පළමු ‘ස’ ප්‍රසංගය බලන්න ගාල්ලේ ඉඳලා කොළඹ ආවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වසම්!
වසම වසම පසුවේ.
උදෙන්ම පිටත් වූ ගමන කෙළවර වනවිට ඉර බටහිර අහසට සේන්දු වී සිටියේය.
මට ‘වසම්’ හමුවිය.
දෙවුන්දර තල්පාවිල පාර දිගේත් කිලෝ මීටර් එකහමාරක් පමණ දුරක් ගමන් කළ පසුව හමුවන පොල්ඉන්දුහේනේ සුන්දර කුඹුරුයාය අද්දර ඔහුගේ නිවෙස පිහිටා තිබිණි.
කඩවසම්
නානායක්කාරවසම්.
එහෙත් මා ඔහුට හැමදාමත් කතාකරන්නේ බන්දුල කියාය.
ඔහුට වසම් කීයක රාජකාරි ඇද්දැයි මම නොදනිමි. නොසොයමි. මට අවශ්‍ය ඔහු ගී ලොව තැබූ මතක සටහන් විමසමින් මේ හැන්දෑව ගත කිරීමටය.
‘මහන්සිද?’
‘ඔහු අසන්නේ ලෙංගතුවය’
තැඹිලි වතුර වීදුරුවක් ගෙනැත් පසෙකින් තැබූ ඔහුගේ මුහුණේ සිනාව හැමදාමත් තිබූ ලෙංගතු සිනාවමය.
‘ඉතින්..?’
ඔහුම විමසයි.
සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අබිමන්
නොහඬා ඉන්නම් ගිලිහුණු දා පෙම්ලොව මල්දම්....
දුටුව නිසා ආදරයේ දෙව්රුව ඔබගෙන් මම්.
නිරෝෂා විරාජිනියට ගයන්නට ලියාදුන්, 
විසිරුණු මල් පෙති දෝතට ගත් තුනුවී
ඒ පෙති එක්කර මලක් සොයන බොලඳී
සරදම් නොකරමි ආදරයෙන් කියමී
විසිරුණු පෙති යළි මලක් නොවේ නැගෙනී.
අතුල අදිකාරිට ගයන්නට ලියාදුන් ගීත රචකයා ඔහු බැවින් කතා බහ කොතැනින්  කොහොම පටන් ගන්නදැයි මට සිතාගත නොහැක.
රෑ ඉර පානත් දහවල සඳ පානත් දෙකම ඔහු ළඟය.
මම නිමිත්තක් සොයමින් 
එ​ෙකල මෙ​ෙකල වෙමි
මුහුදට ගොඩක් දුරද?
අන්තිමේදී මම ඇසීමි.
ඇයි මුහුද බලන්න ඕනෑද?
ඔහු ඇසීය.
ඉන්නෙ දෙවුන්දර කිව්වාම මට හිතුනා ඉර හැංගෙන හැන්දෑව වෙරළෙම ගෙවාගන්න පුළුවන් වෙයි කියලා.
එන්නකො එහෙමනම්.
ඔහු නිවෙසින් එළියට බැස්සේය.
මා ඔහුගේ පිටුපසින් ඇවිද යමි. 
ඔහුගේ ගමන කෙළවර වූයේ වත්තේ පසෙක වූ තරමක කඳු ගැටයක් මුදුනෙනි. එතැනට අපූරුවට මුහුද පෙණිනි. මුහුදත් අහසත් එකිනෙකා වැළඳගත් සිතිජයද පෙනිණි.
අපි මෙතනම ඉඳගෙන කතාකරමුද?
මම බන්දුලගෙන් අසමි.
ඔයාගේ කැමැත්තක්.
මුහුදට මුහුණලා කඳු ගැටය මතින් වාඩිවුණු මම කතාබහ ඇරඹීමි.
පුංචිම කාලෙන් පටන් ගම්මු.
