තිරේ රඟද්දී සිවුරු දරද්දී හැමදාම ​පේවෙලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මට චිත්‍රපට තුනකට වගේ ප්‍රධාන වශයෙන් භික්ෂු චරිත කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම ටෙලි නිර්මාණ කිහිපයකටත් සම්බන්ධ වුණා. ඒ චරිත අතර මට ලැබුණෙ සුපේෂල, ශික්ෂාකාමී, ධර්මධර, විනයධර හාමුදුරු චරිත නෙමෙයි. බොහොම කැරළිකාර, රට වෙනුවෙන් සමාජය වෙනුවෙන් ක්‍රියා කළ වීර භික්ෂු චරිත රංගනයන්. 

ඇහැළේපොල කුමාරිහාමි චිත්‍රපටයෙ වාරියපොල සුමංගල හාමුදුරුවන්ගෙ චරිතය, මහරජ ගැමුණු චිත්‍රපටයෙ මහාශිව මහරහතන් වහන්සේගෙ චරිතය, ආලෝකෝ උදපාදි චිත්‍රපටයෙ කුපික්කුලතිස්ස හාමුදුරුවන්ගෙ චරිතය. ඉතින් මේ චරිත ඉතිහාසයේ හිටපු ප්‍රබල චරිත. එවැනි චරිතවලට රංගන දායකත්වය ලබාදීම ඇත්තටම ලොකු වටිනාකමක් මට රංගන ශිල්පියෙක් විදියට. 
ඉතින් මට මේ චරිත රංගනයන් වෙනුවෙන් සිවුර පැළඳීමේදී වුණත් අමුතුවෙන් පේ වෙනවා කියලා දෙයක් කරන්න වුණේ නැහැ. මම කොහොමත් ජීවිතේම පේ වෙලා ඉන්නෙ. දුම්වැටි, මත්පැන් පානයක් නැහැ. ඒ වගේම කිසිම මස් මාංශයක් ආහාරයට ගන්නෙත් නැහැ. අඩුම තරමෙ කිරි ටිකක්වත්, කිරි නිෂ්පාදනයක්වත් කන බොන කෙනෙක් නෙමෙයි. ඒ කිසිම ආගමික හේතුවක් නිසා නෙමෙයි. මම කල්පනා කරනවා ඒ හැම සතෙක්ටම අපිට වගේම ජීවත්වීමට අයිතියක් තියෙනවා, ඒ ආහාරයට ගන්න සියලුම සත්තු අපි වගේම මේ සත්ව ලෝකයේ ඉන්න සාමාජිකයො. අපි මනුෂ්‍යයො අතින් දියුණු තත්ත්වයක ඉන්නවා. නමුත් සතුන් ජීව විද්‍යාත්මකව අපිට සමානයි. ඔවුන්ට බඩගින්න, පිපාසය, නිදිමත හැමදේම අපිට වගේම දැනෙනවා. ඒ වගේම භාවමය වශයෙන් ඒ හැඟීම් දුක, බය, ජීවිත ආශාව, ආදරය, දරු සෙනෙහස හැමදේම දැනෙනවා. හැඟෙනවා. එවැනි සතුන් අපි මරලා කනවා නම් කෝ අපේ බෞද්ධකම, කරුණාව, මෛත්‍රිය, දයාව. උදේ හවස මේ ධර්මද්වීපයේ සත්තු මරනවා. නමුත් මම ගිහියෙක් විදියට සිවුරට අයත් චරිතයක් කරන්න වුණත් කිසිම පේවීමක් සිදුකරන්න අවශ්‍ය නැහැ. දවස් 365ම පේවිලා තමයි ඉන්නෙ.

ඉදිරියේදී කෙටි නාට්‍යයක අරණ්‍ය සේනාංක භික්ෂුවක් ලෙසත් චරිත රංගනයක් දකින්න ලැබෙයි.