‘පුරහඳ පෑව්වාම’ හැංගුණු ඉනෝකා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රියයාන කියනු මැන
ප්‍රේමයේ ඉවුරු බිඳ ගලනා
සැඩ පහර මැද කොතැනකද
අපි තනිවුණේ?
ප්‍රවීණ ගේය පද රචක සුනිල් ආර්. ගමගේ ලියූ මේ ගීතය ගයන්නී ගායිකා ඉනෝකා අහංගමය.
‘ඔය ඉනෝකා කියන්නෙ, තුරුණු ශක්ති දෙවැනි වටයෙන් ලංකාවෙන්ම පළමුවෙනියා වුණු ගායිකාව. ඒත් එයා අපි බලාපොරොත්තු වුණු තැනට ගියේ නැහැ.’
සුනිල් ආර්. ගමගේ මා සමඟ කීවේ වරක් දෙවරක් නොවේ
‘ඒ වගේමයි එයා ගීත මහා ගොඩක් කියලත් නැහැ. මම මේ ගීතය ඉනෝකාට දෙන්න එක හේතුවක් වුණෙත් ඒක.’
සුනිල් ආර්. ගමගේට මේ කැක්කුම ඇතිවන්නට සාධාරණ හේතුවක් තිබේ. තුරුණු ශක්තිය පිටුපස සිටිමින් ගායකයන් ගායිකාවන් මෙන්ම සංගීතඥයන් ද ගී පද රචක රචිකාවන් ද රටට ද‌ායාද කරන්නට අපමණ වෙහෙසක් ගත්තේ ඔහුය. ඒ නිසාම තුරුණු ශක්තිය හරහා මතු වූ තරුණ තරුණියන්ට අප්‍රමාන  දයාවක් ද ආදරයක් ද ඔහුගේ පුංචි හදවතේ තිබේ.
ඉනෝකා අහංගම සඳැල්ල පිටුවකට කැඳවන්නට හේතුවක් වූයේ ද මේ කියූ සුනිලුන් මය.
ඉතිං මං ඉනෝකාට දුරකථන ඇමතුමක් දුනිමි.
අයියේ, මං රෙදි වගයක් මහනවා.’ දැන් අපිට තිබුණු වැඩ ඔක්කොම වගේ නතර වෙලානෙ. ධම්මික බණ්ඩාර අයියා ආපහු රසවින්දන වැඩසටහන් වගයක් පටන් අරන් තිබුණේ. ඒත් මේ කොවිඩ් තුන්වැනි රැල්ලත් එක්ක ඒ ඔක්කොම නතර වුණානේ.
ඉනෝකා කීවාය.
මේ ඉනෝකා උපන්නේ මහනුවර මැණික්හින්නේය. ඒ නිසාම ඇය උගත්තේ මහනුවර ස්වර්ණමාලී බාලිකාවේය. පුංචි දවස්වල සිටම පද්‍ය ගායනා කිරීමට යොමුවූ ඇය කඳුරට සේවය සංවිධානය කළ ආධුනික ගී ගායනා තරගයට සහභාගි වුණේ ඇගේ වයස අවුරුදු අටක්ව තිබියදීය.
ඒ තරගෙට මාව එක්කගෙන ගියේ මගේ අම්මා. ඒත් මං ගියේ කැමැත්තකින් නෙවෙයි. කොහොම හරි යද්දී මං අම්මට කිව්වා මට බෝනික්කෙක් අරන් දෙනව නම් විතරයි සිංදු කියන්නේ කියලා. අනේ ඉතින් අම්මා, රුපියල් 85 ක් දීලා මට අඬන බෝනික්කෙක් අරන් දුන්නා.
මං කඳුරට සේවයට ගියා. තරගෙට ළමයි දහස් ගණනක් ඇවිත් හිටියා. මං කියන්න ගියේ ඔබෙ දෙපා දොවා බැතියෙන් කියන චන්ද්‍රලේඛාගේ සිංදුව. ඒත් මට කලින් ඒක වෙනකෙනෙක් කිව්වා. පස්සේ මං කිව්වේ හන්දියේ හිටගෙන අත දික්කරනා පොලිස් හාමිනේ කියන සිංදුව. කොහොම හරි ඒ තරගෙන් මං පළමුවෙනියා වුණා. මට වැඩියෙ වයස අයියලා අක්කලා පරද්දන්න එද‌ා මට පුළුවන් වුණා.
ඔය වෙලාවෙ කඳුරට සේවයෙ වැඩ කරන මාලා වජිරා පෙරේරා ඇන්ටි මාව දැකලා ඇවිත් මා එක්ක කතා කළා. පස්සෙදි ඒ ඇන්ටි, එයාගෙ බෝඩිමේ මාව නතර කරගෙන, මට කවලා පොවලා පවා කඳුරට සේවයේ වැඩසටහන්වලට එක්ක ගෙන ගියා. 86 අවුරුද්දෙදි මාව කොළඹ ගුවන් විදුලියට හඳුන්වල දුන්නේ ඒ ඇන්ටිම තමා. පස්සෙ එයාගෙ දුව සිතාරා පවිත්‍රානි එක්ක මට යුග ගීතයක්  කියන්නත් අවස්ථාව දුන්නා.’