කොහොමද ගීතයට කවියට කැමැත්තක් ඇති වෙන්නෙ....?
මගේ මාමා ළඟ රේඩියෝවක් තිබුණා. ඒ කාලෙ රේඩියෝ එකක් කියන්නෙ දුර්ලභ වස්තුවක්. වයර්වලින් වැඩකරපු මේ රේඩියෝව ළඟ තමයි මගෙ පුංචි කාලෙ ගෙවුණෙ.

ඒ කාලෙ ජනප්‍රියම නිවේදකයා කරුණාරත්න අබේසේකර. ජනප්‍රියම ගායකයා එච්.ආර්. ජෝතිපාලයි. මිල්ටන් පෙරේරායි. ජනප්‍රියම ගුවන් විදුලි වැඩ සටහන් අසන්නන්ගේ ඉල්ලීම්, ඊ.එච්. කුරේ ගීතධාරා, මැලිබන් ගුවන් තොටිල්ල.
මේ දේවල් එක්ක මම ගුවන් විදුලියට වසඟ වෙලා හිටියෙ.
එතකොට මගේ ස්කෝලෙ සිංහල ගුරුවරයා බණ්‍ඩාර සර්.
වික්ටර් රත්නායක 
සකුරා මලි පිපිලා ගීතය
ඔන්න ඔය හතර නිසා තමයි මම ගීත රචකයෙක් වෙන්නෙ.
බන්දුලගේ උත්තරයම ප්‍රහේළිකාවකි.
මම මුවින් නොහඬා මදහසක් ඇතිව ඔහු දෙසම බලා හිඳිමි. ප්‍රහේළිකාව ඔහුම විසඳනු ඇත.
එක දවසක් උදේ මට ඇහෙනව නන්දා මාලිනියගෙ
සකුරා මල් පිපිලා
හරි පුදුමයි
ගේ දොරකඩ නිල් වන උයනේ
සිංදුව....
ඒත් මට මේ සිංදුව තේරෙන්නෙ නැහැ. මගෙත්තෙක්කම ලොකු අක්කත් ඒ සිංදුව අහගෙන සිටියා.
මොකක්ද අක්කෙ ඒ සිංදුව මට තේරෙන්නෙ නෑ.
මං අක්කගෙන් ඇහුවා.
ඒ සිංදුව ලියලා තියෙන්නෙ විකාර රූපී ශෛලියෙන්.... ඒකයි ඔයාට නොතේරෙන්නෙ. නියම තේරුම තියෙන්නෙ කියන දෙයින් අනිත් පැත්තෙ...
අක්කාගෙ උත්තරෙත් මට විකාරයක් වුණා. මං එදා තේරුම් ගන්නෙ සිංදු කියන්නෙ ලියන දෙයක් කියලා විතරයි. ඒත් සිංදු ලියන්නෙ කොහොමද කියන කාරණාව පුංචි මට තේරුණේ නැහැ.
ඔය කාලෙ අමරදේව කියනවා. 
වඳිමු සුගත ශාක්‍ය සිංහ
පීනමුකෝ කළු ගඟේ වගේ සිංදු
ඒත් මට තේරෙන්නෙ පීනමුකෝ කළු ගඟේ විතරයි.
වික්ටර් රත්නායක දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ කියනවා. අමරදේවගේ වඳිමු සුගත ශාක්‍ය සිංහ ගීතයට වැඩියෙන් මට දෙව්රම් වෙහෙරේ දැනෙනවා....
