදෝ රැහේ කෝකිලා
මගෙ පාඩුවේ යන්න යනවා ඔහේ
අනේ සාමි... හැන්දෑවෙලා....

එම ගීතයයි. එමෙන්ම කීර්ති පැස්කුවෙල් ගයන ඉස්සර ආදි කාලේ සමිතා එරන්දතී හා මරියසෙල් ගුණතිලක ගයන මුළු රුයක් පුරා, නිරෝෂා විරාජිනීගේ රන්ගිර මා..., සත්මහලින් බැස එන්නම්, මං කිරිල්ලයක් තමයි වැනි ගීත අදටත් ජනප්‍රියය.

මහින්ද - ධම්මිකා හමුවද ඉතා සොඳුරුය. 1980 දෙසැම්බර්වලදී මම හදිසි අනතුරකට ලක්වුණා. එතකොට මම ලතා ඇන්ටි, ධර්මදාස අන්කල්ගෙ කැසට්වලට සංගීතය පටිගත කිරීම්වලට එක්වෙනවානෙ. ධම්මිත් එනවා. ඉතින් අපි හිනාවෙනවා. කතා කරනවා. හඳුනනවා. ඔහොම ඉද්දි තමයි මම අනතුරට ලක්වුණේ. ග්‍රේෂන් ආනන්ද ඉස්සර ලතා ඇන්ටිලගෙ ගෙදර යනවා නිතර. එහෙම ගිය වෙලාවක මගෙ අනතුර ගැන එයාලට කියලා තිබුණා. ඉතින් ධම්මි ගොඩාක් කම්පනයට පත්වෙලා තිබුණා.කොහොම හරි ඉතින් ඒ හිතවත්කම ආදරයකට පෙරළුණා. නමුත් ධම්මිගෙ ගෙදරින් කැමතිවෙයි කියලා මට හිතුණෙ නැහැ. ධම්මිකා කියන්නෙ පවුලෙ එකම කෙල්ලනෙ. ලතා ඇන්ටිට තමයි මුලින්ම ධම්මි මේ ගැන කියලා තිබුණේ. පසුව ධර්මදාස අන්කල්ට කිව්වා. ඔහුත් කැමති වුණා. නමුත් අපේ විවාහ මංගල්‍යයට ඔහුට ඉන්න හැකිවුණේ නැහැ. ඔහු අභාවප්‍රාප්ත වුණා. හැබැයි ඊට පෙර අපේ නිවෙස්වලින් ඔක්කොම කතා කරලා එකඟ වෙලා තිබුණේ. මහින්ද - ධම්මිකා කැදැල්ලේ දරුවන් තිදෙනෙකි. වැඩිමලා ගීතාන් බණ්ඩාර, දෙවැන්නා තිසර බණ්ඩාරය. &ඔහු නම් සංගීතයට එක්වෙලා අද වැඩ ගොඩක් කරනවා. මාත් එක්ක සංගීත කටයුතුවලට එක්වෙනවා. තුන්වෙනියා මයුර බණ්ඩාර එයත් සංගීතයට ළැදියි.

අදටත් මම සංගීත පටිගත කිරීම්වල යෙදෙනවා. අලුත් නිර්මාණ කරනවා. නව පරපුරේ අය සමඟ වැඩකරනවා. ධම්මිටත් ගීත ගොඩක් කරලා තියෙනවා. මම ගීත ගායනා කරලම නැහැනේ. හැබැයි මගේ රසිකයින්ට ඉදිරියේදී අලුත්ම සුන්දර අත්දැකීමක් විඳින්න ලබාදෙන්න සූදානම්. රටේ පවතින මේ වර්තමාන තත්ත්වය සාමාන්‍ය අතට හැරුණාම අපි බලමු. ඔහු නිර්මාණකරුවෙකු ලෙසද සාමාන්‍ය පුරවැසියෙකු ලෙසද ඉතා සංවේදී ලෙස පවසයි. සැබැවින්ම කලාකරුවන්ට පමණක් නොව එය විඳින්නට රසිකයින්හටද මනසට සැහැල්ලුවක් තිබිය යුතුය. එවන් හෙටක් ඉක්මණින් උදාවේවා යැයි අප ප්‍රාර්ථනා කරමු. අලුත් නිර්මාණ කරන්නේ නැද්දැයි ඇසූ විට ඔහු පැවසුවේ මෙවැන්නකි. ඇත්තටම දැන් කරන නිර්මාණ බොහොමයක් මාධ්‍ය නාලිකාවල ප්‍රචාරය කෙරෙන්නෙ අඩුවෙන්. ප්‍රචාරය කළත් ඒ නිර්මාණය කළේ කවුද, රචකයා, සංගීතඥයා, ගායකයා කවුද කියා කියැවෙන්නෙම නැති තරම්. ගීතයක් නිර්මාණයට කී දෙනෙකුගේ දායකත්වය ලැබෙනවාද? වාදකයින්, ශබ්ද පරිපාලකයින් මේ ආදී ලෙස බොහෝ පිරිසක් එක්වෙලා නිර්මාණයක් කළත් ඔවුන් ගැන කිසිදු සඳහනක් නැහැ. ඒ වගේ දේවල් නිසා එම නිර්මාණ පසුපස සිටින්නත් ඇගයීමක් සිදුවන්නේත් ඉතා කලාතුරකින්. නිර්මාණවලට ආදරය කරනවා සේම නිර්මාණවේදීන්ටද ආදරය කළ යුතු වග ඔහු සිහිපත් කරයි. ගිටාරයෙන් විස්කම් පානා මහින්ද බණ්ඩාර නම් සොඳුරු නිර්මාණවේදියාට අප සවන් සනසාලන තවත් මධුර මියැසි සර නඟන්නට නිරෝගී සුව දීර්ඝායු ප්‍රාර්ථනා කරමු.

මොනිකා සේරසිංහ / සේයාරූ I සුමුදු හේවාපතිරණ