බොහෝ අය ‘දිගැසිට’ ආදරෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල පුංචි තිරයේ වැඩිම කතාබහකට ලක්ව සිටින ආදරනිය චරිතයක් මෙවර සදැල්ල කතාබහකට එකතු කරගන්න හිතුවා.ඇය නමින් සචින්තනී කෞශල්‍යා.

‘‘කියාදෙන්න ආදරේ තරම්’’ ටෙලිනිර්මාණය හරහා අද සචින්තනීට ඉතා ඉහළ ප්‍රේක්ෂක ආදරයක් ලැබෙනවා නේද?

ඔව් ඇත්තටම අද ගොඩක් දෙනෙක් ‘‘කියාදෙන්න ආදරේ තරම්’’ හි දිගැසිට ආදරේ කරනවා. ඒ ආදරේ නම් අති විශාලයි. මාව දන්නා නොදන්නා ගොඩක් දෙනාගෙන් ප්‍රතිචාර ලැබෙනවා. මේ තරමට කතාබහකට ලක්වෙයි. කියලා නම් හිතුවෙත් නැහැ. නමුත් අද සචින්තනී කියන නමටත් වඩා මාව ගොඩක් අය හදුන්වන්නෙත් දිගැසි නමින්. ඉතින් මේ හැමදේමත් එක්ක මේ චරිතය මගේ ජීවිතේ හැරවුම් ලක්‍ෂ්‍යයක් වුණා කියන දේ කියන්න පුළුවන්. 

ජීවිතේ හැරවුම් ලක්‍ෂ්‍යයක් වුණු මේ චරිතය සචින්තනීට ලැබෙද්දි හිතුවද මෙවැනි ආදරයක් ලැබෙයි කියලා?

ඇත්තටම නැහැ. මේ චරිතය මට ලැබෙන්නෙත් අහම්බෙන්. මෙහි අධ්‍යක්ෂවරයා ධනුෂ්ක රත්නායක අයියාව හදුනාගෙන සිටියත් ඔහුගේ වැඩකට අවස්ථාවක් ලැබිලා තිබුණේ නැහැ. නමුත් මේ වගේ චරිතයකට රංගන ශිල්පිනියක් සම්බන්ධ කරගන්නවා කියලා ඔහු මට ඒ ආරාධනාව කළාම මම ඒ වෙනුවෙන් සම්බන්ධ වුණා. ඉතින් මේ චරිතය ලැබුණට පස්සෙ මුලින්ම නම් බයක් හිතුණා. මොකද මේ වෙනුවෙන් සම්බන්ධ වෙලා ඉන්නේ ක්ෂේත්‍රයේ දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පී ශිල්පිනියන්. මෙහි ප්‍රධාන චරිතයට සම්බන්ධ වෙලා ඉන්න ශලනි තාරකා කියන්නෙත් දක්ෂම රංගන ශිල්පිනියක් ඉතින් ඒ අයත් එක්ක ප්‍රධාන චරිතයක් කරන්න ලැබීම ලොකු අභියෝගයක්. ඒ නිසා රූගත කිරීම් ආරම්භයේ බයක් දැනුණා. නමුත් මෙහි පිටපත කියවලා චරිතය ගැන අධ්‍යයනයත් එක්ක අධ්‍යක්ෂවරයා ඇතුළු හැමදෙනාගෙම සහයෝගයත් එක්ක මේ වැඩකටයුත්ත කරගෙන යද්දි ඒ බය නැතිවුණා.

ඉතින් මේ දිගැසි ගැන සචින්තනීට මොකද හිතෙන්නේ?

