කාටත් ණයත් නැති බයත් නැති සුනිල්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලෝක සංගීත ක්ෂේත්‍රයට ඇබා, බොනියම්, බීට්ල්ස්, රෝලිං ස්ටෝන්ස් වැනි සංගීත කණ්ඩායම් සහ ඒවායෙහි සිටි ගායක, ගායිකාවන් හැමදාටම ජනප්‍රිය වේ නම් මෙරට ජිප්සීස් යනු ලාංකීය ජනතාවගේ බහුතරයක් හැමදාටම හද බැඳි සංගීත කණ්ඩායම වන්නේය. එහිදී සුනිල් පෙරේරා යනු ඒ ජිප්සීස් කණ්ඩායමට  නායකත්වය සැපයූ ප්‍රතාපවත් සංගීත නියමුවාය. අඩ සියවසකට ආසන්න කාලයක් මෙරට ප්‍රසංග වේදිකාව රස ගැන්වූ ඒ ප්‍රතාපවත් ආකර්ශනීය ගායකයා, සංගීතඥයා මින් පසුව අපට කිසිදාක හමු නොවේයි. ඒ ආදරණීය කලාකරුවා දැන් අප අතර නොවේ. ඔහු වඩාත් ඇලුම් කළ, ඔහු වඩාත් ගරු කළ, දෙවියන් වහන්සේගේ ස්වර්ග රාජ්‍යයට ගොසිනි. එලෙසින් ඔහු නික්ම ගියේ, රස පිරුණු ගී නිර්මාණ විතරක්, ඔහුගේ හඬ විතරක් මෙහි  තබා නොවේය. මිනිසකු හට තිබිය යුතු අවංක මනුස්සකම තබා ගිය සුන්දර මිනිසෙක් විය. ඔහුගේ වියෝව සම්බන්ධයෙන් බොහෝ දෙනා මේ වනවිට බොහෝ දේ ලියා, කියා අවසානය. මේ අපට හමුවූ අපට ලෙංගතුව සිටි ඒ ආදරණීය කලාකරුවා ගැන අප තබන සමරු සටහනකි. 

මීට වසර කීපයකට පෙරදි අප ඔහු ඇමතුවේ සඳැල්ලට ජීප්සීස්ලාගේ ඡායාරූප ගැනීමට සහ ඔවුන් එක්ක පිළිසඳරේ යෙදී ලිපියක් ලිවීම වෙනුවෙනි. 

සුනිල් අයියා, එතකොට අපි හෙට කොතැනට ද එන්න ඕනෑ. 

මල්ලි අපේ මහ ගෙදරට එන්න. පියල් මල්ලියි අපේ අනෙක් අයටයි එතැන ලෙහෙසියි. 
සුනිල් අයියා කීවේය. 

ජිප්සීස් සුනිල්ලා යනු එහෙම ලෙහෙසියෙන් අල්ලා ගන්නට පුළුවන් ශිල්පීන් නොවේ. ඔවුන් ඒ තරමටම කාර්ය බහුලය. ඒ ඔවුනට ලැබෙන සහ ඇති ඉල්ලුම නිසාය. නමුත් සුනිල් පෙරේරා යනු අප දන්නා පරිදි මාධ්‍ය ආයතනයක. කවරකු හෝ කතා කළ පසු ඒ වැඩේට එන්න පුළුවන් නම් හා බැහැ නම් බැහැ කියලා කෙළින් කියන මිනිසෙකි. ඒ වගේම උද්දච්චකමින් මාධ්‍ය ගරහන්නට ගිය කලාකරුවකු ද නොවේය. මාධ්‍ය ක්ෂේත්‍රයේ වේවා අන් ඕනෑම ක්ෂේත්‍රයක කෙනෙක් කතා කළ විට බොහොම විවෘතව කතා කළ නිහතමානී චරිතයක් විය. 

එදා අප යනවිට සුනිල්  අයියා කොට කලිසමකුත්  ඇඳගෙන වයර් වගයක් එහෙට මෙහෙට අදිමින් සිටියේය. පෙරදා ජිප්සීස්ලගෙ ශබ්දාගාරයේ වැඩක් තිබී ඇත. කවුරු හෝ ඒ ගත්ත දෙයක් නියමිත තැන තබා ගොස් නැත. 

‘බලන්නකො මල්ලී, මේක ගත්තා නම් ගත්ත තැන තියන්න එපායැ නේද? ඉන්න මම මේක තියන තැන තියලා එන්නම්. 
ප්‍රසංග වේදිකාවේ පෙරළි කළ ඒ පෙරළිකාරයාගේ හැටි එහෙමය. ඔහු ඉතාම පිළිවෙළට සිටි මිනිසෙකි. මොන දේ කළත් පිළිවෙලක් නැත්නම් සුනිල් අයියාට මළ පනී. ඔහු මට පොතක් ගෙන පෙන්නුවේය. 

