මගේ තාත්තාව මම දැකලා තියෙන්නේ ඡායාරූපයකින් විතරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කාලෙන් කාලෙට කලා ක්ෂේත්‍රයට එකතු වෙන අලුත් මුහුණු අතර ඇයත් ටෙලි ප්‍රේක්ෂකාගාරයේ ආදරයට පාත්‍ර වුණු සුන්දර රුවැත්තියකි. නිවේදනයෙන්, ගායනයෙන් දක්ෂතා දක්වපු ඇය මේ දිනවල කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ යෙහෙනිගේ චරිතයෙන් අපට මුණගැහෙනවා.  ඇය කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ලෝයර් නෝනා ඉසුන්දරී පියසේකර. සිරිකත කවරය මෙවර හැඩවෙන්නේ ඇගේ රුවින්. 

කොහොමද මේ දවස්වල ප්‍රතිචාර?

මගේ චරිතය තිරයට ආ දවසේ ඉඳලාම හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්, ආදරයක් ලැබුණා. ඒ ආදරය දවසින් දවස වැඩි වුණා. කියාදෙන්න ආදරේ තරම් කියන්නේ මගේ පළමු ටෙලි නාට්‍ය අත්දැකීම. 

රංගනයට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

මම කලාවට ඇවිත් මේ වෙනකොට අවුරුදු 13 ක්. ළමා නිවේදිකාවක් සහ ළමා ගායිකාවක් ලෙස අවුරුදු 10 දි තමයි ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ. ඒ සිරස ටී.වී. නෙළුම් විල වැඩසටහන හරහා. පසුකාලීනව මම ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට මාධ්‍ය ආයතන කිපයකම වැඩ කළා.

ඒ කාලේදී ටෙලි නාට්‍යවලටත් ආරාධනා ලැබුණා. ඒත් මට රඟපාන්න ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. ධනුෂ්ක රත්නායක අයියා අධ්‍යක්ෂණය කරන ‘කියාදෙන්න ආදරේ තරම්’ ටෙලි නාට්‍යයට නළු නිළියන් තෝරා ගැනීමේදී මටත් ඔහු කතා කළා. එහෙම ලැබුණු අවස්ථාවකින් තමයි ඉසුන්දරී යෙහෙනි වුණේ.

ඉසුරින්දිට මේ ටෙලි නාට්‍යයට දායක වෙන්න විශේෂ හේතුවක් තිබුණාද?

ඔව්. මම මේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න විශේෂ වූ කාරණා කීපයක් තිබුණා. එකක් මේ නිර්මාණය. ධනුෂ්ක අයියාගේ අධ්‍යක්ෂණයක්වීම. ඔහු එක්ක වැඩ කරන්න මට ලොකු ආසාවක් තිබුණා. ඒවාගේම මහේෂ් සත්සර මද්දුමආරච්චි අයියා කතාවේ පිටපත් රචකයා. ඔහුත් මට විශේෂයි. ඒ වාගේම මේකේ ඉන්න නළු නිළියන් පිරිසත් මේ චරිතය බාරගන්න ලොකු හේතුවක් වුණා. විශේෂම හේතුව වුණේ ශලනි අක්කා.
මට කැමරාව පුරුදු දෙයක් වුණාට රඟපාන එක ගැන මට දැනුමක්, පුහුණුවක් තිබුණේම නැහැ. දෙබස් කියන තැන ඉඳලා ශලිනි අක්කා මට කියලා දුන්නා. මම ඇය දිහා බලාගෙන තමයි ර`පාන්න ඉගෙන ගත්තේ.

යෙහෙනිගේ මිතුරිය ස්නේහා චරිතයෙන් ඉවත්වීමක් ගැන සමාජ මාධ්‍ය තුළ කතා වෙනවා නේද?

යෙහෙනිගේ අතිජාත මිතුරිය නැතිව යෙහෙනිට ඒ චරිතයේ ජීවත් වෙන්න බෑ. ස්නේහා කියන්නේ මේ නිර්මාණයේ ජීවය. ඇයගේ ඉවත්වීමක් සිදුවෙන්නේ නැහැ. ඒවා සමාජ මාධ්‍ය කතා විතරයි.

මොනවද අලුත් වැඩ?

අලුත් ටෙලි නාට්‍ය දෙකකට සම්බන්ධ වුණා. පෙබරවාරි මාසේ ආරම්භ වන තවත් අලුත් නිර්මාණයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ හරහා වෙනස්ම චරිතයකින් මාව දකින්න ලැබේවි.

