තණමල්විල කොල්ලෙක් ඉස්කෝලෙ කොල්ලව දිල්ශාන්ට දන් දුන්නා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වෘත්තීය ජීවිතය තුළ, තමන් රැඳෙන ක්ෂේත්‍රය තුළ කෙතරම් ඉහළට ගියත් සැබෑ ජීවිතය තුළ මිනිසෙකු ලෙස අප සිටින්නේ කොතැනද යන්න පිළිබඳව වඩාත් තදින් සිතන කාලයකි, මේ. මනුෂ්‍යත්වය පිළිබඳව, මානුෂීය ගුණාංග පිළිබඳව පුද්ගල චරිත ස්වභාවය පිළිබඳව වැඩි වැඩියෙන් කතා කරන කාලයක රංගන ශිල්පියෙකු මෙන්ම අධ්‍යක්ෂවරයෙකු ලෙස ද අපේ රටේ වයස් භේදයකින් තොරව හැමෝම ආදරය කරන චරිතයකින් ඔහුගේ කතාව ඇසීමට අප අද සූදානම්ය. ඔහු නමින් රොෂාන් රවීන්ද්‍රයි. 

සම්මානනීය චරිතාංග නළුවෙකු සේම අධ්‍යක්ෂවරයෙකු ලෙස ද ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකාගාරය නිරන්තරයෙන් කතාබහට ලක් කළ නිර්මාණ ගණනාවක්ම ඔබ ජනගත කළා. යහපත් අර්ථවත් නිර්මාණවලට තිබෙන ජනතා ආකර්ෂණය ගැන ඔබ තරම් කවුද කතා කළ හැකි අය ඉන්නේ? 

ආර්ථික තත්ත්වය එක්ක කොයි තරම් ගැටලුවලට මුහුණ දුන්නත් මම තෝරාගත් යහපත් නිර්මාණවලින් එළියට එන්න මට බැරිත් ඒකයි. මේ රටේ බාල, තරුණ, මහලු වයස් භේදයකින් තොරව මට ඉන්නවා ඉතා විශාල රසික පිරිසක්. ඔවුන් මට ආදරෙයි. මඟ තොටක ගියත්, වැඩක හිටියත්, ප්‍රශ්නයක හිටියත් මට ඔවුන්ව මඟහැරලා යන්න බැහැ. මට කොතරම් ආර්ථික ගැටලු තිබුණත් බාල බොළඳ නිර්මාණවලට මට යන්න බැහැ. ආරම්භයේ සිටම මම මේ ගමන එන්නේ යම් අවබෝධයක් හැදෑරීමක් එක්ක. එහෙම ඇවිත් මම කළ මේ නිර්මාණ එක්ක මට හැදුණු ප්‍රේක්ෂකාගාරය හැමදාම මාත් එක්ක ඉන්නවා. ඔවුන් තමයි මට කියන්නේ රොෂාන් ඔබ කරන නිර්මාණ අපි බලනවා. ඒවා ජීවිතයට ළංකර ගන්නවා කියලා. ඉතින් ඒ ආදරණීය ප්‍රේක්ෂකාගාරය බොරුවකින් රවට්ටන්න මට බැහැ. මට අවශ්‍ය ඔවුන්ට නිර්මාණයක් තුළින් හෝ ජීවිතයට යමක් දෙන්න.

ඔහු පවසන්නේ හදවතින්ම යැයි හැඟේ.