ඉනෝකා කියාගෙන කියාගෙන යයි.
මොකක්ද ඒ සිංදුව?
මම ඇයට පුංචි බාධාවක් කළෙමි.
සම්මා සම්බුදු සරණින්
දුක් දොම්නස් මැකී යන්න
සාමය යටගිය රජ වී
 සියලු සතුට සෙත හැදෙන්න.
ඊට පස්සෙ?
මම යළිත් ඇයට කතා කරන්නට ඉඩ හසර සලසා දුනිමි.
හඳමාමා, ළමාපිටිය වගේ වැඩසටහන්වලටත් සම්බන්ධ වුණා. ළමා පිටියෙ සරත් විමලවීර මාමා මාව හඳුන්වල දුන්නෙ කන්දඋඩරට ළමා ගායිකාව කියලා.
ඉනෝකා, කෙමෙන් ලොකු මහත් වී යුවතියක වූවාය. ඇය සරල ගී පරීක්ෂණයට සහභාගි වන්නේ වයස අවුරුදු 16 දීය.
එද‌ා මට ගීත තුනක් කියන්න සිද්ධ වුණා. මයික් එකයි මායි විතරයි පුංචි කාමරේ හිටියේ. විනිශ්චය මණ්ඩලය හිටියේ තිරෙන් එහා. කොහොම හරි එද‌ා මට ‘බී’ ශ්‍රේණිය හම්බවුණා. මං පස්සේ දැනගත්තෙ විනිශ්චය මණ්ඩලයේ හිටියේ අමරදේව සර් සහ ගුණද‌ාස කපුගේ සර් බව.
ඊට වසරකට පසුව ඉනෝකා ඒක පුද්ගල ගී ප්‍රසංගයක් පැවැත්වූවාය. ඒ මහනුවර නිර්මාණ කලා කවයේ සංවිධායකත්වයෙනි.
එද‌ා බණ්ඩාර අතාවුදයි, දේවානන්ද වෛද්‍යසේකරයි ආරාධිත ගායකයන් විදිහට සහභාගි වුණේ. මම මගේ අලුත් සිංදු කීපයකුත් එද‌ා ගායනා කළා.
ඉනෝකා කියයි.
මේ කාලයේදී ඉනෝකා සංගීතය හැදෑරීමට ද යොමු වූවාය. ඒ කලා භූමියෙන් සහ විශාරද නන්ද‌ා මාලිනීයගේ සංගීත ආශ්‍රමයෙනි.
මම උසස් පෙළට ඉගෙනගත්තෙ වාණිජ විෂයයන්. ඒත් සංගීතයට තිබුණු කැමැත්ත හින්දද කොහෙද මට ඒ ලෙවල් පාස් වෙන්න බැරිවුණා. අම්මලාට  ඕනැ වෙලා තිබුණෙ මාව භාත්කාණ්ඩේ යවන්න. ඒත් ඔය අතරෙ බෙල්වුඩ් එකට ගන්නවා කියලා පත්තරේ දැන්වීමක් ද‌ාලා තිබ්බා. මම ඒකට ඇප්ලයි කළා. හේතුව වුණේ චන්ද්‍රලේඛාට මගේ තිබුණු අප්‍රමාණ කැමැත්ත.
බෙල්වුඩ් එක මට වාසනාව ගෙනාවා. නිහාල් ගම්හේවා සර් මාව සංදර්ශනවලට පවා දැම්මා. මං හුඟාක් කීවේ හින්දි ගීත.
ඉනෝකා, බෙල්වුඩ් රූපවාහිනී ගම්මානයේ  වසර තුනක් ගත කළාය. ඒ වසර තුන ඇයට සංගීත දැනුම. ගායන කුසලතාවය මෙන්ම ජනප්‍රියත්වය ද නොඅඩුව ලබා දුන් කාලයක් විය. ඇය මහරගම තරුණ සේවා සභාවේ ‘‘සහස්රා’ සංගීත කණ්ඩායමට එක්වන්නේ අනතුරුවය.
‘සහස්රා’, පටන්ගත්තෙ නිහාල් ගම්හේවා සර්. ඒ කණ්ඩායමේ නිත්‍ය ගායිකාව වුණේ මම. තුරුණු ශක්තියට ප්ලේ කලෙත් මේ කණ්ඩායමමයි.
කොහොම හරි ‘සහස්රා’ නතර වුණාට පස්සේ මම ‘තුරුණු ශක්ති’ යට ඇප්ලයි’ කළා.
ඉනෝකා අහංගම, තුරුණු ශක්තියේ දිස්ත්‍රික් තරගයෙන් පළමුවෙනියා ද පළාත් තරගයෙන් දෙවැනියා ද ජාතික තරගයෙන් පළමුවෙනියා ද ලෙස ජයග්‍රහණය ලැබුවාය.
