කඩවුණු පොරොන්දුව චිත්‍රපටය තිරගතකොට වසර හැත්තෑ පහයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අද (21) ලාංකේය කතානාද සිනමාවේ 75වන සංවත්සරයයි. හැත්තෑපස් වසරක් පුරාවට ලාංකේය සිනමාව විවිධ කඳුහෙල් මැදින්, තැනිතලා මැදින් පැමිණියේය. ගෙවුණු හැත්තෑපස් වසර පුරාවට ලාංකේය සිනමාව වෙනුවෙන් දහදිය හෙළු ශිල්පීන් අපමණය. මේ මොහොතේ ඔවුන් සියළු දෙනාවම මතකයට නැගිය යතු අතර කඩවුණු පොරොන්දුව චිත්‍රපටය පිළිබඳව සහ ගෙවුණු හැත්තෑපස් වසර පුරාවට සිනමාවේ සුවිශේෂී සංධිස්ථාන පිළිබඳව ගෙන ඒමට අප සිතුවෙමු.

1946 වසරේදී කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ආරම්භ වන අතර අතර 1947 වසරේ ජනවාරි 21 වැනිදා කොළඹ ‘කිංග්ස්ලි’ සිනමා ශාලාවේදී මෙම චිත්‍රපටය පළමු වරට ප්‍රදර්ශනය වේ.

කඩවුණු පොරොන්දුව චිත්‍රපටය නිෂ්පාදනය

කඩවුණු පොරොන්දුව නිෂ්පාදනය සිදුකරන්නේ චිත්‍රකලා මූවිටෝන් (Chitrakala Movietone) සමාගමයි. මෙම කාල වකවානුවේදී චිත්‍රපටයක් සඳහා සුදුසු කතාවක් සොයමින් සිටි Chitrakala Movietone හි අධිපති එස්. එම්. නායගම් මහතා එකල ජනප්‍රිය මිනර්වා නාට්‍යක් වූ ‘කඩවුණු පොරොන්දුව’ ඒ සඳහා සුදුසු බව හඳුනාගෙන බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නයන්ගෙන් එයට අවසර ඉල්ලීය. මුල් වරයට ප්‍රතික්ෂේප කළ ජයමාන්නයන් පසුව ඒ සඳහා අවසර ලබා දීය. ඒ  වනවිටත් කඩවුණු පොරොන්දුව වේදිකා නාට්‍ය දර්ශනවාර අටසීයක් පමණ පවත්වා තිබේ. චිත්‍රපටයේ රංගනය සඳහා මිනර්වා නාට්‍ය කණ්ඩායම විසින්ම සිදු කරන නිසා 1946 වසරේ ජූනි මසදී කඩවුණු පොරොන්දුව චිත්‍රපටය රූගත කිරීම් සඳහා ඔවුන් ඉන්දියාවේ මදුරාසියට යයි.

කඩවුණු පොරොන්දුවේ ශිල්පීන්

බී.ඒ.ඩබ්ලිව් ජයමාන්න (සැම්සන්), රුක්මණී දේවි (රංජනී), එඩී ජයමාන්න (මනප්පුවා), ජෙමිනි කාන්තා (ජොසී), ස්ටැන්ලි මල්ලවආරච්චි (හේමපාල), පීටර් පීරිස් (වික්ටර්) රූපා දේවි (ටැක්ලා), ඇසිලින් බාලසූරිය (සුමනා), හියුගෝ ප්‍රනාන්දු (වෛද්‍යවරයා), ඩී.ටී පෙරේරා (ජයසේන) ඇතුළු රංග ශිල්පීන් පිරිසක් කඩවුණු පොරොන්දුව සඳහා රංගනයෙන් දායක වී ඇත.

කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ ජ්‍යෝතිෂ් සිංහා නැමැති ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂවරයාය. ඔහු නල්ල වීඩු (Nalla Veedu - 1959), රාධා රාමනා (Radha Ramana - 1943) වැනි ඉන්දියානු චිත්‍රපට කිහිපයක් අධ්‍යක්ෂණය කර ඇති අතර කඩවුණු පොරොන්දුවෙන් පසුව කපටි ආරක්ෂකයා, පෙරළෙන ඉරණම, ගැහැණු ගැට ඇතුළු සිංහල චිත්‍රපට කිහිපයක්ද අධ්‍යක්ෂණය කර ඇත. නාරායන අයියාර් නම් සංගීතඥවරයා මෙහි සංගීත අධ්‍යක්ෂවරයායි. කැමරාව මෙහෙයවන ලද්දේ කේ. ප්‍රභාකර් විසින් වන අතර සංස්කරණය ෆකීර් සලේහ්ගෙනි.

චිත්‍රපටයේ සාරාංශය

ධනපතියෙකු වන රාළහාමි ඔහුගේ බීමත්කම සහ දුරාචාර නිසා මිය යනවිට සිය පවුල ණයෙන් බරිත කරයි. ණයවලින් නිදහස්වීම සඳහා රාළහාමිගේ බිරිඳ වන ටැක්ලා තම එකම දියණිය රංජනීව පෙර විවාහයක් කරගත් වික්ටර්ට විවාහ කර දීමට සැරසේ. ඒ අතරයේදී රංජනීගේ පෙම්වතාව සිටින සැම්සන් රංජනීගේ පවුල වැටී සිටින ණයවලින් නිදහස් කිරීම පිණිස විදෙස් ගත වෙයි. ඉන්පසුව රංජනී වික්ටර් හා විවාහ ගිවිසෙන අතර සැම්සන් ඔහු රංජනීට ලියන ලියුම් ඇගෙන් සඟවයි. පසුව ඔහු ලංකාවට පැමිණෙන අතර රංජනී විවාහ ගිවිසගෙන ඇති බව දැනගන්නට ලැබෙයි. කෙසේනමුත් සැම්සන් ආබාධිත තත්ත්වයට පත්වෙන අතර චිත්‍රපට අවසානයේදී රංජනී සත්‍ය දැනගනී.

චිත්‍රපටයේ ගීත

යමි ඉඳිය දිසාවේ, ජීවිතයේ සාමෙයි, දේව සාමිනි, ප්‍රේම දයා, ළපටි රූපේ ඇගේ, තක්කිට තරිකිට, ඉස්ඉස්සර වෙලා උඹව මමයි, මගේ සක බඹරු, සන්ධ්‍යාවේ ශ්‍රියා රම්‍යා ලෙස පේනා, පාපේ ශාපේ දෝ, සුන්දර රූප රාජිනී, ශ්‍රී ජය විජය යන ගීත කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ ඇතුළත් ගීත ය. මෙම ගීත අතරින් එඩී ජයමාන්න (මනප්පුවා) සහ ජෙමිනි කාන්තා (ජොසී) ගායනා කරන තක්කිට තරිකිට (නෝනගේ ආලේ) ගීතය අදටත් ජනප්‍රියය.

කඩවුණු පොරොන්දුවෙන් පිවිස එයින්ම සමුගත් ‘එඩී’

එඩී ජයමාන්න කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ මනප්පුවාගේ චරිතයට රංගනයෙන් දායක විය. ‘කඩවුණු පොරොන්දුව ‘ නිෂ්පාදනය කොට වසර 35කට පසුව නැවත 1982 වසරේදී කඩවුණු පොරොන්දුවෙහි නව නිෂ්පාදනයක් තිරගත වෙයි. නව නිෂ්පාදනය රෝයි ද සිල්වා විසින් අධ්‍යක්ෂණය කළ අතර විජය කුමාරණතුංග, සුමනා අමරසිංහ, ජෝ අබේවික්‍රම, එඩී ජයමාන්න ඇතුළු පිරිසක් රංගනයෙන් දායක විය. කඩවුණු පොරොන්දුව නව නිෂ්පාදනය එඩී ජයමාන්නයන් රංගනයෙන් දායක වුණු අවසන් චිත්‍රපටයද විය.

