මේ නිර්මාණය අවංකවම කළේ තරුණ තරුණියන්ට පණිවුඩයක් දෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සංගීත කලාවේ වෙනස් ශානරයන් සොයා යන හඬ පෞරුෂයකට උරුමකම් කියන ඔහු නමින් “චිත්‍රාල් සෝමපාල”.
 
“නදී ගංඟා තරණයේ”, “මං ආදරෙයි”, “මලකුත් තිබුණා” වැනි අතිශය ජනප්‍රිය ගී රැසක ම “හඬ අයිතිකරු” වුණු ඔහු සමාජ මාධ්‍ය තුළත් විටින් විට කතාබහට ලක්වන චරිතයක්.
 
ඉතින්..... චිත්‍රාල් පසුගිය දවසක ඔහුගේ අලුත්ම ගීතය එළිදැක්වුවා. ඒ ගැනත්, ඔහුගේ පෞද්ගලික ජීවිතේ අලුත්ම තොරතුරු ගැනත් දැනගන්න අපි ඔහුට කතා කළා.

මුලින්ම කියන්නකෝ... කොහොමද මේ දවස්වල වැඩකටයුතු? ලංකාවට ඇවිල්ලා කොච්චර කල්ද?

මම ඔක්තොම්බර් මාසේ ඉඳන් ලංකාවේ තමයි ඉන්නේ. මාස 4කට කලින් මගේ අයියා කෙනෙක් කොවිඩ් වලින් නැතිවුණා. එයාගේ තුන්මාසෙ දානෙට ආපු ගමන මේ. ඉතින් මම මේ දවස්වල ශේප් එකේ ඉන්නවා. වැඩත් එනවා. අවුලක් නෑ...
 
අලුතින් බිහිවෙන නිර්මාණ ගැන, චිත්‍රාල්ට මොකද හිතෙන්නෙ? විශේෂයෙන්ම අද තාක්ෂණයත් එක්ක දවසින් දවස ගායකයෝ බිහි වෙනවා..?

ඒක ඉතින් සෑහෙන්න හොඳයි. නමුත් මම දකින දේ තමයි, එයාලා ක්‍රියේටිව් පැත්ත දියුණු කරන්නෙ නෑ. එයාලගේ එකම අරමුණ තමයි මම ෆේමස් වෙන්න ඕනි කියන එක. ඒ කාලේ මේ වගේ නෙවෙයිනේ. ටීවී ආවෙත් පස්සෙනේ. රියැලටි ෂෝ එහෙම තිබුණෙත් නෑ. අපි සංගීතේ පටන් ගත්තෙ හොඳ දෙයක් කරනවා කියන අරමුණින්. මම රැල්ල දකිනවා, ඒත් රැල්ල පාගන්න යන්නෙ නෑ. මම ඉතින් අලුත් අයට කියන්නෙත් ක්‍රියේටිව් පැත්තෙන් හොඳ වැඩක් කරන්න කියලයි.
 
පසුගිය දවසක ජයශ්‍රීලාට පොඩි කරදරයක් වුණා? මම මේ අහන්න හදන්නෙ, චිත්‍රාල් හිතන විදිහට ගීතයක අයිතිය තියෙන්නෙ කාටද?

මම නම් හිතන්නෙ ජයශ්‍රීලාගේ ප්‍රශ්නය ගත්තොත් මම හිතන විදිහට ගීතය ඒ තුන්දෙනාටම අයිතියි. ඇත්තටම රෝහිත්, රොහාන් මගේ මිත්‍රයෝ. මම අදටත් කියන්නෙ මේ දේවල් පබ්ලිශ් නොකර ඒ අයට විසඳගන්න තිබුණා. දුරදිග ගියාම ඒ අයටමයි හොඳ නැත්තේ.
 
චිත්‍රාලුත් දැන අඳුනන, සංගීත ක්‍ෂේත්‍රයේ දැවැන්තයින් කිහිප දෙනෙක්ම අප අතරින් සමුගත්තා. ඒක කොහොමද චිත්‍රාල් ට දැනෙන්නෙ? ඒ වගේ දැවැන්තයින් වෙනුවට “රිප්ලෙස්මන්ට්” එකක් තියන්න බෑ නේද ?

මට ඒක දැනෙන විදිහ.... ඇත්තටම මම හිතන විදිහ ටිකක් වෙනස්. ඇත්තටම බලද්දි ආටිස්ලා නැතිවෙනවා. ඒක සාමාන්‍යයි. ඒත් සුනිල් අයියා වගේ කෙනෙක් නැති වුණු එක පාඩුවක්. ඒ වගේම, ඩෙස්මන්, නීලා වික්‍රමසිංහ වගේ අය නැතිවුණා කියන්නෙ කියන්න බැරි පාඩුවක්. ඒ අයට රිප්ලේස්මන්ට් නෑ. නමුත් මම හිතන විදිහට... දුක් වෙනවට වැඩිය අපි මෙතනින් එහාට යන්න ඕනි. ඒ වුණත් මට නම් දැන් ඉන්න පුංචි ළමයි දකිද්දි හරිම කණගාටුවක් දැනෙන්නෙ. අපි තව අවුරුදු 15ක් 20ක් ඉඳි. ඒ ළමයින්ට මොන වගේ අනාගතයක් තියෙයිද ?
 
ඒක නෙවෙයි, චිත්‍රාල් සෝමපාලව අපිට හම්බ වෙනවා ෆේස්බුක් එකෙන්.. එක එක මේම්ස් වල ඉන්නවා?

ඔව්.... ඒක ඉතින් විනෝදෙට කරනවා වෙන්නැති. ඒත් ඉතින් ලිමිට් එකක් තියෙන්නත් එපැයි. මම ඉමෝෂනල් මනුස්සයෙක්. ඒත් ඉතින්.... ඒකෙන් වෙන්නෙත් මගේ පබ්ලිසිටි එක වැඩිවෙන එකනේ.
 
පරිසරය ගැන හදපු අලුත් සිංදුව ගැන කියන්න අපිට ?

ඇත්තටම මම අවුරුදු ගාණක් විදෙස්ගත වෙලා හිටියේ. එහේ ගහක් කපන්න පැල කරනවා. පරිසරය කියන්නෙ අපිට අවශ්‍යම දෙයක්. අපිව බලාගන්නෙ පරිසරය. විල්පත්තු කලබල කාලෙත් මම ඒ ගැන ගීත කිව්වා. මේ නිර්මාණය අවංකවම කළේ තරුණ තරුණියන්ට පණිවුඩයක් දෙන්න. ඒ අයට පරිසරය ආරක්ෂා කරන්න කියන්න. මම දැනුත් කියන්නෙ ටොෆී කොළයක්වත් විසි කරන් එපා, කුණු බක්කියට දාන්න. මගේ අලුත් ගීතය “මිහිමඬලේ මිනිසා”.
 
චිත්‍රාල්ගේ පෞද්ගලික ජීවිතේ ගැන තොරතුරු ටිකකුත් කියන්නකෝ ?

මම ඉතින් හොඳින් ඉන්නවා මගේ නෝනා මහත්තයා එක්ක. ශේප් එකේ. හැමෝගෙන්ම ඉල්ලනවා, මගේ අලුත්ම ගීතය රස විඳලා අදහස් කියන්න කියලා..
 
Samitha Lakshan