කොහොම හරි මේ කාලෙ හැමදේම මම තේරුම් ගන්නේ සිංදු වලින්. අපේ හිච්චි අම්මලගෙ ගෙවල් තිබුණෙ අපේ ගෙදරට කිලෝමීටර් දෙකක් දුරින්. ඒත් ඒ ගොල්ලො අපේ ගෙදර එනවා නම් ඊට දවස් දෙක තුනකට කලින් පෝස්ට් කාඩ් එකක් එවනවා. සති අන්තෙ ගෙදර එනවා කියලා. ඒත් එක දවසක් අපිට නොදන්වා එක පාරටම හිච්චි අම්මලා ගෙදර ආවා. ඒ වෙලාවෙ මට හිතුනා අමරදේව එක සිංදුවක කියන ඔබට නොදන්වා මරු මෙහි ආදා... කියන්නෙ හිච්චි අම්මල ආපු මේ ගමන ගැන කියලා....
මුවග රැඳුණ සිනාවකින් යුතුව මම බන්දුල දෙස බලාසිටියෙමි.
මගෙ ගම ගාල්ලෙනෙ. ඉතින් මම ගියේ රිච්මන්ඩ් කොලේජ් එකට ඔය ඉස්කෝලෙ හිටිය බණ්‍ඩාර සර් තමයි මගේ සිංහල ගුරුවරයා. ඔහු බොහොම රසවත්ව අපිට සිංහල ඉගැන්නුවා. කවි රස විඳින්න නෙමේ පුංචි අපට කවි ලියන්න. ඒ කවි පත්තරවලට යවන්න එහෙමත් කිව්වා. මම මිහිර පත්තරේට කවි ලියන්න පුරුදුවුණේ ඒ බණ්‍ඩාර සර් නිසා. දවසක් මේ සර් කියනවා ග්‍රහතරු කේන්දර කියන්නෙ බොරු කියලා. එදා ගෙදර ආපු ගමන් මම කළේ මගෙ කේන්දරේ හොයාගෙන ඉරල දාන එක. ඒ තරමටම මම බණ්ඩාර සර්ට බැඳිලා හිටියෙ. කොහොම හරි අන්තිමට මං කසාද බැන්දෙත් බණ්ඩාර සර්ගෙ නෑදෑවෙන දුවෙක්.
එතකොට වික්ටර් රත්නායක? 
ඔයාගෙ ගීත රචනා කලාවට බලපාපු අනික් සාධකය වික්ටර් රත්නායක කිව්වනෙ.
බන්දුල කතාවට විරාමයක් තැබූ මොහොතේ මම ඇසීමි.
එතකොට මම හිටියෙ දොළහ පංතියේ. පත්තරේක තිබුණා වික්ටර් රත්නායක ‘ස’ කියලා ප්‍රසංගයක් තියෙනවා කියලා. කොළඹ ලුම්බිණි රඟහලේ. ඔය කාලෙ වික්ටර් රත්නායකගෙ සිංදුවලට මම පුදුම විදිහට කැමැතියි. ඉතින් මට හිතුණා කොහොම හරි මේ ‘ස’ ප්‍රසංගය බලන්න. ඒ කාලෙ ගමේ හිටියා ඇම්ඩෙක්... ජිනදාස අයියා කියලා... මම එයාගෙන් ඇහුවා ලුම්බිණි රඟහල කියන්නෙ මොකක්ද කොහෙද තියෙන්නෙ කියලා. එයා කිව්වා. වැල්ලවත්තෙන් බැහැලා ඩබ්ලිව්.ඒ සිල්වා මාවත දිගේ ගියාම වැටෙන්නෙ ලුම්බිණි රඟහලට කියලා.
