ක්‍රිෂාන්ත එරන්දකගේ හඬින් අසන්ති කරුණානායකගේ ගීපද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වසන්තය ඈතට අරන්
ප්‍රියාවිය නුඹ ගිය හැටි
කියාගන්න කිසිවක් නොදැනී
හිත මගෙ ගොළු වූ හැටී
කොහොමද මං කියන්නෙ දේවී

කතා කරන නෙතු සඟලට
නලලෙ නටන කියඹු වැලට
මා පෙම් කළ බව
අහන්න... නුඹ එයි නම් පේවී
කියන්න මං ආසයි දේවී

නුඹට හොරෙන් මගෙ කරගත්
නුඹෙ උණුසුම් සුසුම් පොදට
මා පෙම් කළ බව 
අහන්න... නුඹ එයි නම් පේවී
කියන්න මං ආසයි දේවී

අසන්ති කරුණානායකගේ හොඳම යෙහෙලිය, අද පේරාදෙණිය රෝහලේ හෙදියකි. අතීතයේ මෙන් දිනපතා හමුවීම්, සංවාද නැත ද සතියකට දෙකකට වරක් දුරකථනයෙන් හමු වී ආගිය තොරතුරු මෙන්ම ඕපාදූපද කතාකිරීම තවමත් ඔවුන්ගේ පුරුද්දකි.
“අද මම කැම්පස් එක ළඟින් එද්දී පිස්සු මනුස්සයෙක් දැක්කා. ඒ මනුස්සයා කැම්පස් එක ගාවින් යන්නෙම නැහැයිලු. ඉස්සර ඒ මනුස්සයා කැම්පස් එකේ ඉගෙන ගත්තු කොල්ලෙක්ලු. ඒ කාලෙ එයා කෙල්ලෙකුට ආදරේ කරලා. ඒත් පස්සෙ ඒ කෙල්ල, අර මනුස්සයාව අමතක කරලා වෙන කෙනෙක් බැඳලා. ඒ දුකට මේ මනුස්සයට පිස්සු හැදිලා කියලා තමා, අවට ඉන්න මිනිස්සු කතාවෙන්නෙ. ඒ කතා අහපු වෙලාවෙ ඉඳලා මට මොකක්දෝ අවුලක් දැනෙනවා.”
“උඹ බූට් එක දීපු කොල්ලටත් පිස්සු හැදෙයි කියලද?”
අසන්ති විහිලුවට ඇසුවාය.
“අප්පොච්චියේ නෑ. එයා මටත් වැඩියෙ හොඳින් සතුටින් ජීවත් වෙනවා, හොඳ වෙලාවට මාව මඟඇරුණේ කියලා සතුටින්.” 
යෙහෙළිය කීවාය.
අනතුරුව දෙදෙනාම සිනාසුනහ.
“විහිලු නෙමෙයි බං. චුට්ටක් හිතපංකො අර මිනිහ පව් නේද?”
යෙහෙළිය යළි ඇසුවාය.
“පව් තමා. ඒත් මට පුදුම, විශ්වවිද්‍යාලෙට එන්න තරම් උගත්, මොලේ තියෙන කොල්ලෙක් ඔහොම පිස්සු හදාගන්නෙ ඇයි. ආදරේ කියන්නෙ හමුවීම වගේම වෙන්වීම කියන දේ බව තේරුම් ගන්න එපායැ.” 
“ඔතන වැරැද්ද මේකනෙ. සමහරු පොතේම එල්ලිලා ඉන්නවා මිසක, සාහිත්‍යය රසවිඳින්නෙ නැහැනෙ. නවකතාවක් කියවන්නෙ නැහැ. සිංදුවක් අහල රසවිඳින්නෙ නැහැ. එතකොට ආදරේ නියම ස්වභාවය ඒ ගොල්ලන්ට වැටහෙන්නෙ නැහැ. හීන ලෝකවල ජීවත්වෙනවා. හීන බිඳුණාම ඒ මත්තෙම නැහිලා පිස්සු හදාගන්නවා. තව සමහරු බීල බීලා ජීවිතේ විනාශ කරගන්නවා. තව සමහරු මිනී මරනවා. තවත් සමහරු තමන්ගෙ ජීවිතේ නැති කරගන්නවා.
“බලාගෙන යනකොට ආදරේ කියන්නෙ මහ ව්‍යසනයක්.”
“සහතික ඇත්ත... ඒත් සාහිත්‍යයට නැඹුරු වුණොත් අහිමි වුණු ආදරෙත් රසයක් කරගෙන ඉන්න පුළුවන්.”
“මේ මම වගේ නේද?”
අසන්ති යළි විහිලු කළාය.
