පුරා හඳ ගිය පසුව - ප්‍රදීපා ධර්මදාසගේ හඬින් එන අලුත්ම ගීතය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කේ.එච්. ආරියද‌ාස, ගාල්ලේ කරාපිටිය රෝහලේ ශ්‍රවණවේදියකු ලෙස සේවය කරමින් සිටියේය. දිනක් ඔහු හමුවට පැමිණි රෝහල් කාර්යාලයේ සේවිකාවක ඔහු ඉදිරියේ වාඩි වූවාය. 
“මිස්ටර් ආරියදාස මේ වෙලාවේ වැඩකද ඉන්නෙ?”
කාන්තාව ඇසුවාය.
බැලූ බැල්මටම ඇය සිටින්නේ කිසියම් චිත්ත පීඩාවකින් බව ආරියදාස වටහා ගත්තේය. 
“නෑ මිස්. කතා කරන්න පුළුවන්.” 
යෙදී සිටි කාර්යය මොහොතකට නතර කළ ඔහු කීවේය.
“මම ඉන්නෙ චිත්ත පීඩාවක. මං අහල තියෙනවා මිස්ටර් ආරියදාස හුඟාක් අයට උදව් කරනවා කියලා. මට මේ වෙලාවේ හිතේ පීඩාව කා එක්ක හරි කියාගන්න ඕනෑ.”
කාන්තාව කීවාය.
“ප්‍රශ්නයක් නෑ මිස්. කියන්න.”
ආරියදාස ඇය ඉදිරියේ හරි බරි ගැසෙමින් කීවේය.
කාන්තාවගේ දෑසේ සිහින් කඳුළක් මෝදු වී තිබිණි. 
“මම පුංචි කාලේ ඉඳලම හොඳට සැප පහසුවට ජීවත් වුණා. මගේ අම්මා තාත්තා මාව හොඳින් බලාගත්තා. අවුරුදු විසිදෙක වෙනකොටම මට හොඳ කෙනෙක් හොයන්න ගත්තා බන්දලා දෙන්න. අන්තිමේදී ස්කෝලෙ මහත්තයෙක් තමයි මට යෝජනා වුණේ. පොරොන්දම් බැලුවාම පොරොන්දම් ද‌ාසයක්ම ගැලපුණා. පොරොන්දම් ගලපපු ගුරුන්නාන්සේ කිව්වේ බොහොම හොඳට ගැලපෙන ජෝඩුවක් කියලා.
අපේ විවාහය සිද්ධ වුණා. මගේ තාත්තා මට ලස්සන ගෙදරකුත් හදලා දුන්නා. අපි දෙන්න සන්තෝසෙන් ජීවත් වුණා. පුතෙකුත් හම්බ වුණා. ඔහොම අවුරුදු හයක් විතර ගෙවිලා ගියා. මගේ මහත්තයා හැමදාම රාත්‍රියට මගේ මොකක් හරි වරදක් හොයාගෙන මට බනින්න පටන් ගන්නවා. ඒ වෙලාවට මාත් එයා කියන ඒවට උත්තර දෙනවා. දවසින් දවසම මේ තත්ත්වය වර්ධනය වුණා. අන්තිමේදී මේක මට මහ පීඩාවක් වුණා. දවස ගෙවෙන වෙලාවට මට නොසන්සුන්කමක් දැනෙන්න ගන්නවා. අදත් රෑට මහත්තයා බනින්න ගනීද කියන සිතුවිල්ල හිතට එනවා. 
බැරිම තැන මම කිව්වා ‘මේ විදිහට අපි දෙන්නට එක වහලක් යට ජීවත් වෙන්න බෑ, අපි ඩිවෝස් වෙමු’ කියලා.
මහත්තයා එක පාරටම ‘හා ඒක හොඳයි’ කියලා කිව්වා. අන්තිමේදි අපි ඩිවෝස් වුණා. මායි පුතයි මගේ ගෙදර තනිවුණා. මහත්තයා එයාගේ මහගෙදරට ගියා.
