මගේ රංගනය හොඳයි කියනවා. දැනෙන්න රඟපානවා කියනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පුංචි තිරයේ මේ දිනවල කතාබහට ලක්වන චරිත අතුරින් ‘‘භාචි’’ කියන්නෙත් ප්‍රේක්‍ෂකයන්ට ළංවුණු චරිත රංගනයක්. මෙවර සඳැල්ලෙන් මේ ‘‘භාචි’’ ගැන පුංචි කතාබහක් සිදු කෙරෙනවා. ඒ කසුන් ලියනගේ නම් රංගන ශිල්පියා සමඟින්.

භාචි අද ගොඩක් ජනප්‍රියයි නේද?

ඔව්නේ. ඇත්තටම මම හිතුපු නැති විදියට ‘‘කියාදෙන්න ආදරේ තරම්’’හි භාචි චරිතය ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ ජනප්‍රියතාවය මටත් ලොකු අත්දැකීමක්. මම කලා ක්ෂේත්‍රයේ වේදිකාව එක්ක ගොඩක් කල් ඉඳලා රැඳිලා හිටියත් මාව දැනගෙන හිටිය පිරිස ගොඩක් අඩුයි. නමුත් මේ වෙද්දි පුංචි තිරය හරහා මාව දැන හඳුනගෙන කතාබහ කරන ලොකු පිරිසක් ඉන්නවා.

ඒ අතර මේ චරිතය නිසා මට ආදරය කරන පිරිසක් ඉන්නවා.

ඉතින් හරි සතුටුයි. මේ අත්දැකීම ඇත්තටම මට නුහුරුයි. මටම හිතාගන්න බැහැ මේ ලැබෙන ආදරයට දක්වන ප්‍රතිචාරය මොකද්ද කියලා. ඒ තරමට මේ ටෙලිනාට්‍යයත් අපේ චරිතත් බොහෝ දෙනෙක් ආදරෙන් මේ වෙද්දි වැළඳගෙන තියෙනවා.

සාමාන්‍යයෙන් ටෙලි නිර්මාණයක ප්‍රධාන චරිත කිහිපයටනෙ වැඩි ප්‍රේක්ෂක අවධානය යොමු වෙන්නෙ. නමුත් මෙහි ප්‍රධාන චරිතවලට අමතරව සෙසු චරිතත් කතාබහට ලක්වෙලා තියෙනවා නේද?

ඔව්. ඇත්තටම ඒ ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ. මම විශ්වාස කරන දේ තමයි සාමාන්‍යයෙන් අපි ටෙලි නිර්මාණයක් හරහා ප්‍රේක්ෂකයාට ගෙනියන්නෙ සමාජය තුළ වූ යම් සිදුවීමක්නෙ. සරලව කිව්වොත් කාගෙ හරි කතාවක් නිර්මාණයක් හරහා අරගෙන යනවා. ඒ කතාවට චරිත ගොඩක් තියෙනවනෙ. කතාවක් සාර්ථක වෙන්නනම් වටේ තියෙන හැම චරිතයක්ම ඉතා වැදගත්. ඉතින් මට හිතෙන්නෙ තිර පිටපත් රචකයා සහ අධ්‍යක්ෂවරයා එය නිසි විදියට එළියට දුන්නෙ නැත්නම් මෙහි සාර්ථකත්වය ගන්න බැහැ. නමුත් මේ නිර්මාණය තුළ තිර පිටපත් රචකයා සහ අධ්‍යක්ෂවරයා හැම චරිතයක්ම උලුප්පලා පෙන්නනවා. තිර පිටපත සහ අධ්‍යක්ෂණය එක්ක ඔවුන්ගෙ දක්ෂතාවය මත තමයි අද වෙද්දි මේ තරම් හැම චරිතයක්ම වගේ කතාබහට ලක්වෙලා තියෙන්නෙ. ඒ වගේම අපිට නිදහසේ චරිතය කරගෙන යන්න ඔවුන් ඉඩකඩ ලබාදීලා තියෙනවා. මේ විදියට කරපන් කියලා බල කරලා කියන්නෙ නැහැ. අධ්‍යක්ෂවරයාගේ මඟපෙන්වීම යටතේ අපිත් අත පය දිග ඇරලා හරිම නිදහසේ මේ තුළ වැඩ කරගෙන යන්නෙ. ඒ නිසා අපිටත් මේ තුළ වැඩ කරන්න හරිම පහසුයි. ඒ හැමදේම නිසා තමයි මට හිතෙන්නෙ මේ නිර්මාණය එක්ක අපේ චරිතත් සාර්ථක වෙලා තියෙන්නෙ සහ ප්‍රේක්ෂක ප්‍රතිචාර හැම චරිතෙටම වගේ ලැබෙන්නෙත්.

‘‘භාචි’’ චරිතය ගැනත් විස්තරයක් කියමු? මේ අත්දැකීම කොහොමද දැනුණෙ කියලා.

භාචි කියන්නෙ වත්තක ත්‍රිරෝද රථ රියදුරෙක්නෙ. ඇත්තටම මේ චරිතය මට අලුත් අත්දැකීමක් වුණෙත් නැහැ වගේම චරිතය කිරීම ලොකු ආබාධයක් වුණෙත් නැහැ. මොකද මම මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා ගොඩක් ලොකු කාලයක් වෙනවා.

