දේවින්දගේ චරිතය මගේ චරිතයට සමානයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලා ක්ෂේත්‍රයට අලුතින් එකතුවන මුහුණු අතරින් මේ දිනවල කතා බහකට ලක්වන නවක රංගන ශිල්පියෙක් මෙවර සඳැල්ල කතාබහකට එකතු කරගත්තා. ඔහු නමින් හෂාන් රත්නායක

• හෂාන් ගැන මේ දිනවල කතාබහට ලක්වෙන්නේ මොන නිර්මාණයන්  හරහා ද?

මේ දිනවල නම් ධරණි ටෙලිනාට්‍යයේ  දේවින්දගේ චරිතය නිසා තමයි කතාබහට ලක්වෙලා තියෙන්නේ. ඉතින් එහි වැඩ කටයුතු තමයි මේ ටිකේ නම් කරගෙන යන්නෙ. මේ වෙද්දි ටෙලිනාට්‍ය 5ක් වගේ කරලා තියෙනවා. ඒ නාට්‍යය ඉදිරියේ දී එන්න තියෙනවා. ඒ තුළින් ඉස්සරහට දැක ගන්න හැකිවෙයි. 

• ඉතින් මේ දිනවල ලැබෙන ප්‍රේක්ෂක ආදරය කොහොම ද?

ඇත්තටම ගොඩක්  හොඳ ප්‍රතිචාර තියෙනවා. සාමාන්‍ය ජීවිතයේ හෂාන් කියන චරිතයම තමයි දේවින්ද කියන චරිතයට පණ පොවන්නෙ. ලොකු වෙනසක් නැහැ. ඒ චරිතය මගේ සාමාන්‍ය ජීවිතයට සමානයි. ඉතින් නාට්‍යය ඇතුළෙ චරිතය ගත්තත් දේවින්දට ගොඩක් දෙනෙක් කැමතියි. ඉතින් මමත් ගොඩක් කැමැත්තෙන් ආදරෙන් මේ චරිතය කරගෙන යනවා. මාව මේ වෙනුවෙන් සම්බන්ධ කරගත්තට මෙහි පිටපත් රචක නිදුක් මදුෂිකටත් ශ්‍රියන්ත අයියටත් ස්තුතිවන්ත වෙන්න ඕනා විශේෂයෙන්ම.

• හෂාන්ගෙ සාමාන්‍ය ජීවිතයට සමාන මේ චරිතය ගැන කිව්වොත්.

මම කොහොමත් පොඩි කාලෙ ඉදන් හැදෙන්නෙ මගේ ලොකු අම්මා ළඟ. මගෙ අම්මා, තාත්තා කියන භූමිකා දෙකම කළේ ඇය. මේ නාට්‍යය ඇතුළෙත් මට ආදරණීය ලොකු අම්මා කෙනෙක් ඉන්නවා. ඉතින් නාට්‍යයේ ආදරයත් මගෙ සැබෑ ජීවිතයේ ඒ ආදරයත් බොහෝ දුරට සමානයි. සාමාන්‍ය ජීවිතයේත් මම ගොඩක් සංවේ දී චරිතයක්. නාට්‍යය තුළත් සංවේ දී ආදරණීය චරිතයක්. ආදරය පැත්තෙනුත් සිතන පතන විදිය නාට්‍යය චරිතයට සමානයි. ඉතින් ඒ විදියට බලද්දී රඟපාන්න දෙයක් නම් නැති තරම්. 

• මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න හිනයක් තිබුණ ද?

ඔව්. පුංචි කාලේ ඉදන්ම ලොකු හීනයක් තිබුණා මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න. නමුත් කිසිදු අවස්ථාවක් මට ලැබුණෙ නැහැ. මගෙ පවුලෙ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධත් නැති නිසා මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වීම හීනයක් වෙයි කියලා තමයි හිතුවෙ. ඒ නිසා කලාව පැත්තෙන් කිසියම් හැදෑරීමක්වත් කළේ නැහැ. උසස් අධ්‍යාපනය හැදැරුවෙත් වානිජ අංශයෙන්. 
ඒ අංශයෙන් හොඳින් අධ්‍යාපනය හදාරලා මම කැලණිය විශ්‍වවිද්‍යාලයට සුදුසුකම් ලබනවා. එහිදී මම තෝරගන්නෙ ව්‍යාපාර කළමනාකරණවේ දී උපාධිය හදාරන්න. ඒ දේවල්වලින් ඉදිරියට ගිහින් හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්න තමයි ඉතින් අවසන හිනය වුණේ. නමුත් මම නොහිතපු විදියට 2015 වසරේ දී අපේ විශ්වවිද්‍යාලයෙන් සංවිධානය කරනවා. නිරූපණ තරඟාවලියක් ‘‘Stylish Marketer’’ නමින්. ඒ වෙනුවෙන් මම සම්බන්ධ වෙලා ඒ හරහා  මුලින්ම නිරූපණයට එන්න අවස්ථාව ලැබෙනවා. 
ඉන්පසුව නිරූපණ අංශය පිළිබඳ හදාරනවා. ඒ හදාරලා ලබාගත් අත්දැකීම් එක්ක විවිධ නිරූපණ තරගාවලිවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. දෙස් විදෙස් වශයෙන් 2018 වසරේ හිරු නාළිකාවේ අවුරුදු කුමරා දෙවන ස්ථානයත්,  2019 වසරේ  සිරස නාළිකාවේ අවුරුදු කුමරා දෙවන ස්ථානයත් ලබා ගන්න හැකිවෙනවා. ඒ අත්දැකීම් එක්ක තායිලන්තයේ පැවති ‘‘2018 Mr Sir Lanka For Mr United Asia’’ සහ 2019 Face of Sir Lanka For Face South  Asia Model Festivel’’ඉන්දියා මහාරාශ්ට්‍රයේ පැවති තරගාවලියටත් සම්බන්ධ වෙලා. ඒ තුළින් ජයග්‍රහන කිහිපයක් ලබාගන්නටත් හැකිවෙනවා. ඉතින් මාගේ හීනවල තිබුණේ කොයි අංශයකින් කොයි දේ හැදෑරුවත් ඉදිරියටම යන්න ඕනෑ කියන දේ. ඉතින් අද වෙද්දී මේ විදියට තමයි මගේ හීන යම්කිසි තත්ත්වයකින් සැබෑවෙලා තියෙන්නෙ. ඉතින් මුලින්ම නිරුපණ ක්ෂේත්‍රයෙන් තමයි. යම්කිසි තැනකට ආවේ. ඒ අත්දැකීම් ලබාගත්තට පස්සේ තමයි අද වෙද්දී රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වෙලා ඉන්නෙ. ඇත්තටම ලොකු කැපකිරීමක් එක්ක ආපු ගමනක්. 

