නපුරු මාලාට ප්‍රතිචාර ගොඩයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හර්ෂිකා රත්නායක හෙවත් කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනා ආදරයට අමතන ‘හර්ෂි’ වෘත්තියෙන් පාසල් ගුරුවරියක සහ සරසවියේ බාහිර කතිකාචාර්යවරියක වන්නීය. එහිදී ඇයගේ විෂය පථය වන්නේ නාට්‍ය හා රංග කලාවය. න්‍යායට පමණක් යොමු නොවූ ඇය ප්‍රායෝගික වූ චරිතයක් වන්නේ රංගන ශිල්පිනියක ලෙසද කටයුතු කරන නිසාය. හර්ෂිකා හෝ හර්ෂි යන නාමයට වඩා බොහෝ දෙනා ඇය හඳුනන්නේ ‘නපුරු මාලා’ නමිනි. ප්‍රියන්ත කොළඹගේ නාට්‍ය නිර්මාණයක් වන විකාශය වූ ‘සකූගේ කතාව’ සහ අද විකාශය කෙරෙන ‘සකූගේ ලෝකයෙන්’ හමුවන හර්ෂි සමග අපි පිළිසඳරකට එක්වෙමු. 

• මුලින් සකූගේ කතාව, දැන් සකූගේ ලෝකය. ආයෙත් පෙරටත් වඩා නපුරු වෙලා. 

ඔව්. ඒ කතාව ඉවර වුණේ  රංජි (මගේ සැමියා) මැරෙනවා. ඊට පස්සේ මාලක (සකුගේ තාත්තා) ගෙදර එනවා. එයා ආර්ථික අතින් හයියක් වේවි කියලා හිතුවට එහෙම වෙලා නැහැ. මාලකත් අසනීපයෙන්. ඒ නිසා පවුලේ බර අදින්න වෙලා තියෙන්නේ මාලාට. මේ ඔක්කෝම හේතු නිසා තමයි මාලා තවත් නපුරු විදියට එන්නේ. වළං විකුණලනෙ ඇය පවුල නඩත්තු කරන්නෙ. මාලක ආ නිසා තමයි රංජි නැති වුණේ කියන එකත් මාලා හිතන දෙයක්. 
‘උඹ තමයි මගේ මිනිහා මරා ගත්තෙ’ කියලා ඇය කියන්නෙ ඒකයි. 

• මේ නපුරු මාලාට ලැබෙන ප්‍රතිචාර කොහොමද? 

නිළියක ලෙස ලැබෙන ප්‍රතිචාර නිසා ලොකු සතුටක් තියෙන්නෙ. ඒකට හේතුව තමයි හම්බවෙන හම්බවෙන අය බනින එකයි. 
‘මේ ගෑනිට නම් හොඳක් වෙන්න එපා.’
‘මේ ගෑණි සල්ලි පෙරේතියක්.’ 
‘මේ ගෑණි මහ එපා කරපු ගැහැණියක්’ කියලයි සමාජ මාධ්‍යයේ ප්‍රතිචාර පවා දකින්නේ එහෙමයි. සමහරු නම්බර් එක හොයාගෙන කෝල් කරනවා. එතකොට කියන්නේ ඔයා ඒක හොඳට රඟපානවා කියලයි. මාව දන්න මගේ යාළුවෝ මට මාලා ලෙස රඟපාන කොටස් (විඩියෝ) අරගෙන බෙදාහදා ගෙන එවනවා. ඒ වගේම මේක්අප් එකෙන් මෙච්චරට මාව කැත කළේ කොහොමද කියලත් අහනවා. ඒ තරමට ‘මාලා’ව කෙස් ගහේ ඉඳලා හදලා එළියට දාලා තියෙන්නෙ. මේක්අප් කරන සංජය නිපුණආරච්චි ඒක හරි අපූරුවට කරනවා. 

• නපුරු මාලා වූ හර්ෂිකා කොහොමද සැබෑ ජීවිතේ? 