කඩවුණු පොරොන්දුවට පෙර ලාංකාවේ සිනමාව

1947ට පෙර ලංකාවේ නිහඬ චිත්‍රපට කිහිපයක් නිෂ්පාදනය විය. පළමු වැන්න ‘රාජකීය වික්‍රමය’ 1923දී නිෂ්පාදනය වුණු අතර ඒ සඳහා ප්‍රකට දේශපාලඥයෙකු වූ ආචාර්ය ඇන්. ඇම් පෙරේරා මහතාද රංගනයෙන් දායක වී තිබේ. බොම්බාය, සිංගප්පූරුව වැනි රටවල ප්‍රදර්ශනය කළ මෙම චිත්‍රපටයේ සෙලෝලයිඩ් පටය සිංගප්පූරුවේදී ගිණිගෙන හෝ වෙනත් අයුරකින් විනාශ වී ඇති බව පැවසෙයි. එබැවින් එම චිත්‍රපටය ලංකාවේ ප්‍රදර්ශනය නොවීය. නමුත් 1925දී සංගීතඥයෙකු වූ ඩබ්ලිව්. දොන් එඩ්වඩ් විසින් ‘පලිගැනීම’ නමින් නිහඬ චිත්‍රපටයක් නිෂ්පාදනය කරයි. එය කොළඹදී ප්‍රේක්ෂකයන්ට දැකගැනීමට හැකි වූ අතර පලිගැනීම චිත්‍රපටය ලාංකේය සිනමා ඉතිහාසයේ සංධිස්ථානයක් වන්නේ ලාංකේය ශිල්පීන්ගේ ශිල්පීය දැනුමින් නිර්මාණය වුණු පලමු චිත්‍රපටය වීම නිසාය. ඉන්පසුවද චිත්‍රපට කිහිපයක් නිෂ්පාදනය කිරීමට විවිධ පිරිස් විටින් විට උත්සාහ කළත් ඒවා එකක්වත් සාර්ථක වී නොමැත.

කෙසේ නමුත් ප්‍රථම වරට ලංකාවේ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කර ඇත්තේ 1901දීයි. ආණ්ඩුකාර වෙස්ට් රිජ්වේ සහ දෙවන බෝවර් යන අය සිරකරුවන් සඳහා පුද්ගලික චිත්‍රපටයක් පෙන්වා තිබෙන බවට පැවසෙයි. 1903 වසරේදී ‘මදන් තියටර්ස්’ සමාගම විසින් ලංකාවේ ස්ථිර චිත්‍රපට ශාලා ගොඩනගා තිබේ. 1930 වනවිට චාලි චැප්ලින් (charlie chaplin), ග්‍රේටා ගාබෝ (greta garbo), ඩග්ලස් ෆෙයාබෑන්ක් (douglas fairbanks) වැනි වැනි ඇමරිකානු චිත්‍රපට නළු නිළියන් ලංකාවේ අතිශයින් ජනප්‍රිය වී තිබේ.

1947න් පසුව අද දක්වා සිනමාව

කඩවුණු පොරොන්දුවෙන් පසුව බී.ඒ. ඩබ්ලිව් ජයමාන්නගේ නාට්‍යානුසාරයෙන් චිත්‍රපට කිහිපයක්ම නිෂ්පාදනය විය. හදිසි විනිශ්චය චිත්‍රපටය බී.ඒ.ඩබ්ලිව් ජයමාන්නගේ පළමු අධ්‍යක්ෂණය වූ අතර එයින් පසුව ඔහු විසින් නිෂ්පාදනය කළ සියළුම චිත්‍රපට අධ්‍යක්ෂණය කළේද ජයමාන්නයන්ය. එමෙන්ම ‘සිලෝන් තියටර්ස්’ සමාගම විසින් ශාන්ති කුමාර් සමග ‘අශෝකමාලා’ චිත්‍රපටය නිෂ්පාදනය කරන අතර එය 1947 අප්‍රේල් මාසයේදී මෙරටදී තිරගත වෙයි.