ඉතින් යාලුවෙකුත් කතා කරගෙන මම ලුම්බිණි රඟහලට ගියා. ටිකට් දෙකකුත් අරගෙන ‘ස’ ප්‍රසංගය පටන්ගන්නකම් පෝලිමේ හිටියා. පෝලිම තදබදයක් වුණා. සෙනඟ මහ ගොඩක් ඇවිත් පොරකනවා. ටිකටුත් ඉවරවෙලා. ඒත් සෙනඟ යන්නෙ නැහැ. අපි දෙන්නත් පෝලිමේ එහාට මෙහාට තල්ලු වෙනවා. එළියට ආපු අයියලා දෙන්නෙක් අපි දෙන්නව දැක්කා. ස්කෝලෙ ඇඳුමෙන් හිටපු අපි දෙන්නාට තැනක් පෙන්නලා වාඩිවෙලා ඉන්න කිව්වා. ෂෝ එක පටන් ගත්තාම ඇතුළට ගන්නම් කියලා. අපි එතැන වාඩිවුණා. ටිකකින් ෂෝ එක පටන් ගත්තා. පළවෙනි බෙල් එක ගැහුවා. අර ලස්සන අයියා ඇවිත් අපි දෙන්නව හෝල් එක ඇතුලට දැම්මා.
එදා මම පුදුම ආසාවකින් වික්ටර් රත්නායක දිහා බලාගෙන හිටියෙ. එයා සිංදු කියන හැටි මට මහ පුදුමයක්.
ඔයා දන්නවද අර ලස්සන අයියලා දෙන්නා කව්ද කියලා.
ලක්ෂ්මන් විජේසේකරයි. රෝහණ වීරසිංහයි.
පස්සෙ කලෙක මේ හැමෝම මට ළඟින් ආස්සරේ කරන්න ලැබුණා කියන්නෙම පුදුමයක්. 
බන්දුල මදෙස බලයි.
මම දුරින් පේන මුහුද හා සිතිජය දෙස බලා සිටියත් දෙසවන සහ හිත තිබුණේ බන්දුල ළඟය.
කොහොමද ඉතින් අර කිව්ව, පස්සෙ කාලෙ උදාවුණේ. 
මම අසමි.
මම දොළහ පන්තියෙ ඉන්න කාලේ කවි පොතක් ලිව්වා. කඩදාසි ගොඩක ගීතය කියලා. ඔය පොතේ පිටකවරෙ ඇන්දෙ පී. වික්‍රමනායක, පෙරවදන ලියල දුන්නෙ ධර්මසිරි ගමගේ, පසුවදන ලිව්වෙ මහාචාර්ය සුනිල් ආරියරත්න. මේ පොත පළ කළේ 1979 දී.
පසුවදන දෙන ගමන් සුනිල් ආරියරත්න සර් මට කිව්වා ඒ පොතේ මං ලිව්ව ඉර ලස්සනයි. ඉරගල වැටෙන විට කියන පදවැල නන්දා මාලිනියට ගිහින් දෙන්න. ඒක ලස්සන ගීපදමාලාවක් කියලා. එතැනින් තමයි මං දැනගන්නෙ මට ගීත ලියන්න පුළුවන් කියන එක.
ඉර ලස්සනයි ඉරගල රැස් වැටෙන විට
හඳ ලස්සනයි කඳු අතරින් එබෙන විට
වැව ලස්සනයි දියමත තරු නටන විට
ලොව ලස්සනයි නුඹ මා ළඟ හිඳින විට
ඊට පස්සෙ ගුවන් විදුලියෙ නව පදමාලා වගේ වැඩසටහන් වලට මං ගී පද මාලා ලියලා යවන්න පටන්ගත්තෙ. වික්ටර් රත්නායක ඒ අතුරින් එක් පදමාලාවක් ගායනා කළා.
ලෝම දොරගුලු දැමූවත් මට
ඔබේ ගෙපැලේ සෙනේ විමනේ
සදාකල් දොර ඇරී ඇති බව
දිනිමි මම අම්මේ....

එතකොට වික්ටර් රත්නායකයන් ඔබේ සමීපතමයෙක් වෙන්නෙ කොහොමද?
මම යළිත් බන්දුලගේ මුහුණ බලමි.
මගෙ ගී පද රචනා වලට හැමෝම කුහක කමක් නැතුව උදව් කළා.