 ඒක මගෙ ගමනෙ හැරවුම් ලක්ෂ්‍යයක් වුණා.
 ඉනෝකා සතුටින් කියයි.
හැබැයි මම දිනලා පැත්තකට වෙලා හිටියා. සිංදු කරන්න මහන්සි වුණේ නැහැ. ඒක මගෙ දුර්වල කමක් වෙන්න ඇති. ඒත් ඒ මගෙ හැටි.’
එතකොට ඉන් පස්සෙ සංගීතය ඉගෙන ගැනීමත් පැත්තකට දැම්මද මම අසමි.
 නෑ.... මම ගම්හේවා සර්ගෙ පන්තියට ගියා. දර්ශන වික්‍රමතුංග, ශෂිකා නිසංසලා එහෙමත් ඔය පන්තියට ආවා. ඒත් ශෂිකා කැම්පස් තේරුණාට පස්සෙ, පන්ති ඒම නතර කළා. 
ඔය කාලෙ සර් තමයි මට කිව්වේ ඉනෝකා සිංදුවක් කරන්න කියලා. සර්ම සිංදුව ලියලා සර්ම තනු නිර්මාණය කරලා මට ප්‍රැක්ටිස් කෙරෙව්වා. ඒත් ඒ සිංදුවෙ සර් ලියලා තිබුණු වචන එකක්වත් මට කියාගන්න බැරිවුණා. පස්සේදි සර්, කොළයක් අරගෙන සිංදුවෙ වචන වෙනස් කරලා දුන්නා.
රන්වන් විමන් සිඳ දමා ඈත පාවී කියන ඒ සිංදුව ඒ කාලෙ හුඟාක් ජනප්‍රිය වුණා.
 එතකොට ඉනෝකා ගී එකතුවක් සී.ඩී. පටයක් කළේ නැද්ද?
 මම ඇසිමි
එකල බොහෝ ගායකයන් ගායිකාවන් මතුවූයේම කැසට්පට වලින් සහ සී.ඩී. පටවලිනි. සී.ඩී. පටයක් කර ගුවන් විදුලි නාලිකාවලට ලබාදුන් විට බොහෝ විට ඉන් ගීයක් හෝ කිහිපයක් ජනප්‍රිය විය.
 පුරහඳ පෑව්වාම
ඉනෝකා මගේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නාය.
පුරහඳ පෑව්වාම
ඉරබටු තරුව මතක නැතිවුණාද
අරුණෝදයට පසුව
නුඹේ හිතින් පහන්තරුව බැස ගියාද?
ඉනෝකා තාලයට ගායනා කළාය.
 ඔය සිංදුව ලිව්වේ රත්න ශ්‍රී විජේසිංහ. සංගීතවත් කළේ රෝහණ වීරසිංහ
පුරහඳ පෑව්වාම ගීතය ටික කලක් රේඩියෝවල වාදනය වුවද, පසුව අමාවක අහසේ සැඟව ගියෙන් පසුපස හඹා නොයෑමේ පුරුද්ද නිසාම ඉනෝකා ද පැත්තකට වී සිටියාය.
යළිත් ඇය ගැන කතාබහක් ඇතිවන්නේ යශෝධරා චිත්‍රපටයේ ගැයූ නරසීහ ගාථා නිසාවෙනි.
2018 අවුරුද්දෙ සිග්නීස් සම්මාන උළෙලෙ හොඳම පසුබිම් ගායනයට හිමි සම්මානය මට ලැබුණෙ ඒ නරසීහ ගාථා ගායනා කිරීමට. ඒක තමයි මගේ ජීවිතේ දෙවැනි හැරවුම් ලක්ෂ්‍යය. එතැනින් පස්සෙ මම සිහිනයකි රෑ වැඩසටහන් තුනකට ආරාධනා ලැබුණා. ඒ වගේම නැවත වතාවක් මං ගීත කිහිපයකුත් ගායනා කළා. පාලිත කළුබෝවිල අයියා ලියපු ගීත තුනක්, සුනිල් ආර්. ගමගේ සර් ලියපු ගීතය ඇතුළුව වරක් සඳැල්ලේ ‘ගී උල්පත’ විශේෂාංගයට ද ඉනෝකා ගැයූ පාලිත ලියූ ගීතයක් එක්කළ බව මට මතක් වූයේය.
දැන්වත් ඉතින් අලුතින් ගීත ටිකක් කරලා ඉස්සරහට යන්න පටන්ගන්න.
මම ඉනෝකාට පැවසීමි.
හැමෝම කියනවා. ඒත් මට බැරිම දේ ඒක.
ඇය සුපුරුදු සිනාව පෑවාය.
නතර වී තිබූ මහණ මැෂිමේ හඬ මට යළිත් ඇසෙන්නට විය.

ශාකුවි