දිගැසි කියන්නේ රෙදි මෝලවත්ත කියන වත්තෙ ජීවත් වෙන අම්මාත් නැතිව තාත්තාවත් බලාගෙන දුක් මහන්සියෙන් විශ්වවිද්‍යාලය තෙක්ම ඉගෙනගෙන ජීවත් වෙන චරිතයක් ඇය ආදරේට ගොඩක් ආදරේ කරන සංවේදී තරුණියක් ආදරණීය චරිතයක්. පෞද්ගලිකව මමත් ඒ චරිතයට ගොඩක් ආදරෙයි. ඇයගේ අවංකකමත් ආදරයත් නිසා ජිවිතේ විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවෙනවා. ඉතින් මේ චරිත රංගනයෙ යෙදෙද්දි ඇය ගැන මටත් ලොකු අනුකම්පාවක් හිතට දැනෙනවා. සමහර තැන්වල මමත් සංවේදි වෙනවා. ඇයට වෙන අසාධාරණකම්වලදි ප්‍රේක්ෂකයො මට සමහර වෙලාවට බනින අවස්ථා පවා තියෙනවා. මොකද දිගැසි පෙම්වතියක් විදියට තමන්ගෙ පෙම්වතාට අතිශය ආදරේ කරනවා. පෙම්වතාට විතරක් නෙමෙයි ඔහුගේ පවුලේ අයටත් ඉතින් ඕනෑවට වඩා පෙම්වතාගේ පස්සෙන් යනවා කියලා කට්ටිය බනිනවා. නමුත් ඒ චරිතයේ විදියට ඇය හැදෙන්නේ වත්තක, ඒ වගේම අම්මාගෙ උණුසුමත් නැතිව එහෙමනෙ. ඉතින් අම්මගේ ඒ ආදරේ පවා ඇය හොයන්නෙ පෙම්වතාගෙන් ඒ නිසා ඇය ගොඩක් ආදරේ ඔහුට දෙනවා වගේම ඒ ආදරේත් ඒ විදියටම බලාපොරොත්තුත් වෙනවා. සමහර වෙලාවට වැඩි ආදරෙත් නරකට හේතුවක් වෙනවනෙ. ඉතින් ඒ හේතු එක්ක මට මේ චරිතය ගැන දුකක් තියෙනවා රංගනයේ යෙදෙද්දි.

මේ කතාව ගලාගෙන යන්නෙ තුන්කොන් පෙමක් විදියටනෙ. නිර්වාන් ස්නේහාට සහ දිගැසිට මැදිව ඉන්නවා ? ප්‍රේක්ෂිකාවක් විදියට සචින්තනීගේ කැමැත්ත වෙන්නෙ කාට අයිති වෙනවටද?

ඇත්තටම අද සමාජයේ මෙවැනි සිදුවීම් ගොඩක් තියෙනවා. ප්‍රේක්ෂකයොත් මේ ගැන ගොඩක් කතා කරනවා. අපෙනුත් ඒ ගැන අහනවා නිර්වාන් අයිතිවෙන්නෙ කාටද කියන දේ? මේ සිදුවිමෙදි හැම පැත්තෙන්ම බැට කන්නේ සහ අසරණවෙලා ඉන්නෙ නිර්වාන් ඉතින් කතාව ගලාගෙන යන විදියට ස්නේහා චරිතයත් ආදරයෙන් ගොඩක් විදවන කෙනෙක් ඇයත් පව් ඇය ගැනත් දුකයි. නමුත් දිගැසිත් අවංක ආදරණිය චරිතයක් ඒ නිසා ඇයටත් ඒ ආදරය අහිමි වෙනවට මම කැමති නැහැ.
නමුත් මගේ කැමැත්ත නම් දිගැසිට ඒ ආදරය හිමිවුණොත් හොඳයි කියන දේ.

සැබෑ ජීවිතේදි සචින්තනී විරහව විඳලා තියෙනවද?

ඔව්. මගේ ජීවිතේ ඒ පිළිබඳ පෞද්ගලික අත්දැකිම් මට තියෙනවා. සමහර වෙලාවට මේ චරිතය කරගෙන යන්න මට ඒ දේවලුත් උදව්වක් වෙන්න ඇති කියලා හිතෙනවා. මොකද මමත් ආදරේට ගොඩක් ආදරේ කෙනෙක් සහ මට ආදරේ ගොඩක් ඕනෑ කෙනෙක්.