හතර දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා ලෙස මෙලොව එළිය දකින ඔහු රුක්මල්ගම මහා විද්‍යාලයෙන් හා වෑවල රාජසිංහ විද්‍යාලයෙන් සිප් සතර හැදෑරීය. පාසලේ ගමේ මිතුරන් සමඟ කෙළිදෙලෙන් ගත කළ ඒ සොඳුරු නව යොවුන් වියේදී ඔහු දැඩිව ආදරය කළේ ක්‍රිකට් ක්‍රීඩාවටයි. ක්‍රිකට් ක්‍රීඩකයෝ ඔහුගේ ජීවිතයේ වීරයන් වූහ. එමෙන්ම ක්‍රිකට් කෙරෙහි තිබූ දැඩි ඇල්ම නිසාම ඔහු ද දක්ෂ ක්‍රීඩකයෙක් විය. මිතුරන් අතරේ ඔහුට තිබුණේද ඉහළ පිළිගැනීමකි. කවදාක හෝ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීම, පන්දු යවන්නෙකු වීම ඔහුගේ සිහිනයක් විය. එහෙත් එක් තැනකදී ඒ සිහිනය ඔහුගෙන් අතහැරිණි.

මම ඊටපස්සේ හෝටල් ක්ෂේත්‍රයට පිවිසෙන්න උත්සාහ කළා. ඔය අතරේදි මම රංගනය ගැනත් යම් හැදෑරීමක් කරන්න උත්සාහ ගත්තා. ඇත්තෙන්ම ඒ දවස්වල රංගනය හදාරන්න මම ගොඩක් උත්සාහ කළා. ඔය අතරෙදි තමයි මට ප්‍රියන්ත සිරිකුමාර මහතා හමුවුණේ. ඔහු තමයි මාව කලාවට හඳුන්වා දුන්නේ. අංග රචනා ශිල්පී සහයකයෙකු ලෙස වැඩ කරන්න පටන්ගත් අවධියේ සිටම මම ඒ වෙනුවෙන් කැප වුණා. ජාතික තරුණ සේවා සභාව තුළින් සහ මහේන්ද්‍ර පෙරේරා, සෝමලතා සුබසිංහ යන අයගේ පාඨමාලාවන් හදාරමින් තමයි මම ක්ෂේත්‍රයට අවතීර්ණ වුණේ. ඒ වගේම මම කලාව තුළ මට අනන්‍ය වන පරාසය නිවැරදිව හඳුනා ගත්තා.

වැඩ කරන ගමන් ඉගෙන ගැනීම කියන්නෙත් එක්තරා කලාවකැයි ඔහු දෙස බලද්දී සිතේ.

වර්තමානය වනවිට වසර ගණනාවක් ටෙලිනාට්‍ය කලාව තුළ හොඳම නළුවා ලෙස නිර්දේශ වෙමින් සම්මානයට පාත්‍රවෙමින් ඔහු බොහෝ දුර පැමිණ සිටී. එමෙන්ම සිනමාව තුළද මතකයේ රුඳෙන චරිතයක් බවට පත්වීමට ඔහුට හැකියාව ලැබිණි. 

ටෙලිනාට්‍ය කලාව තුළ මම යමක් කළා කියන සතුට මට තියෙනවා. ඒ වගේම ඉදිරියටත් යහපත් අර්ථවත් නිර්මාණ එක්ක ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයා ඉදිරියට යන්නට මම සූදානම්...

එලෙස පැවසුවද රොෂාන්ට සිනමාව තුළ එවන් ඉඩක් ලැබුණාද කියා විමසා බැලිය යුතුය. 

උපුල් ශාන්ත සන්නස්ගල ලියූ %වස්සාන සිහිනය^ නවකතාව ඇසුරෙන් සෙනේෂ් දිසානායක බණ්ඩාර අධ්‍යක්ෂණය කළ %ආදරණීය වස්සානය^ තුළ තමන්ට ලැබුණු අවස්ථාව අදටත් ඔහු සිහි කරන්නේ ඉමහත් සතුටකිනි. 

ඒ චරිතය මාව සෑහෙන්න ජනතාව අතරට රැගෙන ගියා. ඒත් පසුකාලීනව මට සිනමාව තුළ එතරම් ඉඩක් ලැබුණේ නැහැ. ලැබුණු සමහර චරිත මගේ වටිනාකම හඳුනා ගත්ත චරිත නෙවෙයි. බලමු අනාගතයේදීවත් සිනමාවේදී එහෙම අවස්ථාවක් ලැබේවිද කියලා.. ඔහු අපේක්ෂා සහගතව පවසයි.