කුලරත්න ආරියවංශ, සුනිල් ආර්. ගමගේ එහෙම උසස් පෙළ විභාගයෙන් පස්සෙ කුලේ අයියා (කුලරත්න ආරියවංශ) මාව එයාගෙ ගෙදරට ගෙන්න ගත්තා. ඔය 71 කැරැල්ල කාලෙ... අඩියක් දෙකක් තරම් යන්නත් බයයි. ඒත් ඉතින් කුලේ අයියා මාවත් එක්කගෙන වික්ටර් අයියලාගෙ ගෙදර යනවා. වික්ටර් අයියත් චිත්‍රක්කාත් අපිට හරිම ආදරෙයි. මමත් ඉතින් වික්ටර් අයියා සිංදු හදන හැටි එහෙම ආශාවෙන් බලන් ඉන්නවා. මට ඒවා පෙනුණෙ පුදුම වැඩ විදියට.
අනූව දශකය උදාවනවිට බන්දුල නානායක්කාරවසම් යනු ලංකාවේ බොහෝ ග්‍රාමසේවක වසම් වල නම ප්‍රචලිත ගීත රචකයෙකි. ඔහු ඔහුගේ පළමුවැනි ගී තැටිය සහ ගී පදමාලා ග්‍රන්ථය ජනගත කළේ 1992 දෙසැම්බර් 28 වැනිදාය. ඒ ගී පොත ‘සිනා තොටක්’ නම් විය. එයින්ම හැඟෙන්නේ බන්දුල නානායක්කාරවසම් ලිවූ ගී අතරේ ඇති සුවිශේෂිතම ගීතය සිනා තොටක් වන බවය.
කොහොමද සිනා තොටක් ලියැවෙන්නේ?
මම බන්දුලගේ මුහුණු බලමි. 
දවසක් නිරෝෂා විරාජිනී මාව මුණගැහෙන්න ආවා. ඇවිත් කිව්වෙ බන්දුල අයියට කියලා මට ගීතයක් ලියවගන්න ඕනෑ කියලා.
මොනවගේ එකක්ද කියලා මං ඇහුවා.
බෝසත් ප්‍රේමයක් ගැන කියලා නිරෝෂා කිව්වා.... ඊට පස්සෙ එයා කතාවක් කිව්වා. ඒ කියන්නෙ ප්‍රේමකතාවක්. එයාට මේ ගීතය ලියැවෙන්න ඕනෑ ස්වභාවය තමයි ඒ කතාවෙන් කිව්වෙ. ඒ කියන්නෙ අතින්වත් අල්ලන්නෙ නැතුව පිවිතුරු මලකට වාගෙ යුවතියකට ප්‍රේම කළ පෙම්වතෙක් ගැන.
ඔය කතාව ඇහුවාම මට මතක් වුණේ පුෂ්කින්ගෙ කවියක්. ඒ කවියෙ කියැවුණේ මෙහෙම අදහසක්.
මම ඇයට ආදරය කළා
නමුත් ඇය මගෙන් වෙන්වුණා
මගෙන් ප්‍රයෝජන ගත්තා
මගෙන් පළිගත්තා
ඒත් දෙවියනේ
මා ඇයට ලබාදුන් ආදරයම
ඇගේ අලුත් ප්‍රේමවන්තයගෙනුත්
ඇයට ලබාදෙන්න.
ආදරය කියන්නෙ අයිතිකර ගැනීමක්  නෙමෙයි. පරිත්‍යාගයක් විතරයි කියන දේනෙ මේ කවියෙන් කියන්නෙ.
ඒතකොට මට ‘ෆෝලිං ඉන් ලව්’ කියලා චිත්‍රපටයකුත් මතක් වුණා. ඔය හැමදේම හින්දා තමයි සිනා තොටක් ගීතය ලියැවෙන්නෙ. හැබැයි ඒ ගීතය ජනප්‍රිය වුණේ රෝහණ වීරසිංහ ඒ සිංදුවට හදපු පුදුම විදිහෙ සංගීතයයි නිරෝෂාගේ හැඟීම්බර කටහඬයි නිසා.
