කලාකරුවෝ ඇවිත් කියන දේවල් වලට රැවටෙන්න එපා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රතිපත්ති ගරුකව හරි දේ හරි විදියට කැප වීමෙන්  කරන මිනිස්සුන්ට සමහර අවස්ථාවලදී ජීවිතයේ පසුබැසීමට සිදුවේ. එහෙත් ඒවා තාවකාලික පසුබැසීම් වේ. ඒ පසුබැසීම් හමුවේ ඔවුන් යළි නැගී සිටින්නේ පෙරටත් වඩා ශක්තිමත්වය. බෙනට් රත්නායකගේ කවුරුවත් දන්නේ නෑ (No Body Knoes) චිත්‍රපටයේ ඉන්ස්පෙක්ටර් වික්‍රම යනු තම රාජකාරිය කැපවීමෙන් කරන දක්ෂ අවංකයෙකි. එහෙත් දුර්වලයින්ගේ නොමනා ක්‍රියා හමුවේ ඔහුට විවිධ බාධකවලට මුහුණදීමට සිදුවේ. එනිසා ඉන්ස්පෙක්ටර් වික්‍රමට පසුබැසීමට සිදුවේද? නැත්නම් පෙරටත් වඩා ශක්තිමත්ව නැගී සිටීමට හැකිවේද? ඒ ගැන හරියටම දැනගැනීමට නම්? ‘‘කවුරුවත් දන්නේ නෑ’’ චිත්‍රපටය නැරඹීම ඔබට පවරා ඉක්ස්පෙක්ටර් වික්‍රම  යන චරිතයට සැබෑ ජීවයක් ලබාදෙන චරිතාංග රංගනයේ විශිෂ්ඨයකු වන බිමල් ජයකොඩි අපි සඳැල්ලට කැඳවීමු.

බිමල්. මේ දිනවල හිරු ටී වී ඔස්සේ විකාශය කෙරෙන රැල්ල වෙරළට ආදරෙයි චරිතය ගැන මුලින්ම කියමු?

එහි මම රඟපාන්නෙ තාත්තා කෙනෙකුගේ චරිතයක්. එයාගේ නම  වීර වර්ණකුලසූරිය.

ස්වර්ණවාහිනියේ විකාශය වන ‘‘පාර වසා ඇත’’ නාට්‍යයේ චරිතයට?

ඒකත් පියෙකුගේ චරිතයක්. බොක්සිං ක්‍රීඩා කරන දියණියකගේ ජීවිතයට  ශක්තියක්  වූ පියෙක්.

මේ විදියට ඔබ චරිත රඟපාන ටෙලිනාට්‍ය දෙකක් සහ චිත්‍රපටයක් තිරගත වන මොහොතක පැත්තක සිට මේ චරිත රංගනයෙන් වැඩි ධාරිතාවක් ඔබට  මුසුකරන්න පුළුවන් වුණේ මොන චරිතයටද?

මට හිතෙන විදියට, ‘රැල්ල වෙරළට ආදරෙයි’ නාට්‍යයේ  චරිතය විවිධ පරාසයන් ඔස්සේ මට රඟපාන්න ලැබී තිබෙන බව පෙනෙනවා. රචක අරුණ, අධ්‍යක්ෂක නිවන්ත, කැමරා අධ්‍යක්ෂ ඇන්ඩෲ සහ අපේ ප්‍රවීණ රංගන ශිල්පීන් වන මහේන්ද්‍ර පෙරේරා ඇතුළු අපි කණ්ඩායම එකතුවෙලා. ආරම්භයේදීම අපි සැළසුම් කළේ මේ චරිත ඔස්සේ අපි යා යුතු ඉම කොතැනටද  කියලයි. කසාද බන්දලා දෙන වයසේ සිටින ලොකු දුවෙකුට තියෙන ඒ බැඳීම මේ සිස්ටම් එක ඇතුලේ ව්‍යාපාරිකයකු ලෙසත් එම ව්‍යාපාර කරගෙන යාම වෙනුවෙන් ඔහු විසින් පාවිච්චි කරන උපක්‍රම, ඊට  එහා ජීවිතයේදී ජොලියෙ කාලා බීලා ඉන්න විදිය, ආදී ස්වරෑපයන් මේ චරිතය ඔස්සේ මට නිරූපණය කරන්න වෙනවා. එක් අවස්ථාවක මේ චරිතය රඟපාන්දී මට ගීතමය ජවනිකාවකට පෙනී සිටීමටත් සිදුවුණා. ඒ ගීතය ගැයුවෙත් මමමයි. මිලියනයකට වැඩි පිරිසකගේ ප්‍රතිචාර ‘යූ. ටියුබ්’ ඔස්සේ ඊට ලැබිලා තියෙනවා. මට නටන්න තියෙනවා. සටන් ජවනිකා තියෙනවා. මේ චරිතය නිසා කාලයකට පසුව මට ටෙලිවිෂනය ඔස්සේ අතපය දිගෑරලා යමක් කරන්න පුළුවන් වුණා. ඒ චරිතයට ලැබෙන ප්‍රතිචාර දිහා බැලුවහමත් මට ඒ ගැන වැටහෙනවා. 