ඉසුරින්දි වෘත්තිය මට්ටමෙන් කලා ශිල්පිනියක්ද?

නැහැ. මම මේ වෙද්දි මාස් හෝල්ඩිං ආයතනයේ විධායක ශ්‍රේණියේ රැකියාවක් කරනවා. ආයතනය පැත්තෙන් මගේ රංගන කටයුතු කරගෙන යන්න විශාල සහයෝගයක් ලබා දෙනවා. ඒ සියලුම දෙනාට මම ස්තූතිවන්ත වෙනවා. 

මම විශාරද වෙනතුරු සංගීතය ඉගෙනගෙන තියෙනවා. අවුරුදු 15 දි තමයි විශාරද විභාගය සමත් වුණේ. මේ වෙනකොට රංගනය හදාරන්නත් යොමුවෙලා සිටිනවා.

ඔබේ ගම සහ පාසල?

මගේ ගම රත්නපුරය. මම අධ්‍යාපනය හැදෑරුවේ රත්නපුර ෆර්ගර්සන් උසස් විද්‍යාලයේ.
මගේ කලා හැකියාවන්ට අඩිතාලම වැටුණේ පාසලෙන්. පුංචි කාලේ ඉඳලා ගායනයට නිවේදනයට ආසාව තිබුණත් රඟපාන්න මගේ කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. අම්මාගේ ආසාවක් තමයි මම ඉෂ්ට කළේ. මම කලාව පැත්තෙන් ඉදිරියට යනවාට හීන දැක්කේ මගේ අම්මා. මම ආසා වුණේ කළමනාකරණ පැත්තෙන් ඉගෙන ගන්න. අද වෙනකොට ඒ සිහින දෙකම හැබෑවෙලා. 

උපන් දා සිට අම්මා තමයි ඔබේ සෙවනැල්ල... ඒ ගැනත් කියමු?

මගේ පවුලේ අම්මයි තාත්තයි අක්කයි මමයි. මගේ තාත්තා ජීවතුන් අතර නැහැ. මගේ තාත්තාව මම දැකලා තියෙන්නේ ඡායාරූපයකින් විතරයි. තාත්තාගේ මරණය සහ මගේ උපත සිදුවෙන්නේ එකම අවුරුද්දේ. මගේ තාත්තා හිටපු යුද හමුදා නිලධාරියෙක්. ජයසිකුරු මෙහෙයුමේදී රට වෙනුවෙන් මගේ තාත්තා දිවි පිදුවා. තාත්තා මාවත් මම තාත්තාවත් දැකලා නැහැ. තාත්තා නැතිවෙන්නේ 1998 අප්‍රේල් මාසේ. මම ඉපදුනේ 1998 ජූලි මාසේ. තාත්තා නැතිවෙලා මාස තුනකින් මෙලොව එළිය දැකපු මාව රකින්න, මේ තරමට උස් මහත් කරන්න අපේ අම්මා ගොඩාක් කැපකිරීම් කළා. මටවත් මගේ අක්කාටවත් තාත්තා නැති අඩුව කවදාවත් දැනෙන්න දීලා නැහැ. අම්මාට දුවෙක් ලැබෙන්න ඉන්නේ කියලාවත් තාත්තා දැනගෙන ඉඳලා නැහැ. තාත්තා අප්‍රේල් නිවාඩුවට ගෙදර ඇවිත් ආපසු කෑම්ප් එකට යන්න කලින් අම්මාට කිව්වලු කොල්ලෙක් හම්බවුණොත් මේ නම දාන්න, දුවෙක් ලැබුණොත් මේ නම දාන්න කියලා. මාව ඉපදුනාම තාත්ති කිව්වා වගේම ඉසුරින්දි කියලා නම දාලා තිබුණා.

මගේ අක්කා මේ වෙනකොට විවාහ වෙලා රත්නපුරේ පදිංචි වෙලා ඉන්නවා. මේ වෙද්දි අම්මයි, මමයි කොළඹ පදිංචි වෙලා ඉන්නවා.

ඉසුරින්දිගේ හිත නතර වුණු ආදරයක් තියෙනවාද?

ප්‍රේක්ෂකයින්ගෙන්, පවුලෙන්, යහළුවන්ගෙන්, මේ හැම පැත්තකින්ම මම ආදරය විඳිනවා. හැබැයි මේ වෙද්දි මම පෙම්වතියක් නම් නෙවෙයි. 

නදීශා අතුකෝරළ / ඡායාරූප සජීව ලක්ෂාන්