අප නියැලෙන ක්ෂේත්‍රය මනාව හඳුනා ගැනීම අතිශයින් වැදගත්ය. රංගන ශිල්පියෙකු ලෙස ඔහු තමන් නිරතව සිටින ක්ෂේත්‍රය මනාව හඳුනාගෙන සිටින බව දැනෙන්නේ ඔහුගේ නිර්මාණ මෙන්ම, ක්ෂේත්‍රය පිළිබඳව වන ඔහුගේ දැක්ම හඳුනා ගැනීමෙනි. විශේෂයෙන් අධ්‍යක්ෂවරයෙකු ලෙස ඔහුගේ භූමිකාවත්, රංගන ශිල්පියෙකු ලෙස නිර්මාණ තෝරාගැනීමත් යන සියල්ල දෙස බැලීමේදී එය වටහාගත හැකිය. මෑතකදී ස්වාධීන රෑපවාහිනියෙන් විකාශය වූ ෆාහීම් මවුෆ්‍රඩ් නිෂ්පාදනය කළ %තණමල්විල කොල්ලෙක්^ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කළේ ද රොෂාන්ය. සුසිත් විජේමුණි විසින් තිර පිටපත ලියූවේ එහි ප්‍රධාන චරිතය වන දීප්තගේ චරිතය වෙනුවෙන් රොෂාන්ව සිත්හි තබාගෙනය. එහෙත් වසර කිහිපයක් ගතවූ පසුව ද තවදුරටත් පාසල් යන වයසේ නව යෞවනයෙකුගේ චරිතය තමා නිරෑපණය නොකර ඒ වෙනුවෙන් ඔහු ධනුක දිල්ෂාන්ව යෙදවීය. එවන් සැබෑ කැපකිරීමක් කළ හැකි රංගන ශිල්පියෙකු ලෙස රොෂාන් රසික හදවත්වල ලැඟුම් ගෙන සිටී.

අංග රචනා ශිල්පී සහයකයෙකු ලෙස මෙන්ම සහය අධ්‍යක්ෂවරයෙකු ලෙස කලාවේ යෙදෙන රොෂාන් රවීන්ද්‍රට රංගන ශිල්පියෙකු ලෙස තම ප්‍රතිභාව හඳුනා ගන්නට ඉඩ ලැබුණේ ටෙලිනාට්‍ය කලාව තුළිනි. ඇබෑර්තු ඇත, බැද්දේකුලවමිය, සත්‍යා, සහෝදරයා, වීරයා ගෙදර ඇවිත්, දස්කොන් ආදිය එහිදී එක පෙළට සිහියට නැගේ. දශක දෙකක කාලයක් පුරා ඔහු ටෙලිනාට්‍ය කලාව තුළ පෑ දස්කම් හොඳම නළුවා ලෙස අවස්ථා ගණනාවකදී සම්මානයට පාත්‍ර විය. පසුගිය වසරේ ඔහු ටෙලි කලාවේ වීරයා බවට පත්වූයේ සුමති සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස සම්මාන දිනාගනිමිනි. ඒ ආනන්ද අබේනායක අධ්‍යක්ෂණය කළ වීරයා ගෙදර ඇවිත් ටෙලිනාට්‍ය තුළ කළ විශිෂ්ට රංගනය වෙනුවෙනි.

