කතා දෙකක් නෑ ගියොත් යන්නේ ඒ කාලෙට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හදවතේ කතාව ටෙලිනාට්‍යයේ චණ්ඩිකාර, සැර කාන්ති එක්ක My Choice කතා කළා. කාන්ති වුණාට ඇගේ සැබෑ නම කාංචනා ඛාන්. ඉතින් මේ කාංචනාගේ තේරීමයි.

• අහන්න ආසම ගීතය....

මම සින්දු අහන්න හරි ආසයි. ඒ අතරින් මේ දවස්වල මම හරි ආසකරන ගීතයක් තමයි ටී.එම්. ජයරත්න මහතා ගායනා කරන වලා තීරයෙන් එහා කොහේද ලෝකයක් කියන ගීතය. ඒක පදරචනා කරලා තියෙන්නේ කුලරත්න ආරියවංශ මහතායි. සංගීතවත් කරලා තියෙන්නේ රෝහණ වීරසිංහ මහතායි. මෑත කාලයේදී ඒ ගීතයේ Cover Song එකකුත් කරලා තිබුණා. ඒකත් ලස්සනයි. ඉතින්.... ඒ ගීතයට මම ගොඩාක් කැමතියි. ඒක තමයි මගේ තේරීම.

• යාළුවන් එක්ක කතා කරන්න ආසම කරන මාතෘකාව මොකක්ද...?

මගේ පාසැලේදී මාත් එක්ක හිටපු යාළුවන් තාමත් මගේ යොඳම යාළුවෝ. අම්මෝ... ඉතින් අපි මුණගැසුණාම වැඩිපුරම කතා කරන්නේ ඒ පාසැල් කාලයේ කරපු කියපු දේවල්ම තමයි. ඒ කාලේ හරි සුන්දරයි. ඉතින් ඒ කාලේදී කරපු පිස්සු වැඩ ගැන කතා කරනවා. ඔය අතරේ ඉතින් ෆැෂන් ගැනත් අපි කතා කරනවා.

• පුංචි කාලේට යන්න ඇත්නම්, යන්න ආස කරන්නේ කොයි කාලේටද...?

ඒකෙදි නම් අයෙ කතා දෙකක් නැහැ. මම යන්න ආසම කරන්නේ මගේ පාසැල් කාලයට තමයි. ඒ අතරිනුත් මම ආස කරන්නේ ඔය ඉහළ පන්තිවලදී විශේෂයෙන් සාමාන්‍ය පෙළ, උසස් පෙළ පන්තිවල ගෙවුණ කාලයටයි. මම කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා පාසැලේත්, ගල්කිස්ස බෞද්ධ කාන්තා විදුහලේත් ඉගෙන ගත්තා. ඉතින් ඉස්කෝලේ පිරිමි ළමයි හිටියේ නැහැනේ. ඒ නිසා හරිම දඟ වැඩ අපි කළා. පාසැලේ බාහිර ක්‍රියාකාරකම් හැම එකකටම අපි ඉදිරිපත් වුණා. ගහකට නගින්න ඕන වුණත් අපි තමයි ගස් පවා නැංගේ. ඉතින් ඒ කාලේ හරි ජොලි.

• ආස කරපු සෙල්ලම මොකක්ද...?

මම පාසැලේදී බොහෝ ක්‍රීඩාවලට ඉදිරිපත් වුණා. හෙල්ල විසිකළා. කවපෙත්ත විසි කළා. උස පැන්නා. දුර පැන්නා. වොලිබෝල් කණ්ඩායමේ, නෙට්බෝල් කණ්ඩායමේ නායිකාව වෙලා හිටියා. හැබැයි ඒ හැම ක්‍රීඩාවක්ම කළත් මම බයිසිකල් පදින්නට හරියට ආස කළා. කාගේ වුණත් කමක් නැහැ මම බයිසිකලයක් තියෙනවා දැක්කොත් වටයක් හරි පැදලා බලනවා.

• ඒ කාලේ බයිසිකල් පැද්දනේ... අදටත් ආසම වාහනය බයිසිකලයද...?

බයිසිකලයටත් ආසයි. හැබැයි මම ආසම කරන වාහනය කාර් එක තමයි. මේ දවස්වල මට Wagon R එකක් තියෙනවා. ඉතින් ඒක තමයි මම ආසම කරන වාහනය වෙන්නේ.

• කැමැතිම පර්ෆියුම් එක...?

මම ආසයි Lady Milion පර්ෆියුම් එකට. ඒක මාරම සුවඳ පර්ෆියුම් එකක්.

• වැඩිපුරම ආස කරන ඇඳුම මොකක්ද..?

මම ෆැෂන්වලට හරි ආසා, ෆැෂන් කරන කෙනෙක්. හැබැයි මම වැඩිපුරම අඳින්නේ ඩෙනිමයි, ටී ෂර්ට් එකයි. ඒ වගේම දිග ගවුමටත් මම ආසයි.

• කාංචනා ලංකාවේ යන්න ආස කරන තැනක් තියෙනවාද...?

මම ඇවිදින්න හරි ආසයි. ෂූටිංවලදී වගේම ගෙදර අය එක්කත් මම එහෙම ඇවිදින්න යනවා. අපේ රටේ හරි ලස්සන පරිසරයක් තියෙන්නේ. මම ගියපු තැන්වලින් ආයෙ ආයෙත් යන්න හිතෙන අමතක නොවන තැනක් තියෙනවා. ඒ කණ්ඩලම හෝටලය. ඒක හරි සුන්දර තැනක්. ඒක තමයි මගේ තේරීම.

• ඇවිදින්න ආස කරන රට මොකක්ද..?

මම ප්‍රංශයට යන්න ආසා කරනවා.

• කෙනෙකුට තෑග්ගක් දෙන්න තෝරද්දී කාංචනාගේ හිත මුලින්ම යන්නේ මොනවටද?

තෑග්ගක් දෙන කෙනාට මාව මතකේ තියෙන තෑග්ගක් දෙන්න මුලින්ම මම උත්සාහ කරනවා. ඒ යාළුවයි, මමයි එකට ඉන්න ෆොටෝ එකක්, වාගේ දෙයක් දෙනවා. ඊට අමතරව ඒ කෙනා ආසා කරන තෑග්ගක් දෙන්නත් මම උත්සාහ කරනවා.

• කාගෙන් හරි තෑග්ගක් ලැබෙනවා නම් කාංචනා ආස කරන තෑග්ග මොකක්ද...?

මම නම් ෆ්‍රෙෂ් මල්වලට හරි ආසයි.

• කාංචනා  ජීවත් වෙන්න කැමැති...?

මම බොහෝම සරල කෙනෙක්. නිදහසේ ඉන්න කැමති, සතුටින්, සැහැල්ලුවෙන් ඉන්න කැමති කෙනෙක්. බාහිර සමාජයේ ප්‍රශ්න මම මගේ ඔළුවට දාගන්නේ නැහැ වගේම මගේ ප්‍රශ්න මම බාහිර සමාජයට දෙන්නෙත් නැහැ.

දිශානි