ඒ වගේම ඔබ සැබෑ ජිවිතේත් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් නේද?

ඔව් මම කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ අවසන් වසර ශිෂ්‍යාවක්.

ඒ අත්දැකිම් එක්ක මේ චරිතය රංගනය සචින්තනීට නුහුරු නැතිව ඇති.?

ඔව් අනිවාර්ය්‍ යෙන්ම දිගැසි චරිතය බොහෝ දුරට මගේ ඇත්ත ජීවිතේට සමානයි. මට සමහර රංගනයන්ට අමුතුවෙන් හැඩගැසීමක් වෙන්න අවශ්‍ය වුණේ නැහැ. මම විශ්ව විද්‍යාල පරිසරයත් එක්ක හැදුණු කෙනෙක් විදියට විශ්වවිද්‍යාල ගැහැණු ළමයෙක්ගෙ චරිතයක් ඉදිරිපත් කිරීම ලොකු පහසුවක් වුණා.

රංගන ශිල්පිනියක් වෙන්න හීනයක් තිබුණද?

කොහෙත්ම නැහැ. මම පුංචිම කාලේ කැමැත්තෙන් හිටියෙ නර්ථන ගුරුවරියක් වෙන්න. ඉන්පසුව 6 වසරේ සිට වගේ මම ක්‍රීඩා අංශයෙන් ඉදිරියට ආවා. එහිදී කැමැත්ත වුණේ ක්‍රිඩාවට. මම පාසලේ ශිෂ්‍යභට කණ්ඩායමේ හිටියා. ඒ අත්දැකීමත් එක්ක මට යුධ හමුදාවට යන්නත් කැමැත්තක් තිබුණා. ඉන් අනතුරුව තමයි නීතිඥවරියක් වීමේ හීනය දකින්නේ. මේ හීනයට එන්න මම අධ්‍යාපන කටයුතු කරන ගමන් පාසලේ කලා කටයුතුත් ක්‍රීඩා කටයුතුත් එක්ක එකතුවෙලා ඒ තුළින් ජයග්‍රහණ රැසකුත් ලබාගත්තා.

ඒ කියන්නේ පාසලේ දීප්තිමත් ශිෂ්‍යාවක්.

ඔව්. මම පාසල් ගියේ කිරිබත්ගොඩ විහාරමහාදේවි විද්‍යාලයට. මම පුංචි කාලෙ ඉදන් පාසලේ නර්ථන කටයුතුවලට සම්බන්ධ වෙලා හිටියා. පාසලේ පැවත්වෙන උත්සව වැඩ කටයුත්තකට මම සම්බන්ධ නොවුණු විශේෂාංගයක් නැති තරම් නර්ථන හැකියාව පුංචිම කාලෙ ඉදන් පිහිටලා තිබුණා. නමුත් රංගනය පැත්තෙන් වේදිකාවට සම්බන්ධ වෙලා ඉදලා නැහැ. මොකද රඟපාන්න මම හරි ලැජ්ජයි. ඒ නිසා ඒ අංශයෙන් ඉදිරියට යන්න හිතුවේ නැහැ. නර්ථනය සහ ක්‍රීඩාව උපරිමව කළා. 6 වසරේදි මලල ක්‍රිඩාවෙන් තමයි ක්‍රීඩාව ආරම්භ කළේ. ඉන්පසුව ජාතික මට්ටම දක්වාම පාපන්දු ක්‍රීඩා කළා. ඒ වගේම ජිම්නාස්ටික් කළා. පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වුණා. ඒ 2015 වසරෙදි. එතැනින් පසුව 2017 වසරෙදි පාසලේ විශිෂ්ටම ශිෂ්‍යාවක් වුණා. කලාව සහ ක්‍රීඩාව පැත්තෙන් ජයග්‍රහණ ලබද්දි අධ්‍යාපන අංශයෙන් A/L වලින් ගම්පහ දිස්ත්‍රික්කයේ 38 වැනියාත් ලංකාවෙන් 289 වැනියාත් වෙන්න මට අවස්ථාව ලැබුණා. ඉතින් ඒ විදියේ ජයග්‍රහන මට පාසල වෙනුවෙන් ලබාදෙන්න හැකිවුණා ශිෂ්‍යාවක් විදියට.