කුලා කල සිටම ඔහු සිනමා නිර්මාණ රසවින්ඳේය. සමහර විටෙක ඒ මවගෙන් බැණුම් අසමිනි. අතට අසුවන සියලු සිනමා නිර්මාණ නරඹමින් ඔහු ලද දැනුම අද ඔහු ගොඩනගන චරිතවලට පදනම සැකසීමට සවියක් වනවා ඇත. හරවත් නිර්මාණවල යෙදෙමින් ඒවා ජනගත කිරීමට ඔහු දරන වෑයම තුළද එදා ඒ ලද ආභාෂය සැඟව ඇත. ජීවිතය දෙස ආපසු හැරී බලන විට ඔහුට සතුටක් දැනෙන්නට ඔහුගේ මෙම නිර්මාණකරණය හේතු වන්නේ එබැවිනි.

එදා ආදරණීය වස්සානයේ චාපාගේ කසුන් වූ ඔහු අද දරුවන් තිදෙනෙකුගේ පියෙකි. ඔහුගේ ජීවිතය, ආදරය, ජය, සතුට, වේදනා බෙදාගනිමින් ඔහු ළඟ රුඳෙන්නී ආදරණීය බිරිඳ සංජීවනීය. ඇය ඔහුගේ පළමු පෙම්වතියයි. නේතෘ, කේතකී, තිරු දරුවන්ද සමඟ ජීවිතය ආදරෙන් ගත කරන රොෂාන්ගෙන් නළුවෙක් වීම පිළිබඳව අද දැනෙන දේ පිළිබඳව අසන්නටද හදසර අපි සිතුවෙමු.

කලාව සහ රසවින්දනය සමාජයක රටක යහපැවැත්මට දැඩි බලපෑමක් එල්ල කරනවා. යහපත් කලාවකින් උසස් රසවින්දනයක් ලබාදීම කලාකරුවාගේ වගේම ජනමාධ්‍යයේත් වගකීමයි... ඔහු පවසන්නේ සැබෑවටම හද තුළ දැල්වුණු අපේක්ෂා සමඟිනි. 
ජීවිතය, ආදරය, මානව සබඳතා යනාදී සියල්ල දෙස වඩාත් පැහැදිලිව කිවහොත් ඒ සියල්ල මනා සේ පවත්වාගෙන යන්නට උසස් කලා නිර්මාණයකින් කළ හැකි මෙහෙවර අති විශිෂ්ටය. මේ වසරේදීත් ඔහුගෙන් එවන් නිර්මාණයක් තම ආදරණීය ප්‍රේක්ෂකාගාරයට තිළිණ කරන්නට ඔහු මඟ බලා හිඳීයි. ඒ සියල්ල සාර්ථක වේවායි හදසර අපි ඉත සිතින් සුබ පතන්නෙමු. එමෙන්ම සිනමාවේ රොෂාන් රවීන්ද්‍ර නාමය තවත් තදින් ලියන්නට හැකි නිර්මාණ සඳහා ඔහුට ඉඩ හිමිවේවායිද පතමු.

කලාකරුවා සමාජ ප්‍රගමනය කෙරෙහි ලබාදෙන දායකත්වය මත ඔහුව ප්‍රේක්ෂකාගාරය හදවතින් වැළඳ ගන්නා ප්‍රමාණය තීරණය වෙයි. ඒ අතින් ගත් කල රොෂාන් රවීන්ද්‍ර යනු සැබෑ ලෙසම තම වගකීම හඳුනාගත් නිර්මාණකරුවෙකි. අඳුර අප අවට පැතිරෙද්දී අඳුරට සාප කළාට ඵලයක් නැත. අසීරුවෙන් එක් පහනක් හෝ දැල්වීම කළ යුතුය. එය අඳුර සම්පූර්ණයෙන්ම නැසීමට ප්‍රමාණවත් නොවිය හැක. එහෙත් අප දල්වන පහනෙහි ආලෝකයේ මහිමයෙන් තවත් පහන් සිය ගණනක් දැල්වෙනු ඇත. එදිනට අඳුර නැසී යනු ඇත. ඉදින් එක් පහනක් හෝ දල්වන්නට අපි වෙර දරමු.

මොනිකා සේරසිංහ