මගේ කුළුඳුල් කෘතිය තමයි ‘ඔන්ලියන් කඳුළු මල්’ කියන්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වෙනස්ම තාලේ කතා කිහිපයකින් හැඩවුණ ඔන්ලයින් කඳුළු මල් කෙටි කතා සංග්‍රහය මීට දින කිහිපයකට පෙර එළිදක්වනු ලැබීය. එය සෂිකා නිරෝෂි මහලියනගේ විසින් නිකුත් කළ කුළුඳුල් කෘතිය වීමද විශේෂත්වයකි. මේ නිසාම මෙවර අප සාරවිට හරහා ඇයටද මෙසේ ඉඩක් වෙන් කළා. 

එළිදැක්වූ කෘතිය ගැන මුලින්ම කතා කරමු?

ඔන්ලයින්  කඳුළු  මල්  කෘතිය  තුළ  ඇතුලත්  වෙන්නේ අපේ  සමාජයේ  අදටත්  ජීවත්  වන   ගැහැනු  මිනිසුන්ගේ  ජීවිත  අන්දරය  ගැන කෙටියෙන් කියවෙන  කතා කිහිපයක්.  හැබැයි  මේ  හැම  චරිතයක්ම මගේ  මනස තුළ  ගොඩනැගුණු  මනඃකල්පිත  චරිත  බව  කිය  යුතුමයි. ඉතින් මේ කෘතිය ගැන මම කියනවට වඩ එය කියවලා රසවිඳිනවා නම් මම කැමතියි.

ලීවිම හැකියාව ඔබට උපතින්ම උරුම වුණ දෙයක්ද?

ඇත්තටම, මම හිතන හැටියට  ලිවීමේ  හැකියාව  උපතින්ම  මා හට උරුම  වුණ  දෙයක්  වෙන්න  ඇති.   මම කුඩා  කාලයේ  ඉදලාම  පොත්  පත්  කියවන්න  ප්‍රිය කරන  කෙනෙක්.  ඒ  දවස්වල  ඉදලා  මම කියවපු  පොත්  සංඛ්‍යාව  මෙච්චරක් කියලා මට කියන්න  බැහැ.  ඉතින්  මගේ  හිතෙත් ලියන්න  කැමැත්තක් තිබුණා.  පාසල්  කාලයේදී පාසල්  මට්ටමේ  තරඟවලට මම ලියපු  නිර්මාණ  ඉදිරිපත්  කරලා  ජයග්‍රහණ පවා මම ලබාගත්තා.  ඒ වගේම ප්‍රාදේශීය  ලේකම්  කාර්යාලය  මට්ටමේ  සාහිත්‍යය  තරගවලින්  ජයග්‍රහණ  ලබා  ගෙන  තිබෙනවා.

දැනට ඔබ කෘති කියක් එළිදක්වලා තියෙනවාද?

දැනට ඔන්ලයින්  කඳුළු මල්  කෙටිකතා සංග්‍රහය  පමණයි එළිදක්වලා තියෙන්නේ. ඉදිරියේදී  තවත්  නිර්මාණ එළිදැක්වීමේ  අදහසක්  තියෙනවා මගේ. මොකද, ම විසින් නිකුත් කළ මගේ කුළුඳුල් කෘතියට හොඳ පාඨක ප්‍රතිචාර ලැබුණා. එය මට යම් දිරිගැන්වීමක් උනා ඉදිරියට තවත් කෘතියක් ලියන්න තරම්.

කෘති එළිදැක්වීම වර්තමානයට ඔබින දෙයක්ද? 

කෘතියක් එළිදැක්වීම වර්තමානයේ නම් ගොඩක් අපහසු කටයුත්තක්. මේ  වන විට  ලංකාව ආර්ථික  අර්බුදයකට  මුහුණ  දී  ඇති  බව අපි  කවුරුත්  දන්නා  දෙයක්.  ඉතින්  ඒ අර්බුදය   ලේඛකයන්ට ප්‍රකාශකයන්ට වගේම පාඨකයන්ටද ඍජුව බලපෑම්  එල්ල  කරලා තියෙනවා. කෘතියක්  එළිදැක්වීම වර්තමානයට ඔබිනවාද  නැද්ද  කියන  එක  නෙමෙයි  අපි  හිතන්න ඕන . මේ  දුෂ්කර  කාලයේදී  වුවත්  පාඨකයන්ව අතරමං  නොකර  දුෂ්කරතා මධ්‍යයේ  වුවත් ඔවුන්ට හරවත්  යමක්  දීම ලේඛකයන්  වන අපගේ  යුතුකමක්  විදියටයි  මම දකින්නේ. 

පොතපතට අඩු වටිනාකමක් ලැබෙන කාලයක මෙසේ කෘතියක් එළිදැක්වීම සාර්ථකද?

පොතපතට අඩු  වටිනාකමක්  ලැබුණත්   සමාජයට හරවත්  යමක්  කෘතියක්  ලෙසින්  එළිදැක්වීමට   ලැබීම  ගැන  මම තෘප්තිමත්  වෙනවා. 

පොත්පත් කියවන පිරිසක් තාම ඉන්නවාද?

ඔව්  ඉන්නවා. හොඳම උදාහරණය තමයි ලංකාවේ තියෙන පොත් සල්පිලවල්වලට කොච්චර පාඨකයෝ එනවද පොත් ගන්න. එකෙන් දකින්නේ තවමත් ලංකාවේ පොත්පත් කියවන පිරිසක් ඉන්නවා කියන දේ.

ඔන්ලයින් කඳුළු මල් කෘතියෙන් පස්සේ ඔබගේ සැළසුම් මොනවද? 

ඉදිරියේදි  සමාජයට  හරවත්  යමක්  ඉදිරිපත්  කරන ලේඛිකාවක්  වීදියට තවත්  කෙටිකතා  නවකතා   පාඨකයන්  අතට පත්  කරන්න  මගේ  සැලසුමක්  තියෙනවා.

බුද්ධික සේනාධීර