ඒ දීප්තිමක් ශිෂ්‍යාව නැවතත් කලාවට එන්නෙ කොහොමද?

නීතිඥවරියක් වීමේ හීනය සැබෑ කරගන්න මට නර්ථනය පාසල් කාලෙදි කැප කරන්න සිදුවුණා. නීති අංශයේ වීෂයන් A/L වලට තෝරාගන්න අවශ්‍ය වුණ නිසා එතැනදි මට නර්ථනය අතඅරුණා.

නමුත් අහම්බයකින් වගේ සහන් රන්වල සර් ඇතුළු කණ්ඩායම කලා උළෙලකට අපේ පාසලට ආපු වෙලාවක එහිදී මම ඉදිරිපත් කරපු නර්ථනයක් දැකලා මට රන්වල බලකායට සම්බන්ධ වෙන්න කතා කළා. එතැනින් පසුව කලාවට සම්බන්ධ වෙන්න ඒ පිළිබඳ ඉගෙනගන්න අවස්ථාවක් ලැබුණා. ඉන්පසුව මම 2017 දී රූපවාහිනි අවුරුදු කුමාරි තරඟයට සම්බන්ධ වෙලා ඒ තුළින් අවසන් 12 දෙනා අතරට එන්න ලැබුණා. ඒ විදියට කලා ක්ෂේත්‍රයේ වැඩවලට සම්බන්ධ වෙලා වැඩ කරද්දි විශ්වවිද්‍යාල වරම් ලැබීමත් එක්ක ඒ කටයුතුවල නිරත වීමත් එක්ක කලාව ටිකක් මඟඇරෙනවා. නමුත් නැවතත් මම 2019 වසරේ හිරු අවුරුදු කුමරිය තරඟයට සම්බන්ධ වෙනවා. එහිදීත් අවසන් 12 දෙනාට එන්න අවස්ථාව ලැබෙනවා. එතැනින් පසුව මට නිරූපණ අංශයේ වැඩ කටයුතුවලට සම්බන්ධ වෙන්න අවස්ථා බොහොමයක් ලැබෙනවා. විශේෂයෙන්ම ‘‘බ්‍රයිඩිල් මොඩ්ල්’’ ඉතින් අද වෙද්දි අධ්‍යාපනයත් එක්ක රංගනය, නිරූපනය, හැමදේම තෝර බේරගෙන කරගෙන යනවා. නමුත් ක්‍රීඩාව නම් මේ වෙද්දි මඟ ඇරිලා තියෙනවා. 

මේ ආපු ගමන් මඟ තෘප්තිමත්ද?

ඔව් ඇත්තටම ගොඩක් සතුටුයි. මොකද පාසල් කාලෙ ඉදන්ම මම දක්ෂයි කිව්වට ඉගෙන ගන්න කාලෙදි පන්තියේ පළවෙනියාම වුණු ළමයෙකුත් නෙමෙයි. ඒ කාලෙ වුණත් කැපිලි, කෙටිලි, විවේචන, කෝන්වීම් හැමදේම එක්ක තමයි ජීවිතේ මේ දුර ආවේ. උත්සාහය කැපවීම මම හැමදාම විශ්වාස කළේ. ඉතින් අද වෙද්දි මම යම් දුරකට කලාව පැත්තෙන් ඇවිල්ලා ඉන්නවා. අතිවිශාල ප්‍රේක්ෂක ආදරයක් ලැබිලා තියෙනවා. මම කවදාවත් දැකලා නැති දන්නෙ නැති අය පවා කතා බහ කරලා ඒ ආදරේ ප්‍රතිචාර දක්වනවා. ඉතින් ඒ දේ මාරම සතුටක්. කියන්න වචන නැති තරම්.

ධනු විජේරත්න / ඡායාරූප: දුමිල කල්ප