දියෝගබදු කියන්නේ තරමක් මෝඩ චරිතයක්. නිතරම මිනිහාට මුදුනා වෙන්න ආසයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කුකුළා මුදලාලිගේ ගෝලයෙක් වෙච්ච දියෝගබදු පාට් එක දාන්නේ සරාට, සරා කවුද? දියෝගබදු කවුද? කුකුළා මුදලාලි කවුද කියලා නාඩගම්කාරයෝ නරඹන ප්‍රේක්ෂකයින්ට අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. අමුතු විදියට කතා කරන මේ දියෝගබදු කවුද කියලා ඔබ දන්නවද? ඔහුගේ අත්ත නම තමයි මනුජ ජයකොඩි. 

 
දියෝගබදු වූ මනුජ ජයකොඩි කියන්නකො ඔබ ගැන හැඳින්වීමක්.

සිනමාව සම්බන්ධයෙන් ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්. ඒ වගේම කරාටේ ක්‍රීඩකයෙක්. පදිංචි වෙලා ඉන්නේ නාවල. දැන් මගේ වයස අවුරුදු 22යි.

ඉතින් කියමුකෝ පවුලේ විස්තර එක්ක, ඉගෙන ගත් පාසල ගැන විස්තර?

ඉගෙන ගත්තේ කොළඹ නාලන්දාවෙන්. පවුලේ විස්තර කිව්වොත් අම්මයි තාත්තයි අයියයි, මල්ලියි මමයි. අයියා බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වෙනවා. මල්ලි තවම පාසල් අධ්‍යාපනය ලබනවා. තාත්තා සේවය කරන්නේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ.

මනුජ කොහොමද නාඩගම්කාරයෝ නාට්‍යයේ දි​යෝගබදු වුණේ.

උසස් පෙළට පසුව සද්ධා මංගල සූරියබණ්ඩාර සර්ගේ ඇකඩමි එකේ අවුරුද්දක විතර කාලයක් මම රූපවාහිනි රංගනය ගැන හැදෑරීම් කළා. එයින් පසුව තමයි සද්ධා සර් මට අවස්ථාව දුන්නේ.

ඊට කළින් රඟපාලා තිබුණේ නැද්ද?

පොඩි කාලයේ ඉඳලාම නාට්‍යවලට දායක වෙලා තිබුණා. නාලන්දාවෙදි වේදිකාව හා සම්බන්ධ වෙලා වැඩ කටයුතු කළා. ඊට අමතරව දැන්වීම් වලටත් පෙනී හිටියා. හැබැයි වැඩිපුරම කළේ ආත්මාරක්ෂක සටන්ක්‍රම ඉගෙන ගැනීමයි.

අධ්‍යාපනය තව දුරටත් කරනවද?

පාසල් අධ්‍යාපනය හමාර කළා. මේ දිනවල ජාතික තරුණ සේවා සභාවේ කලාවට සම්බන්ධ ඩිප්ලෝමාවක් කරනවා. රංගනයට දායක වෙන්නේ ඒ අතරවාරයේදියි.

දියෝගබදු කියන්නේ මැරයෙක් වගේ කෙනෙක් මිනිහා කතා කරන්නේ හරි අමුතු විදියට කෙහොමද ඒ ශෛලියට හුරුවුණේ?

චරිතයක් රඟපෑමට ලැබුණාම අපට ඒ චරිතයේ විදි - ස්වභාවයන් ගැන හිතන්න වෙනවා. ඒ අනුව තමයි චරිතයට ප්‍රවේශ වෙන්නේ. පිටපත දෙන වෙලාවෙදි සද්ධා සර්, අපට ඒ-ඒ චරිත වලට අදාලව විස්තරයක් කරනවා. දියෝගබදු කියන්නේ තරමක් මෝඩ චරිතයක්. නිතරම මිනිහාට මුදුනා වෙන්න ආසයි. ඒ ස්වභාවය තමයි ගලා යන්නේ. මම සැබෑ ජීවිතයේදී කතාකරන ශෛලිය නෙවෙයි දියෝගබදුවට තියෙන්නේ. ඒක ඒ චරිතයට අදාලව නිර්මාණය කරගත්ත කතා විලාශයක්.

නාට්‍යයේ කතාවේ හැටියට සරා - දියෝගබදුගේ තරහා කාරයානෙ, රඟපාලා ඉවර වුණාම කොහොමද ඔබ සහ සජිත අතර තියෙන මිත්‍රත්වය?