ඒ පොතේ ශබ්දාගාරයේ ඇති බඩු භාණ්ඩ සියල්ල තිබෙන තැන ගැන ලියා තිබෙන අයුරු පෙන්නුවේය. 

මෙහෙම කළේ නැත්නම් ගෙනිච්ච කෙනාට මතකත් නැහැ. මටත් අමතක වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේ විදියට මම පොතක් දාලා තියෙන්නේ. මේ බලන්න ඊයේ පුතා ඇවිත් මගෙන් අඬු මිටියක් ඉල්ලුවා. මම හොඳවගෙන් දෙකක් කියලා අඬුමිටිය දුන්නා. හැබැයි මේ පොතේ ලිව්වා. ගෙනිච්ච දවස වගේම ඒක ආපහු බාර දුන්නාමත් මේ පොතේ ලියනවා. 

හරි හරි දැන් ඕවා කතා කරන්න නෙවෙයිනෙ. ආවේ අපි අපේ වැඩේ කරමුකො. සුනිල් අයියා අපේ වැඩේට බැස්සේය. 

එයාගේ ළමා වියේදී වූ මතකය ගැටවර වියේ පාපැදියෙන් ගිය හැටි. ගැහැණු ළමුන් දිහා බලපු හැටි ඒ සෑම දෙයක් ගැනම ‘රසකර’ අපට කිව්වේය. ජීවිතයේ කිසිම රහසක් ඔහුට නැත. සියල්ල විවෘතය. ඒ කතා බහ සැබැවින්ම රස සාගරයක් විය. ජිප්සීස්ලාගෙ  සංගීතය වගේම ඒ සියල්ල හරිම රසවත්ය. මේ රසවත් කතා බහ අවසන සුනිල්, අයියා, පියල් ප්‍රමුඛ ජිප්සීස් කණ්ඩායමේ ඡායාරූප ගැනීම ඊළඟට අපි සිදු කළෙමු. මේ වැඩේට ඔවුන් ඉතාම පිළිවෙලට එක්ව සිටියේය. ඒ පිළිවෙල ඇත්තටම සුනිල් අයියා ඇති කළ එකකි. ජිප්සීස්ලා ජනප්‍රිය වුණේ ඔවුනගේ සංගීතය හා ගැයුම් නිසා යැයි බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ නම් අප එසේ නොකියමු. ඔවුන් වඩාත් ජනප්‍රිය වුණේ පැවැත්මක් ඇති ගමනක් ආවේ සුනිල් අයියා ඇතිකළ පිළිවෙල නිසාය. පිළිවෙලක් නොමැති තැන පැවැත්මක් නැත යන්න ඔහු විශ්වාස කළ දෙයක් විය. එදා සුනිල් අයියා ප්‍රමුඛ ජිප්සීස් හමුවූ මොහොත අපට කිසිදා අමතක නොවේ. ඒ නොමියෙන මතක ඔස්සේ මනුස්සකම ලෝභ නැතුව මුළු සර්වාගයේම රඳවාගෙන සිටි සුනිල්  අයියාගේ මනුස්සකම ගැන මීළඟට අප  මොහොතක් බළමු. 
ඔහුට ඔහු ගැන හොඳ විශ්වාසයක් මෙන්ම අවබෝධයක් තිබිණි. එනිසා කෙළින් කතා කළේය. හරි හෝ වැරදි ඔහු ඔහුට දැනුණ පරිදි විවේචනය කළේය. පාඩුවක් වේයැයි අවාසියක් වේ යැයි කියා නිශ්ශබ්දව නොසිටියේය. හිතට එකඟව තම මතය නිදහස්ව කතාකළ නිර්භය දුර්ලභ කලාකරුවකු වීය. ගතානුගතිකව හිතන අදහස් බැහැර කළ ඔහු නිතර අලුත් ලෝකයට ගැලපෙන විදියට අදහස් තිබූ මිනිසකු විය. තාරුණ්‍යය ඔහුට වඩාත් ආදරය කළේ, ගෞරව කළේ තාරුණ්‍යයේ අලුත් දේ සුනිල් අයියා නිරන්තරයෙන් ලෝභ නැතුව අගය කළ නිසාවෙනි. එමෙන්ම තාරුණ්‍යයේ  බොහෝ දෙනාගේ නිර්මාණ අගැයීමට තරම් ඔහු මැලි නොවුයේ සංගීතය යන එන ඒ ඔක්කෝටම වඩා ඔහු නිර්මාණශීලි වූ නිසාවෙනි. ඒ හැරත් පිප්සීස්ලාට තියෙන ජනප්‍රියත්වය පසුකර යාමට තරම් අමුතු බෑන්ඩ් එකක් ලංකාවේ තවමත් නැති නිසාය. මෙලෙසින් වූ අසීමිත ජනප්‍රියත්වය ජනාදරය හමුවේ සුනිල් අයියා පෙරළා ඊට ගෞරව දැක්වූවේ මනුෂ්‍යත්වයට වටිනාකමක් ලබා දෙමිනි. ඒ මනුස්සකම පෙරදැරිව කරන වැඩ වලින් ලකුණුදා ගන්නට හෝ ලෝකෙට ප්‍රකාශ කරන්නට ඔහුට වුවමනා නොවීය. සුනිල් අයියාගේ වියෝවින් පසුව බොහෝ දෙනා පක්ෂ පාටවලට නොබෙදී ඔහු ගැන වචනයක් හෝ ලියන්නට සංවේගය පළ කරන්නට මැලි නොවුයේ සුනිල් පෙරේරා සතු වූ මනුස්සකම ඒ හැමෝටම දැනුණු නිසාය. අනුන්ගේ ගීත, අනුන්ගේ තනු එළිපිට හොරකම් කරලා, තමන්ගේ වගේ කරගෙන සල්ලි හම්බ කරන හිස් චරිත අපට දැකගත හැකිය. එවැනි අයට සුනිල් පෙරේරා කලාකරුවාගේ ජීවිතයෙන් ගතයුතු බොහෝ දේ තිබේ. ඊට ඩබ්ලිව්. ජයසිරි ප්‍රවීනයා, සුනිල් පෙරේරාගේ වියෝවින් පසුව ඔහුගේ මුහුණු පොතේ තැබූ සටහන කදිම සාක්ෂියකි. 