ලෝක වසංගතය එක්ක ඒ ස්වභාවය යටතේ හැමෝටම වගේ සාමාන්‍ය ජීවිතයක් ගෙවන්න මටත් බැහැ. ඔන්ලයින්වලින් තමයි රාජකාරි වැඩ. නිතර දකින්නෙ එකම රූප. මම නම් හරියට ඉන්නෙ තුෂ්නිම්භූත වෙලා වගෙයි. මේක ඉක්මනට ඉවර වෙනවා නම් හොඳයි. 

• කියමු ඔබගේ ප්‍රධාන වෘත්තිය ගැන? 

මගේ ප්‍රධාන වෘත්තිය වන්නේ ගුරු වෘත්තියයි. නාට්‍ය හා රංග කලා අංශයේ ගුරුවරියක ලෙස කඩවත මහාමායා බාලිකාවේ උගන්වනවා. ඊට අමතරව කැලණිය හා පේරාදෙණිය සරසවියේ බාහිර කථිකාචාර්යවරියක ලෙස කටයුතු කරනවා. 

• පාසලේදී ඉගැන්වීම් සහ සරසවියේදී දේශන දීම, කොහොමද ඒ අංශ දෙක දකින්නේ? 

මගේ වාසනාවට මගේ වෘත්තියයි විනෝදාංශයයි එකක්. මම නටන්න, රඟන්න ආසයි. ඒකම තමයි මගේ වෘත්තියට කරන්න තියෙන්නේ. පාසලේදී උසස් පෙළට උගන්වන්නෙ. ඊළඟට සරසවියට. ඒ නිසා තරුණ එක ළඟ වයස් කාණ්ඩ දෙකක පිරිසක් මට හමුවෙන්නේ. 

• වඩා ආස සරසවි කාණ්ඩයටද? පාසල් කාණ්ඩයටද? 

ඒ දෙකේ සංස්කෘති දෙක වෙනස්. ඒත් හැබැයි ඒ සිටින වයස් කාණ්ඩය 18 සිට 25 වගේ පිරිසක්. ඒ වුණත් ඒ අතරින් පර්යේෂණ මට්ටමින් යමක් කිරීමේ වැඩි ඉඩකඩ තියෙන්නේ සරසවියෙ. ඒ නිසා ඒ අවකාශයට මම ආසයි. ඒත් අද වනවිට සරසවිවලින් පර්යේෂණාත්මක දේ කරන විද්‍යාර්ථයෙක් බිහි කිරීම සිදුවනවාද කියන ගැටලුව මට තියෙනවා. 

• අපි ආපහු ටෙලි තිරයට එමු. මේ ‘මාලා’ තුරුණු ආදරණීය චරිතයක් රඟපාන්න කැමති නැද්ද? 

මම ආසයි. ඇයි නැත්තේ. මම එක් රාමුවකට කොටුවෙලා නැහැ. පිටපත කියවලා ඒ වැඩ කරන අධ්‍යක්ෂවරයා කවුද කියලා බලලා ඒ අනුව විවිධ චරිත රඟපාන්න ආසයි. 

• සකූගේ කතාවෙන් පසුව ඒ වගේ ආදරණීය චරිතවලට කතා කළේ නැද්ද? 

ධනුෂ්ක රත්නායකගෙ ‘හේලි’ නාට්‍යයේ රඟපෑවා. මේ මාලාට වඩා වෙනස්. ඒත් ඒකත් නපුරු චරිතයක්. 

• ඔබගේ හිතේ මැවිච්ච චරිත තියෙනවද, ආසාවෙන් ඉන්න? 

එහෙම මවාගන්න බැහැ. ඒත් පිටපතකින් රඟපෑමේ ධාරිතාව උපරිමයෙන් මතුවෙන චරිත ලියැවෙනවා නම් මම හරි ආසයි. සකුගේ කතාවෙන් පස්සේ චිත්‍රපට දෙකක සහ තව ටෙලිනාට්‍ය දෙකක රඟපාන්න ලැබුණා. ඒවා ධනුෂ්ක රත්නායක සහ ගයාන් දිනේෂ්ගෙ නිර්මාණ. දැන් සකුගේ ලෝකයෙන් පසුව තව චිත්‍රපටයක රඟපෑමට ආරාධනා ලැබුණා. ප්‍රියන්ත කොළඹගේගේ ‘මන්ද‌ාරා’ සහ ක්‍රිෂාන්ත මනම්පේරිගේ ‘හිතුමතේ ජීවිතේ’ ඒ චිත්‍රපටයි. 