• ඒ කැපකිරීම් එක්ක ආපු ගමනෙ අද වෙද්දි සිනමාවටත් සම්බන්ධ වෙන්නට අවස්ථාව ලැබිලා තියෙනවා.

ඔව්, ඇත්තටම මම හිතුවෙවත් නැති විදියට මට අවස්ථාවක් ලැබුණා, සිනමාවේ දැවැන්තයෙකුගෙ නිර්මාණයකට සම්බන්ධ වෙන්න. ඒ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගෙ අලුත්ම සිනමා නිර්මාණය වෙනුවෙන් ‘‘කදිර දිව්‍යරාජ’’  අලුත්ම නිර්මාණයේ ඝණ දෙවියන්ගෙ චරිතය තමයි මට ලැබුණේ. ඉදිරියේ දී ඒ තුළින් දැක ගන්න හැකිවෙයි.

• සිනමා නිර්මාණයකට සම්බන්ධවීම ගැන මොකද හිතෙන්නෙ?

මට මේ ලැබුණු සිනමා නිර්මාණයට දායක වෙන්න ලැබුණේ අහම්බයෙන්. ඇත්තටම මම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න තියෙන කැමැත්ත, ආසාව නිසාම නිර්මාණ වෙනුවෙන් දායක වෙන තිර පරීක්ෂණ හොය හොයා ගියේ. ඒ සමහර තැන්වල දී මම ප්‍රතික්ෂේප වුණු අවස්ථා සහ අසමත්වීම් ගොඩයි. නමුත් මම මගේ අරමුණ අධිෂ්ඨානය අතහැරියේ නැහැ. කවදා හෝ මට අවස්ථාවක් ලැබෙයි කියන තැන හිටියා. ඉතින් එවැනි අවස්ථාවක තමයි මම BMICH එක ළඟින් ඇවිදගෙන යද්දී විමල් දේශප්‍රිය මහත්මයා කතා කරල මේ සිනමා නිර්මාණය සම්බන්ධව මගෙත් එක්ක කතා කරන්නෙ. මේ වගේ චරිතයක් තියෙනවා කියලා කතා කරලා දුරකථන අංකයත් ලබාගෙන සති දෙකක් ඇතුළත මට කතා කරලා මාව මේ වෙනුවෙන් සම්බන්ධ  කර ගන්නවා. ඇත්තටම මේ මගේ ජීවිතේ අමතක නොවන වටිනාම අවස්ථාවක්. 

• මේ ආපු ගමන් මඟ ගැන මොකද හිතෙන්නෙ ?

ඇත්තටම ගොඩක් සතුටුයි. මේ තැනට එන්න කොයි විදියට ද හීන දැක්කෙ, මොනවගේ කට්ටක් ද කෑවේ, කියන්න මම දන්නවා. ඉතින් මේ ලබාගත් තැනට එන්න උදව් කරපු හැම දෙනාටම ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනා. නම්වලින් සඳහන් කරන්න අමාරුයි ඇත්තටම, නිරුපණ ක්ෂේත්‍රයේ, රංගන ක්ෂේත්‍රයේ මට ලොකු ශක්තියක් වුණු කිහිප දෙනෙක් ඉන්නවා. ඒ වගේම මට අහඹු ලෙස නිවේදනයටත් එක්වෙන්න. අවස්ථාවක් ලැබුණා. මැතක දී ඒකත් මම බලාපොරොත්තු වුණ හීනයක් සැබෑවීමක්, ඉතින් කලා ක්ෂේත්‍රයේ ඒ හැම අංශයකින්ම ඉදිරියට ගිහින් ප්‍රේක්ෂකයන්ට හොඳ දෙයක් දෙන්න තමයි මගේ බලාපොරොත්තුව.

ධනු විජේරත්න