බිමල්ගෙ බිරිඳ සුජානිත් හොඳට කියවන විචාර බුද්ධියක් තියෙන  කෙනෙක්නෙ. මේ චරිත ගැන එයා මොනවද කියන්නෙ?

මම කරන වැඩක යම්කිසි අඩුපාඩුවක් තියෙනව කියලා මට දැණුනොත්  ඉස්සෙල්ලාම මම ඒ ගැන විමසන්නෙ එයාගෙන්. කොහොමටත් එදා දවසේ විකාශය වූ කොටස අපි රාත්‍රියේදී යූ.ටියුබ් ඔස්සේ නරඹනවා. 

ඒ ඒ චරිත දිහා බලලා  එහි කළ යුතු රිද්මයේ අඩු වැඩි විදිය ගැන ඇය කියනවා. මේ චරිත අතරින් සුජානි කවුරුවත් දන්නෙ  නෑ. ඉන්ස්පැක්ටර්  වික්‍රමගේ චරිතයට ඉතා කැමතියි. මේ චිත්‍රපටයේ එකම එක දර්ශනයක් හැර සමස්ත රඟපෑමට එයා කැමතියි. කොහොමටත් හොඳම ප්‍රතිචාරය ලැබෙන්නෙ එයාගෙන්. සමහර තැන්වලදී අපි වාද වෙනවා. ඒත් අවසානයේදී එක තැනකට එන අවස්ථා තියෙනවා.

ප්‍රේක්ෂකයකු ලෙස කවුරුවත් දන්නෙ නෑ. බිමල්ට දැණුනෙ මොන විදියටද?

කලාත්මක, වාණිජ කියලා ලංකාවේ ප්‍රේක්ෂකාගාරය අපි බෙදා ගත්තට මේ කියන ඕනෑම රසවින්දනයක අය කැමති වෙන චිත්‍රපට තියෙනවා. සරල පෙනුමක් තියෙන්න පුළුවන්. ඒත් තාක්ෂණය, රංගන වේදය යන සියල්ල නියම ප්‍රමිතියක පිහිටා නිර්මාණය වූ නිර්මාණ අපට දැකගන්න පුළුවනි. ඒ වගේ සිනමාවක් අපි මුලින්ම රටක් ඇතුළේ හදන්න ඕනෑ. ගිලිහී ගිය ප්‍රේක්ෂකයා ගෙන්වා ගන්න පුළුවන් වෙන්නේ එතකොට. මේ චිත්‍රපටයෙන් පෙන්වන්නේ අපිට මොකද වෙලා තියෙන්නෙ කියන එකයි. අපට මොකද වෙලා තියෙන්නෙ කියන කාරණාව ගැන කවුරුවත් දන්නෙ නෑ. අපි හරි දෙයක් කළා. අපි මාර දෙයක් කළා කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි අපි කවුරුවත් දන්නෙ නැහැ අපිට මොකද වෙලා  තියෙන්නෙ කියලා? මාරුවෙන් මාරුවට සහ මේ රටේ සමස්ත  දේශපාලනය නිසා අපි හැමෝම  පත්වෙලා තියෙන ඉරනම තමයි මේ චිත්‍රපටයෙන් පෙන්වන්නෙ. ටෙලිඩ්‍රාමා ගැන මම අඩු තක්සේරුවෙන් කතා කරනවා නොවෙයි. හැබැයි ජීවිත ගැන අපට නැවත හිතන්න, අපි කළ දේ හරිද කියලා හිතන්න මේ චිත්‍රපටය නැරඹුවොත් අපට බලාගන්න පුළුවනි.
 
ඒක චිත්‍රපටයේ කතාවනේ. රටේ වෙන දේවල් කවුරුවත් දන්නෙ නැද්ද? ඇයි එහෙම වෙන්නෙ හේතුව? පුරවැසියකු ලෙස කොහොමද  බිමල් එය දකින්නෙ?

බොහෝ වෙලාවට මාධ්‍ය විසින් අපිව හරි අපූරුවට  රවට්ටලා තියෙනවා. හරි ලෙහෙසියෙන් අපිව රවට්ටන්න පුළුවන්. බොරුව, මිථ්‍යාව වපුරපු රටක අනාගතය හරිම අවිනිශ්චිතයි. අනතුරුදායකයි. ඇත්තම කාරණාව මේ රටෙන් මටත් යන්න හිතුණ වාර බොහොමයි. හැබැයි මම විතරක් මේ  රටෙන්  පැනලා ගියොත්  මම හරි අවස්ථාවාදියෙක් කියලා හිතෙන නිසාම මේ සෑම දෙයක්  හමුවේ මුහුණ දෙමින් මේ රටේම ඉන්නවා කියලා තමයි හිත හදාගෙන ඉන්නෙ. මොකද මේ රටේ අනෙක් මිනිස්සුත් මේ ස්වභාවයට මුහුණ දෙන නිසා.