‘සැප්තැම්බර් 1 වැනිදා පාන්දර 6.30ට විතර මට කෝල් එකක් ආවා. මචං මට ඊමේල් කරලා උඹගේ එකවුන්ට් නම්බර් එක එවපං. ඒ විදියට කතා කළේ සුනිල් පෙරේරා. මගේ ඊමේල් එක මතක තියා ගන්න හරිම ලෙහෙසියි. 

no problem perera@gmail.com මම ඇහුවා මොකද මේ හදිස්සියේම කියලා. 

මගේ බර්ත්ඩේ එක ළඟයිනෙ කියලා එතකොට සුනිල් කිව්වා. සුනිල් හැම අවුරුද්දේම එයාගෙ උපන් දිනයදාට (සැප්තැම්බර් 14) 
‘ ලොරොන්සෝ ද අල්මේදා 
කොළොම් තොටට 
යහපත් නාවිකයා’ ගීතය ලියු මටත්, එහි සංගීතය නිර්මාණය කළ කාලෝ විජේසිරිටත් කතෘභාගය හැටියට එක්කෙනාට රුපියල් 25,000 බැගින් 50,000ක් ගෙවනවා. කාලෝ විජේසිරි මිය ගියත් ඒ මුදල ඔහුගේ බිරිඳට යවනවා. සුනිල් මෙහෙම කරන්නෙ අපි ඉල්ලලා නොවෙයි. 2016 අවුරුද්දේ ඉඳලා ස්ව කැමැත්තෙන් සුනිල් එහෙම කළා. මේ අවුරුද්දේ සැප්තැම්බර් 1 වැනිදා ඒ කටයුත්ත කලින් කරන්න තීරණය කළේ ඇයි කියලා මම සුනිල්ගෙන් ඇහුවෙ නැහැ. කොරෝනා හොඳවෙලා ආපහු ඇවිල්ල හිටපු නිසා සුපුරුදු ලෙස උපන් දිනයදාටම සුනිල් හමුවෙලා ආගිය තොරතුරු විමසන්න මම හිතාගන උන්නෙ. අනේ සුනිල් ඇයි මෙහෙම වුණේ? සුනිල් පෙරේරා, කාටවත් බය නැති කාටවත් ණය නැති සුන්දර මිනිහෙක්. 

ඩබ්ලිව්. ජයසිරි මෙන්ම තවත් බොහෝ දෙනා මෙන්ම අපද පවසන්නේ එලෙසිනි. සුනිල් පෙරේරා යනු අපේ ජීවිත කාලයේදී අපට හමුවූ සුන්දර මිනිසෙකි. 

මනසට වින්දනයක්, හදට කිතියක්, ගතට නැටුමක්, මුසුකළ ගී රිද්මයෙන් අප පිනවූවාට සුනිල්  පෙ​රේරා කලාකරුවාණෙනි ඔබට බොහොම ස්තුතියි. 

සඳුන් ගමගේ