සජිත අයියා අපි හැමෝටම හරියට උදවු කරනවා. රඟපෑමෙන් පස්සේ අපි ඔක්කෝමලා හොඳම යාළුවෝ. එකම සහෝදරයෝ වගේ ඉන්නේ. සීන් එකක් ඉවර වුණාම ඒවා මතක් කර කර අපි හිනාවෙනවා.

සරා එක්ක ගහගනිද්දි කොහොමද සරාගෙන් බේරුණේ? මනුජ කරාටේ දන්න නිසාද?

ඒ ගහගන්න තියෙන අවස්ථා අපි - අපිට ඒ අවස්ථා නිර්මාණය කර ගන්නේ අධ්‍යක්ෂ සිවගුරුනාදන් සහ කැමරා අධ්‍යක්ෂවරයා ලබා දෙන උපදෙස් අනුවයි. එයාලාගේ සපෝට් එක නිසා අපට අකරතැබ්බයන් වෙනවා අඩුයි. ඒ හැරත් සජිත අයියා හොඳ පළපුරුදු රංග ශිල්පියෙක් නිසා ඒ අවස්තා අසීරු වෙන්නේ නැහැ.

සැබෑ ජීවිතයේදී අඬ දබර කරගෙන තියෙනවද?

ඔය පොඩි පොඩි රණ්ඩු කරගෙන තියෙනවා. සටන් කලාවට මම බොහොම ආසා කෙනෙක්. ඒ වගේම ගහගන්න, අඬදබර වලට යන්න බොහොම අකමැති කෙනෙක්. රණ්ඩු වලට හරිම අකමැතියි.

අවුරුදු 22 කොල්ලට, බොනපාට් ඉතා තාත්විකව කරන්න පුළුවන් වුණේ කොහොමද? 

මම හිතන්නේ පොඩි කාලෙය් ඉඳලාම මට රඟපාන්න තිබුණු ආසාව උනන්දුව නිසා, එක, එක චරිත දිහා බලාගෙන හිටියා, ඒ වගේම ඒ චරිත රංගනයන් ගැන පොත පත කියවමින් එදිනෙදා දකින ජීවිත එක්ක මගේ ඔළුව පුරවා ගන්න උත්සාහ ගන්න කෙනෙක්. චරිතයකට ඇතුළත් වුණාම එතැන ඉන්නේ මනුජ නෙවෙයි. ඒ චරිතයට අදාළ කෙනා. මගේ උත්සාහය ඒ විදියට රඟපෑම් කරන්නයි.

දැනට ඔබ හමුවන්නේ දියෝගබදුගෙ චරිතයෙන් විතරද?

දැනට ඉගෙනීම් කරන නිසා මට කාලය තියෙන්නේ මේ චරිතයට දායක වෙන්න විතරයි. ඉස්සරහට තවත් වැඩ වලට දායක වෙන්න හිතාගෙන ඉන්නේ.

කොහොමද දියෝගබදුව දැක්කාම මිනිස්සු බය වෙනවද?

එහෙමම නැහැ. අපේ ප්‍රේක්ෂකයින් මේ නාට්‍යයේ සෑම චරිතයක්ටම ආසා කරන බව පෙනෙනවා. සරාට ගහන්න එහෙම එපා කියලා විහිළුවට වගේ කියන අවස්ථා තියෙනවා. ඒ ප්‍රේක්ෂක ආදරය අපට දැනෙනවා.

සැබෑවට මනුජ මොන වගේ කොල්ලේකද?

ජීවිතයේ ගෙවන ගත කරන සෑම මොහොතක්ම විඳින්න කැමති කෙනෙක්. ජොලියෙන් සැහැල්ලු‍වෙන් ඉන්න කැමති කෙනෙක්. ජීවිත අත්දැකීම් එක්ක ඉදිරියේදී මගේම පිටපත් ලිවීමට සහ නිර්මාණ කටයුතු වලින් ප්‍රයෝජන ගන්න උත්සාහ ගන්නවා.

දියෝගබදුට පෙම්වතියක් නම් නැහැ. සැබෑ ජීවිතයේ මනුජට?

සැබෑ ජීවිතයේදීත් පෙම්වතියක් නැහැ. ආදරය ජීවිතයට තියෙන්නම ඕනැ. ලෝකය පවතින්නේ ඒ ආදරය නිසයි. ඒත් දැනට මම ප්‍රේමයකට වඩා ආදරය කරන්නේ ආට් එකට කලාවට.

සඳුන් ගමගේ