රටේ පවතින වාතාවරණය එක්ක චිත්‍රපටයක්, ටෙලිනාට්‍යයක්, වේදිකා නාට්‍යයක් නරඹලා සතුටු  වෙන් පුළුවන් තරමේ මානසිකත්වයක් මිනිසුන්ට තියෙනවා කියලා හිතනවාද?

නිර්මාණකරුවෝ හැටියට ඒ කාරණාවේදී ඇත්තටම අපි අසරණයි. ඇත්තම කතා කළොත් ලෝකයේ සෑම රටක්ම මේ ව්‍යසනයට මුහුණ දුන්නා. හැබැයි ඒ හැම රටක්ම ජාතික ප්‍රතිපත්තියක් මත පිහිටා ඉතා හොඳින් කළමනාකාරණය කර ගත්තා. ආයෙත් යථාතත්ත්වයට පත්වී ජීවත්වීමේ පරිසරය හදාගන්නවා. හැබැයි අපිට මොකද වුණේ? කියලා හිතා ගන්න බැහැනෙ.
අපි ගන්න තීරණේ පවා යළිත් රිවස් කරන්න වෙනවා. අපට ජාතික ප්‍රතිපත්තියක් නැහැ. අද කියන දේ හෙට නැහැ කියනවා. ඒ වගේම අපේ රටේ මිනිස්සුන්ගෙ ජීවිත එක්ක හරි අපුරුවට සෙල්ලම් කරනවා. දැන් මේ ගෑස් ප්‍රශ්නය ගනිමු. මිනිහෙකුට නිදහසේ නිදාගන්න පුළුවන්ද? රටක් ඇතුළෙ නිර්මාණයක් රස විඳින්න ඔළුව හදාගන්නෙ කොහොමද? නිදහස් පරිසරය මුලින්ම අපි නිර්මාණය කරන්න ඕනෑ. ඉන් පස්සේ අපට රස විඳින්න  බොහෝ නිර්මාණ තියෙනවා. නිර්මාණකරුවන්  නිර්මාණ කරන්නෙ බොහෝ  බලාපොරොත්තු තියාගෙනයි. නිර්මාණ රසවිඳින්න පරිසරය හොඳ රටක් අපට තියෙන්න ඕනෑ.

කාලයක් තිස්සේ අපි දැක්කෙ මේ ස්වභාවයනෙ. නමුත් මැතිවරණයක් එනකොට කලාකරුවන් එක් එක් පක්ෂවලට සහාය දෙනවා. කෝ කලාකරුවන්ට ජාතික ප්‍රතිපත්තියක්?

ඒ විදියට කඩේ ගිය කලාකරුවො දිහා ජනතාව හොඳින් ඇස් ඇරලා බැලුවොත්  ඒ සෑම කෙනෙක්ම එහෙම ගිහින් තියෙන්නේ තමන්ගෙ වරප්‍රසාදයක්, තනතුරක් හෝ තමුන්ගේ දෙයක් වෙනුවෙන් විතරයි. ඒ කිසිම තේරුමක් නැතුව කෑ ගහපු ඒ අය නැවතුණේ කොහෙද කියලා හොඳට විපරම් කර බලන්න. ඔවුන්ට වාහනයක්, පඩියක්,  තව තව දේවල් හම්බ වෙනවා. ඒ නිසා ඔවුන් හොඳින් ඉන්නවා. වරප්‍රසාද මැද හොඳට  ඉන්නවා. කෝ ඒ අයද අද? රටේ ප්‍රශ්නයක් වුණාම කෝ එයාලගෙ හඬ? මේ රටේ පක්ෂ භේදවලින් තොරව හැම එකාම කරන්නේ තමන්ගේ වාසිය වෙනුවෙන් කටයුතු කරන එක විතරයි. ජනතාවට මම කියන්නෙ ඔය කලාකරුවො ඇවිත් කියන දේවලට කවදාවත් රැවටෙන්න එපා. ඔවුන් ඔබව පාවිච්චි කරනවා විතරයි.

හරි බිමල් මේ සෑම දෙයකටම විසඳුමක් තියෙන්නත් එපායැ. මොකක්ද මේ රට ගොඩගන්න නම් ඔබ දෙන විසඳුම?

මගේ විසඳුම මේ රටේ මිථ්‍යාව, බොරුව, වපුරන, මාධ්‍ය ක්‍රමය සම්පූර්ණයෙන් මොනයම් හෝ යාන්ත්‍රණයකට නතුවිය යුතුයි. පැහැදිලිවම එකම නිව්ස් එක දෙවිදියකට වාර්තා වෙනවා. ජනතාවට තොරතුරු දැනගැනීමේ හරි අයිතිය තියෙන්න ඕනැ. ජනතාව මීට වඩා බුද්ධිමත් වෙන්නත් ඕනෑ.

සඳුන් ගමගේ

 



More In Hot Story