හැබැයි ඔය සිංදුව ලියලා මං සෑහෙන්න බැනුම් ඇහුවා.
බන්දුල මදෙස බැලුවේ සිනාසෙමිනි.
ඇයි?
රාගයෙන් තොර ප්‍රේමයක් තියෙන්න විදිහක් නැහැ කියලා තර්ක කරන පිරිස මට බැන්නා.
ප්‍රේමය නම් රාගයෙන් තොර 
සඳ එළිය සේ සුරම්‍යයයි
පාරිශුද්ධයි
අචින්තයි...
මහාචාර්ය සුනිල් ආරියරත්න ලියා විශාරද නන්දා මාලිනිය ගැයූවිටද සමහරු එයට නිර්දය ලෙස අවලාද නැගුහ. නෂ්‍ටකාම ප්‍රේමය ලෙසද මේ බෝසත් පෙම නැතිනම් මුනිවර පෙමට නම් තැබුවා.
ඒ මෙම ලෝකයේ හැටියි.
ඔයාට එහෙම මුනිවර ප්‍රේමයක අත්දැකීම් නැද්ද?
මම දුරින් පෙනෙන සිතිජය දෙස බලාගෙනම ඇසුවෙමි.
කොයිකාටත් එහෙම අතැද්කීම් තියෙන්න පුළුවනි. ඔයාට වුණත්?
බන්දුල මගේ ප්‍රශ්නය අල්ලා ගුලිකර ආපසු මටම දමා ගැසුවේය.
මම ප්‍රේම කළේ සුභාෂිණීටනෙ. මම කලින් කිව්වෙ බණ්‍ඩාර සර්ගෙ මාමාගෙ දුවට කියලා.
බන්දුල වහා කීවේ මට වෙනත් ප්‍රශ්නයක් අසන්නට ඉඩ නොතබමිනි.
මම සාමාන්‍ය පෙළ විභාගෙට ලියලා ගෙදර ඉන්නකොට බණ්‍ඩාර සර් මාව සර්ලගෙ ගෙදරට එක්කරගෙන ගියා. ප්‍රදීපාගාරය බලන්නත් එක්ක. එහෙ යද්දි සුභාෂිණී ඉගෙන ගත්තෙ හය වසරෙ. හැබැයි එයා ගැන  සහෝදර හැඟීමක් මිස ප්‍රේමයක් මගේ හිතේ තිබ්බෙම නැහැ. බණ්‍ඩාර සර්ගෙ අම්මා තමයි මට සුභාෂිණී ගැන යෝජනාව පස්සෙ කාලෙක ගෙනාවෙත්. ඒත් මං ඒකට මුකුත් උත්තර දෙන්න ගියේ නැහැ. ඔය අතරෙ ලොකු අක්කලා මට විවාහ යෝජනා ගේන්න පටන් ගත්තා. මට හිතුනා මං නොදන්නා ගෑණුන්ට වැඩියෙ මං දන්න සුබා නංගි කොච්චර හොඳද කියලා. ඊට පස්සෙ තමයි මම එයාව විවාහ කරගන්න තීරණය කළේ.
සුභාෂිණීටත් ගීතයක් දෙකක් ලියලා ඇති.
මම වහා ඔහුගේ කතාවට බාධා කළෙමි.
එකක් දෙකක් නෙමේ මහ ගොඩක් ලියලා ඇති. අපේ අතින් ගීතයක් කවියක් ලියැවෙද්දි මතක් වෙන්නෙ මතුවෙන්නෙ හිතේ ජීවත්වෙන අයනෙ.... ආදරය කරන අයනෙ. හැබැයි දීපිකා කියන ගඟුලේ බිඳෙන හීන ගීතය නම් ලිව්වෙ සුභාටමයි.