මම වැඩ ඇරිලා ගෙදර යනකොට ගෙදර තියෙන්නේ පාළුවක්. පුතා අම්මලගෙ ගෙදර. මහත්තයා ගුරුවරයෙක් නිසා වෙනදට මං ගෙදර යනකොට එයා මඟ බලන් ඉන්නවා මං එනතුරු. ඒ ලස්සන අතීතයේ මතක අතරෙ මං තනිවුණා. වෙනදා මහත්තයයි මායි වාඩිවෙන පුටු දෙකක් තිබුණා ගේ ඉස්සරහ. මම ඒ පුටුවෙ වාඩිවෙලා බලා ඉන්නකොට මට තනිකමක් චිත්ත පීඩාවක් දැනෙනවා. තාත්තා කියනවා ආයෙම බඳින්න කියලා. නමුත් මම තාම අවිනිශ්චිතව ඉන්නවා. මට හිතාගන්න බැහැ අපි දෙන්නට මොකද වුණේ කියලා. එයාට රෑට වැහෙන යකා මොකාද කියලා මං තාම හිතනවා. සතිඅන්තෙ දවස්වල එයා ගෙදර ඇවිත් පුතාව බලලා යනවා. මමත් තේ හදලා දෙනවා බත් උයලා දෙනවා. එයා වගේ වගක් නැතුව කාල බීල මා එක්කත් හොඳින් කතා කරලා යනවා. මං මොකක්ද කරන්නෙ මිස්ටර් ආරියදාස...?”
කාන්තාව ඇගේ දීර්ඝ කතාවට විරාමය තබමින් ඇසුවාය.
“ඔය දෙන්නා අතර කායික ප්‍රශ්න මුකුත් තිබ්බද මිස්?”
ආරියදාස ඇසුවේය.
“නෑ කිසිම ප්‍රශ්නයක් තිබ්බෙ නෑ.”
“එහෙමනම් ඔයාලට තිබ්බා මනෝ වෛද්‍යවරයෙක් හමුවෙලා උපදෙස් ගන්න.”
“මටත් දැන් හිතෙනවා එහෙම නොකළෙ අපරාදේ කියලා.”
කාන්තාව නික්ම ගියේ එසේ කියමිනි.
මේ සිද්ධිය ආරියදාසගේ හිතට වදයක් විය.
උපන් කවියකු වූ ඔහු සිය නිර්මාණ පුවත්පත්වලට යොමු කළේය. ඔය අතර ඔහුට අවශ්‍ය වූයේ ගීතයක් ද නිර්මාණය කරමින් ගීත රචකයකු ද වීමටය. ඔහු තම නිර්මාණය රැගෙන රත්න ශ්‍රී විජේසිංහ හමුවන්නට ගියේය.
නිර්මාණය කියවා බැලූ රත්න ශ්‍රී, එහි ඇතැම් පද උඩ යට මාරු කරමින් වඩාත් රසවත් නිර්මාණයක් බවට පත් කර ගීතය යොමු කළේ කපිල අපරැක්ක නම් සංගීතඥයා වෙතටය.
“අපි කාටද මේක ගායනා කරන්න දෙන්නෙ?”
ආරියද‌ාස, රත්න ශ්‍රීගෙන් ඇසුවේය.
“ප්‍රදීපා ධර්මදාස.”
රත්න ශ්‍රී යෝජනා කළේය.
අනතුරුව ආරියදාස, ප්‍රදීපා ඇමතුවේය.
ගී පද රචනය කියවා බැලූ ප්‍රදීපා එය ගයන්නට කැමැත්ත පළ කළාය.
ශ්‍රාවකයා කම්පාවට පත් කරන ගීතයක් බවට මේ ගීතය පත්ව ඇත්තේ ප්‍රදීපාගේ හැඟුම්බර ගායනය නිසා බව මට සිතේ.

ශාන්ත කුමාර විතාන