• හර්ෂි ඇත්තටම කොයි වගේද? 

සාමාන්‍ය කාන්තාවක්. අනෙක් හැමෝම වගේ දුක, සතුට, හැඟීම් දැනෙන හරි සාමාන්‍ය මනුෂ්‍යයෙක්. 

• බොහෝම ආදරණීය චරිතයක්? 

ඒක මට කියන්න අමාරුයි. ඒක අනෙක් අයට දැනෙන දෙයක්. හැබැයි මාව ප්‍රතික්ෂේපිත තැන්වල මම ඉන්නෙ නැහැ. ඒ වෙනුවට මට සතුටින් ආදරෙන් ඉන්න පුළුවන් තැන් හොයා ගන්නවා. හැබැයි ඒක හැමෝටම කරන්න බැහැ. ඒකට පොඩි හයියක් තියෙන්න ඕනෑ. 

• ඒ කියන්නේ ජීවිතේ තීරණ ගන්න හයියක් තියෙන්න ඕනෑ? 

ඔව්, අපි නිතරම මේ ලෝකෙට ආ පසු පිරිසක් එක්ක ජීවත් වෙන්න උත්සාහ ගන්නවනෙ. එතකොට ඒ පිරිසත් එක්ක ජීවත් වෙද්දි තමන්ව සතුටු කරවන්න පුළුවන් තීරණ ගන්න හයියක් තියෙන්න ඕනෑ. 

• සාමාන්‍ය කාන්තාවක් ලෙස ඉවුම්-පිහුම් කලාව මොන වගේද? 

මම උයන්න ගොඩක් වෙලා ගන්නෙ නැහැ. හැබැයි කන අය නම් කියන්නේ මම උයන ඒවා රහයි කියලයි. ලොකු වෙලාවක් අරගෙන උයන්න කැමැති නැහැ. 

• හර්ෂි ස්පෙෂල් මොනවද? 

සමහර වෙලාවට මම හදන්න පටන් ගත්ත එක නොවෙයි හදලා ඉවර වුණාම එන්නෙ. වම්බොටු මෝජුව නම්, අන්තිම එක ව්‍යංජනයක්, කරියක්. ඒ නිසා නම් කියන්න බැහැ. බිනරි සහ කිනරි දූලා දෙන්නා නම් කියන්නෙ මගේ පැස්ටා එකට ගහන්න පැස්ටා එකක් නැහැ කියලයි. 

• ඇත්තම කියන්න. ගුරුවරියක්, බාහිර කථිකාචාර්යවරියක්, රංග ශිල්පිනියක්, මවක් වන ඔබගෙ රසවින්දනය මොන වගේද? 

මෙහෙමයි කියලා විග්‍රහ කරන්න බැහැ. චිත්‍රපට ඕනෑම එකක් නරඹනවා. ඕනෑම ගීතයක් අහනවා. සරසවියෙ විෂය පථයට අදාළව සහ ඊට එහා ගිය විවිධ පොතපත පරිශීලනය කරනවා. හැබැයි එකක්, බතික් සාරි අඳින්න මාර ආසයි. 

• හේතුව? 

මට හිතෙනවා මට ඒක ලස්සනයි කියලා. ඒ වගේම ඒක හරි පහසුයි. මගේ රසවින්දනය ගැන කෙටියෙන්ම කිව්වොත් මාව තෘප්තිමත් කරන ඕනෑම දෙයක් අහනවා, දකිනවා, බලනවා. 

• හර්ෂිට ජීවිතේ දැනෙන්නෙ කොහොමද? 

යාම්-ඊම් විතරයි කියලා තමයි දැනෙන්නේ. එනවා-යනවා. ඒ අතරෙදි බොහෝ දේ අත්පත් කරගන්න උත්සාහ ගන්නවා. ආදරය පවා එහෙමයි. අන්තිමට ඒ ඔක්කොම තියලා යන්න එපායැ. ඒක නිසා අතිශය සතුටු වෙන්නවත් අහිමිවන දේ ගැන අතිශය දුක් වෙන්නවත් මම කැමති නැහැ. 

සඳුන් ගම​ගේ