ගඟුලේ බිඳෙන හීන හිනා මගේ
වදුලේ ඇසෙන මිහිරි කතා මගේ
පෙම පිදූ නොසංගා - ගී දැරූ අනංගා
ඔබෙ ළඟින් රුවක් ලෙසින් හිඳිමි
කුලගෙය දෙව්ලොව සදිසී....
ඔය ගීතයෙ තියෙනවනෙ කුලගෙය දෙව්ලොව සදිසී කියලා... ඇත්තටම ඒ මගේ විවාහය ගැන තමා....
බන්දුල කතා කරන්නේ ප්‍රීතියෙනි. අපි දැන් ගෙදර යමු. මෙලහකට සුභා තේත් හදාගෙන බලාගෙන ඇත්තෙ.
බන්දුල නැගිට්ටේය.
හවස ඉර පාන දෙවුන්දර වෙරළට පතිත වී තිබෙන හැටි තවත් වතාවක් බැලූ මම ද නැගිට්ටෙමි.
කන්ද බැස ගෙදරට එන විට තේත් හදාගෙන සුබා බලා සිටියාය.
මම කොරෝනා කාලෙ ගැන ගීතයක් ලිව්වනෙ පසුගිය දවස්වල. ඒකෙ වීඩියෝවකුත් හැදුවා.... අහමුද ටිකක්....
බන්දුල ඔහුගේ අලුත්ම ගීත නිර්මාණය වාදනය කළේය. තේ කෝප්පය අතට ගනිමින්ම මම දෙසවන ඒ ගී හඬට යොමු කළෙමි.
දෙවියෝ.... යදියෝ....
යදියෝ - තනිවෙලා
දෙවියෝ - අසරණ වීදෝ
අහස ඉර හඳ සාගරේ
පොළොව සුළඟ පවා
හැඟුම් ගිනිගෙන ජීවිතේ
දියත උමතු වෙලා
විමන් අතහැර නොඑනුදෝ
ගිලන් මනුලොව බලා
දෙවියනේ
දෙවියනේ
දෙවියනේ....
කොවිඩ් දොම්නස මට වියරු හීනයක් වගේ....
බන්දුල නානායක්කාරවසම් කීවේ හීන් හඬිනි.
මටත්.... කාටත් එහෙම තමා
අප කවුරු කවුරුත් මේ ගෙවන්නේ අතෘප්තිමත් බියජනක කාල වකවානුවකිනි. නිදහසේ වෙරළකට උයනකට නොව පුදබිමකටවත් යන්නට බැරිව අප සිටින්නේ දුකෙනි. ගීතයක් වත් නොඇසුවානම් ඒ විඩාව සහ පීඩාව දරාගන්නට බැරිතරම් වනු ඇත.
මොනවා කරන්නද?
ඉක්මණින්ම කොවිඩ් නැති ලෝකයක සතුටින් ජීවත් වන්නට ප්‍රාර්ථනා ඇතිව මම බන්දුල නානායක්කාරවසම්ගෙන් සමුගනිමි.
“දැන් ඉතින් සමුගන්න වෙලාවයි.”
මම ඔහුට කියමි.
දැන් ඉතින් සමුගන්න වෙලාවයි
ඔය කඳුළු ඇස්දෙකට බරවැඩියි
මට දෙන්න ඒ කඳුළු
තනිකමට ළඟ ඉන්න
මට අහිමි ඒ ලොවට
මා අතැර ඔබ යන්න
එදා බන්දුල සුනිල් එදිරිසිංහයන්ට ඒ ගීය ලියුවේ මේ දැන් සිදුවූ ඔහුගේත් මගේත් සමුගැන්ම වෙනුවෙන් නොවන බව මට පසක් වූයේ පසුවය.
ඒ පෙම්වතුන්ගේ සමුගැනීමකි.
එසේ වුව මේ සමුගන්නට වෙලාවයි!

ශාන්ත කුමාර විතාන