කිරිබත් කන්න හරිම කැමැතියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙවර ‘සුබ උපන්දිනක්’ විශේෂාංගයෙන් සඳැල්ල හා එකතු වන්නේ ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ නොමැකෙන සටහනක් තබමින් ප්‍රේක්ෂක හදවත් තුළ ලැඟුම් ගත් දක්ෂ ආදරණීය කලාකාරිනියක්. ඇය, සමනලී ෆොන්සේකා.

නොවැම්බර් 23 ඔබේ උපන්දිනය. ඉතින් අවුරුද්දෙන් අවුරුද්ද ගෙවිලා උපන්දිනයක් ලබද්දී මොකද හිතෙන්නේ?

“පහු කරපු ජීවිතේ ගැන තමයි හිතට දැනෙන්නෙ නම්. ඒ ජීවිතේ මුහුණදුන්නු දේවල්, වුණු සිදුවීම් හැමදේමත් එක්ක අද මම ඉන්න තැන ගැන විශේෂයෙන්ම හිතෙන දෙයක්.”

සාමාන්‍යයෙන් ඒ දවසට මොකද කරන්නේ?

“පුංචි කාලෙ නම් අම්මාට, තාත්තාට මුදල් තියෙන විදිහට පුංචි හෝ සැමරීමක් පවුලේ අයත් එක්ක සිදු වුණා. ඒ ගෙවුණු හැම අවුරුද්දකම කේක් එකක් එහෙම කැපුවා මතකයි. මගේ තාත්තා ඡායාරූප ශිල්පියෙක් නිසා ඒ හැම උපන්දිනයකම ඡායාරූප අරගෙන තියෙනවා. ඒවා තවමත් සුරැකිව තියෙනවා මගේ ළඟ. ඉතින් ඒවාට අමතරව ගෙදර හැමෝගෙම උපන්දිනය දවසෙ අනිවාර්යයෙන්ම කිරිබතක් හදනවා. මම කොහොමත් කිරිබත් කන්න ගොඩාක් කැමැතියි. ඒ කාලෙදි උපන්දිනය දවසට කළේ ඒවා තමයි. මේ වෙද්දි නම් ඉතින් විශේෂයෙන් කියලා මොනවත් කරන්නෙ නැහැ. මට ඒ දවසත් සාමාන්‍ය දවසක් විතරයි. මගෙ යාළුවො නම් ඒ දවසට ගෙදරට එනවා. ඉතින් ඒ යාළුවො නැත්නම් චාපි මගේ උපන්දිනය වෙනුවෙන් මොනවා හරි දෙයක් කරනවා.”

යාළුවො සර්ප්‍රයිස් කරපු අවස්ථාත් ඇති එහෙනම්?

“සර්ප්‍රයිස් කියලා විශේෂයක් නැහැ ඉතින්. එදාට ගෙදරට එන මගෙ යාළුවන්ට මමම තමයි කන්න හදලා දෙන්නෙ. ඒ ආවාම කාලා බීලා සින්දුවක් කියලා පොඩි සැමරුමක් දානවා. සාමාන්‍යයෙන් මම තමයි අනිත් අයට සර්ප්‍රයිස් දෙන්නෙ. මට සර්ප්‍රයිස් විශේෂයෙන් ලැබිලා නැහැ.”

පාසලේ යාළුවො එක්ක ඒ කාලෙ ගත කළේ කොහොම ද?

“පාසල් කාලෙදී නම් පුංචිම කාලෙ අනිවාර්යයෙන්ම කේක් අරගෙන යනවා. ඒ හැමෝම එක්ක බෙදා හදාගෙන කනවා. ටික ටික ලොකු පන්තිවලට එද්දි නම් ගෙදර මොනවා හරි තිබුණොත් ඒ වෙනුවෙන් ළඟම යාළුවන්ට ආරාධනාවක් කරනවා සහභාගි වෙන්න. ඒ වගේ සාමාන්‍ය විදිහේ දෙයක් තමයි සිදු වුණේ ඒ කාලෙදි.”

සමනලී කී වෙනි දරුවා විදිහට ද පවුලට එකතු වෙන්නේ?

“මම පවුලේ බාලයා. මට ඉන්නෙ අයියලා දෙන්නෙක්.”

ඒ අයගෙන් උපන්දිනය දවසට ලැබුණු විශේෂ තෑගි ඇති?

“තෑගි නම් ඉතින් කොහොමත් ලැබෙනවනේ. එහෙම විශේෂයි කියලා නැහැ. ලැබෙන පොඩි දේ වුණත් මට ඒ හැමදේම ගොඩක් වටින දේවල්. විශේෂ කියලා වෙන් කරන්න බැහැ.”

අද වෙද්දි සමනලී ෆොන්සේකා කියන රංගන ශිල්පිනියට රටක් ආදරය කරනවා. ඒ ආදරේ උපන්දිනය වගේ විශේෂ දවසකට ලැබෙන්නෙ කොහොම ද?

“ඒ ලැබෙන ආදරය නම් මාරයි. කියන්න වචන නැති තරම්. ඇත්තටම ඒ ආදරේ මම ඉතාම සතුටින් භාරගන්නවා. අපි පවතිනවා කියලා අපිට දැනෙන්නෙ ඒ ප්‍රේක්ෂක ආදරය නිසා. නොවැම්බර් 23 දවස ආරම්භයත් එක්කම විශාල සුබ පැතුම් සංඛ්‍යාවක් ගලාගෙන එනවා. ඒ ලැබෙන සුබ පැතුම් ඒ ප්‍රතිචාර හරිම ආදරණීයයි. ඒ ගැන ලොකු සතුටක් තියෙනවා.”

ඒ සුබ පැතුම් එක්ක ගෙදරට තෑගි භෝගත් එකතු වෙනවා ඇති?

“ඇත්තටම අද තාක්ෂණයේ දියුණුවත් එක්ක අපිට වැඩි ප්‍රතිචාර ලැබෙන්නෙ සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සෙ එහෙමනේ. නමුත් මීට වසර කිහිපයකට පෙරදි වගේ අපිට ආදරය කරන පිරිසගෙන් සුබ පැතුම්පත්, ලිපි වගේ දේවල් ලැබුණා.ඒ කාලෙ ලියුම් ගනුදෙනුනෙ තිබුණේ. එක වතාවක මට මතකයි මගේ ඡායාරූප එහෙම එකතු කරලා පොතක් වගේ නිර්මාණයක් කරලා එව්වා හරිම ලස්සනට. ඒ වගේ දේවල් නම් ගෙදරට එකතු වුණා. ඉතින් ඔවුන්ගෙන් ලැබුණ ඒ දේවල් මට මාරම වටිනවා. ඒ ආදරය උපරිමයි. ඒ හැමදේම මම ගොඩාක් අගය කරනවා. ඒ සුබ පැතුම්, ආදරය, ආශිර්වාදය මට ලොකු ශක්තියක්.”

මෙවර උපන්දිනය වෙනුවෙන් සැලසුමක් නැද්ද?

“මගෙ නම් සැලසුමක් නැහැ. කලින් සඳහන් කළා වගේ උපන්දිනය කියන්නෙත් හැමදාම ගෙවෙන තව දවසක් වගේම තමයි. ඒ දවස මට විශේෂ වෙන්නෙ රාත්‍රී 12 පටන්ම ලැබෙන සුබ පැතුම් සහ ඒ ප්‍රතිචාර නිසා. ඒ දේට නම් මම ගොඩාක් කැමැතියි. ඒ ඇර විශේෂයි කියලා දෙයක් නම් නැහැ.”

ධනු විජේරත්න