“ඔව්නෙ... උඹ කොච්චර සිංදු ලියනවද? අඩුම ගානෙ මිනිස්සු උඹේ සිංදුවත් රසවිඳිනව නම් ආදරේ කියන්නෙ මොකක්ද කියලා හරි හැටි තේරුම් ගනියි.”
යෙහෙළිය පැවසුවාය.
ලෙංගතු සිනාවලින්, ඔවුන්ගේ කතාබහ අවසන් විය. එහෙත් යෙහෙළිය විසින් ඇගේ හිත ළඟ නතර කළ ‘අහිංසක උමතු ප්‍රේමවන්තයා’ රැයේ හීනෙන්ද අසන්තිට පෙනෙන්නට විය.
ඒ රාත්‍රියේ ඇයට නින්ද අහිමි විය. කෑමක වුවමනාවක් නැතිව, ඉන්නට හිටින්නට තැනක වුවමනාවක් නැතිව, සරසවි දොරටුව ළඟ තමා හැරගිය පෙම්වතිය පමණක් තමා වෙත එන තෙක් මඟ බලා ඉන්නා ඔහු අසන්තිට වද දුන්නේය. 
කැම්පස් එකේ පෙම්වත්තු අතින් අල්ලාගෙන ඇවිද ගෙන යනකොට ඒ මනුස්සයට අතීතෙ මතක් වෙනවා ඇති. තමන් ආදරය කළ ඒ පෙම්වතිය ආවොත් ඒ වගේම ආයෙම ඇවිද ගෙන යන්න පුළුවන් කියලා එයාට හිතෙනවා ඇති. කැම්පස් එකේ රොබරෝසියා මල් පිපෙන දවස්වලට ඒ කාලෙ සුන්දර මතකය එයාට මතක් වෙනවා ඇති. හිතට වද දෙනවා ඇති. ඒ වගේම හිතේ ලස්සන බලාපොරොත්තු උපද්දනවා ඇති.
අසන්තිට බොහෝ වර සිතිණි. 
නුඹ එයි නම් පේවී
මම ආසයි දේවී...
අසන්තිගේ හිතේ ඒ පද පේලිය ලියැවුණේ ඉබේටමය.
“ඒ මනුස්සයා පාර බලන් ඉන්නෙ එහෙම කිය කියා වෙන්න ඇති.”
ඉනික්බිති එතැන් පටන් ගීතයක් සේ නිර්මාණය වුණු වචන ගොන්න, අර උමතු ප්‍රේමවන්තයාගේ බලාපොරොත්තුව බව අසන්තිට ද වැටහිණි.
ඇය යෙහෙළියට ඇමතුමක් ගත්තාය.
“මං සිංදුවක් ලිව්වා.”
කී ඇය ඒ වචන ටික දිගටම කියවාගෙන ගියාය.
“මං උඹට අර කතාව කිව්වෙම සිංදුවක් ලියන්න තමා. හරිම ලස්සනට ලියැවිලා තියෙනවා.”
යෙහෙළිය කීවාය.
“මේ සිංදුව ක්‍රිෂාන්ත අයියට දීලා බලන්න ඕනෑ.”
අසන්ති තමන්ටම කියාගත්තාය.
ක්‍රිෂාන්ත එරන්දක යනු, අසන්ති කලෙක සිට දැන හඳුනාගෙන සිටිනා ගායන ශිල්පියෙකි. වරක ඇය උගන්වන පාසලේ කලා උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස අරාධනා කරන ලද්දේ ද ක්‍රිෂාන්තටය. ඒ ඔස්සේ හටගත් දැන හැඳුනුම්කම නොනැසී තිබිණි.
“ලස්සනයි නංගී...”
ක්‍රිෂාන්ත, පද වැල දුටු සැනින් කීවේය. 
“ඔය වචන ටික දර්ශන වික්‍රමතුංගට දෙන්නකො. දර්ශන ලස්සන ට්‍රැක් එකක් ගහල දෙයි. අපි කියමු.”
පේරාදෙණි සරසවිය ළඟ ගැවසෙන උමතු ප්‍රේමවන්තයාගේ ආදරණීය බලාපොරොත්තුව ගීතයක් සේ දැන් අපට ඇසෙන්නේ ඒ අනුවය.
කාටත් මතක හිටින මියුරු ගීත රැසකටම පදමාලා ලියූ අසන්ති කරුණානායක, හෙට දවසේ රටට සම්පතක් විය හැකි ගීත රචිකාවකි. එබැවින් ඇයට ගී නිමිති ලබාදීම රසික සහෘදයාගේ යුතුකමක් බව ද ලියා තබමි.

ශාන්ත කුමාර විතාන