මෙකල ලාංකේය සිනමාවේ පළමු සිනමා තාරකාව ලෙස රුක්මනී දේවි නැගී ආහ. එමෙන්ම ඇය විශිෂ්ට ගායිකාවක් ලෙසද ජනප්‍රිය විය. බී.ඒ.ඩබ්ලිව් ජයමාන්නගේ බොහෝ සිනමා නිර්මාණවල රුක්මනී දේවි සහ එඩී ජයමාන්න රංගනයෙන් දායක වුණු නමුත් ඔවුන් තිරයේ පෙම්වතුන් ලෙස දක්නට නොලැබිණි. එඩී ජයමාන්නද සිනමා තරුවක් වූයේ මේ යුගයේදීය. බී. ඒ.ඩබ්ලිව් ජයමාන්නයන් සිය නිර්මාණවලට දකුණු ඉන්දියානු සිනමාවෙන් යම් අභාෂයක් ලබාගත් නමුත් ඔහු කලාත්මක සිනමාවට ලොකු දායකත්වයක් ලබා නොදීය.  

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සිනමා ආගමනයත් සමගම ලාංකේය චිත්‍රපට කලාව වෙනත් මාර්ගයකට පැමිණෙයි. එතෙක් චිත්‍රගාරවල පමණක් රූගත කෙරුණු චිත්‍රපට ආචාර්ය ලෙස්ටර්ගේ ‘රේඛාව’ චිත්‍රපටය හරහා එළිමහනට පැමිණෙයි. රේඛාවේ කතාපුවතද ලාංකේය ගැමි ජීවිතය ආශ්‍රිතයෙන් නිර්මාණය විය. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළිය නවකතාව පාදක කරගනිමින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ ‘ගම්පෙරළිය’ චිත්‍රපටය ලාංකේය සිනමාව ජාත්‍යන්තර තලයට ගෙනගිය පළමු චිත්‍රපටයයි. ඒ 1965දී නවදිල්ලියේදී පැවති තුන්වෙනි ජාත්‍යන්තර සිනමා උළලේදී ‘රණමයුර’ සම්මානය හිමිකරගනිමිනි. කලාත්මක චිත්‍රපටයක් වුවද වානිජමය අතින්ද සාර්ථක වී තිබේ. ගම්පෙරළියෙන් පසුව ලාංකේය සිනමාවේ කලාත්මක නිර්මාණ බිහිවීම ඇරඹිණි.

ඉන් අනතුරුව 1970 - 80 වන කාලයට පැමිණෙන විට කලාත්මක සිනමාව මෙන්ම වානිජ සිනමාවද සාර්ථක මට්ටමක තිබුණු අතර ලාංකේය සිනමාවේ ස්වරණමය යුගය ලෙස 70 - 80 යුගය හඳුන්වයි. විජය කුමාරණතුංග, ගාමිණී ෆොන්සේකා, රවීන්ද්‍ර රණ්දෙණිය ජෝ අබේවික්‍රම, මාලනී ෆොන්සේකා වැනි සිනමා තරු වානිජ සහ කලාත්මක සිනමා දෙකලාපයේම දක්නට ලැබිණි. 70 - 80 යුගය වනවිට සිනමාව හරහා තවත් සිනමා ශාලා, චිත්‍රපට පෝස්ටර් කලාව ඇතුළු අනු ක්ෂේත්‍ර රැසකටද ආලෝකය ලැබිණි.

80න් පසුව සිනමාව විශාල වශයෙන් කඩාවැටීමකට ලක්වූ බව නොරහසකි. කෙසේවෙතත් ඉන් පසු යුගවල සිට වර්තමානය දක්වා නිර්මාණකරුවන් විවිධාකාරයෙන් කලාත්මක සිනමාව සහ වානිජ සිනමාව ගොඩ නැගීමට කටයුතු කරයි. විශේෂයෙන් මෑත කාලයේදී කෙටි චිත්‍රපට තුළින් පවා ජාතික සහ ජාත්‍යන්තර ජයග්‍රහණ ගෙන ඒමට නිර්මාණකරුවන්ට හැකිවීමද  සුවිශේෂීය. කතානාද සිනමාවට වසර සියයක් ගතවනවිට හෝ සිනමාව කර්මාන්තයක් ලෙස නැගී තිබීම සිනමාලෝලීන්ගේ, සිනමාකරුවන්ගේ මෙන්ම අපගේද බලාපොරොත්තුවයි.

කැළුම් දේවින්ද