වේදිකාවෙ ලොකු කට්ටක් කෑවා. ඒ කාලය ඇතුළත විවිධ සමාජ මට්ටම්වල සෑම තරාතිරකම වගේ මිනිස්සු ආශ්‍රය කරන්න ලැබිලා තියෙනවා. වතු පරිසරය ආශ්‍රිත යාළුවො ආශ්‍රය කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. අපි තරුණ වයසෙනෙ තවම පසුවෙන්නෙ. එතකොට අපේ රස්තියාදුවත් පොඩ්ඩක් වැඩියිනෙ. ඒ නිසාම ඉතින් ත්‍රිරෝද රථයක් පැදවීමවත් මේ පරිසරය එක්ක ගැටීමත් ඒ පරිසරයත් මට නුහුරු දෙයක් වුණේ නැහැ. රෙදි මෝලවත්ත කියන ඒ වත්තට පරිසරයට බැස්සාම ඒ මිනිසුන්ගේ හැසිරීම් රටාව, කතාබහ හැමදේම අපිත් අපේ ජීවිතවලට එකතු කරගත්තා. එතකොට අපේ චරිත සාර්ථකව ගොඩනඟාගන්නත් පුළුවන්නෙ.

ඉතින් ඒ ලබාගත් අත්දැකීම් එක්ක තමයි ‘‘භාචි’’ චරිතය ගොඩ නඟාගත්තෙ. මම මේ ටෙලි නිර්මාණයට මුලින්ම එකතු වුණු චරිතයක් නෙමෙයි. මැදදි වගේ තමයි මේ ප්‍රවිශ්ඨය සිදු වුණේ. ඉන්පසුව ටිකින් ටික මෙහි අධ්‍යක්ෂ ධනුෂ්ක රත්නායක අයියාගෙ මඟපෙන්වීම යටතේ මමත් මේ ක්ෂේත්‍රයේ ඉගෙනගත් දේවල් උපයෝගි කරගෙන චරිතය කරගෙන ආවා.

කසුන් වේදිකාවෙන් ආපු නළුවෙක්නේ. ඒ ප්‍රවිෂ්ඨ වීම සිදුවෙන්නෙ කොහොමද?

ඉස්කෝලෙ යන කාලෙදිම තමයි මම වේදිකා නාට්‍ය කරන්න පටන් ගත්තෙ. ඉස්කෝලෙදි සෞන්දර්යය විෂයක් තෝරගන්න තියෙද්දි මම තෝරගත්තෙ නාට්‍ය හා රංග කලාව විෂය. මම මුලින්ම දෙහිවල සෙන්ට්‍රල් එකටත් පසුව A/L කරන්න පිළියන්දල සෙන්ට්‍රල් එකටත් තමයි පාසල් ගියේ. ඒ තුළ මට උගන්වපු ගුරුවරු විශේෂයෙන් මතක් කරන්න ඕනෑ. මම A/L කරද්දි අපි නාට්‍ය ඉගෙනගත්තේ සුරංගි කෝසලා ගුරුවරිය යටතේ. ඒ පාසලේදි මුලින්ම අපි පාසල් සමස්ත ලංකා තරඟවලට යනවා. ඒ ගිහින් පාසල් මට්ටමින් ජයග්‍රහණ රැසක් ලබාගෙන තියෙනවා. ඒ අත්දැකීම් මත පාසලෙන් ඉවත් වෙද්දිත් නාට්‍ය කියන විෂය අතඅරින්න හිතුනෙ නැහැ. එතැනින් පසුව තරුණ සේවා සභාවෙත් නාට්‍ය හා රංග කලාව හැදෑරුවා. එහිදී යෞවන සම්මාන උළෙලවල් රාජ්‍ය සම්මාන උළෙලවල් නියෝජනය කළා. ඒ තරඟවලින් ජයග්‍රහණයන් ලැබුවා. හොඳම නළුවා, හොඳම සහය නළුවා ආදී සම්මාන ලැබුවා. එතැනින් පසුව ප්‍රසිද්ධ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.

මංගල සේනානායක නාට්‍ය අධ්‍යක්ෂවරයාගේ ‘‘ජුලියස් සීසර්’’ නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණා. ඒ වගේම මාර හොරු, බැංකු වීරයා, ද ස්මෙල්, ද ලෙටර් වගේ වේදිකා නාට්‍ය ගණනාවක් කළා. ඒ විදියට වේදිකාවෙ ටිකින් ටික ගමනක් ආවා. ඒ ගමන් මගේ ලොකු කට්ටක් කෑවා. එතැනින් පසුව තමයි පුංචි තිරයට ප්‍රවිශ්ඨ වෙන්න අවස්ථාවක් ලැබුණේ. මට පුංචි තිරයේ ‘‘කියාදෙන්න ආදරේ තරම්’’ නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණෙ අද රංගන ශිල්පියෙක් විදියට ජනප්‍රිය ගොඩක් දෙනෙක් ආදරෙ කරන කෝකිල පවන් නිසා. ඔහු මගේ පාසල් කාලෙ මිත්‍රයෙක්. අපි දෙන්නා පාසලේ එකට නාට්‍යය කළේ. ඔහු තමයි මේ නාට්‍යයේ අධ්‍යක්ෂවරයා ධනුෂ්ක අයියාව මට මුණගස්වන්නේ. ඒ මුණගැස්වීම එක්ක තමයි මට පුංචි තිරයට එන්න අවස්ථාව ලැබෙන්නෙ.

වේදිකාවේ කට්ට කාලා පුංචි තිරයට ඇවිල්ලා අද වෙද්දි ප්‍රේක්‍ෂක ආදරයක් ප්‍රතිචාරයක් දිනාගෙන තියෙනවනෙ? ඒ ගැන මොකද හිතෙන්නෙ?

ඒ හැඟීම මට ඇත්තටම විස්තර කරන්න අමාරුයි. අද කොහෝ ගියත් මාව දැන හඳුනගෙන කතාබහ කරන පිරිසක් ඉන්නවා. මගේ රංගනය හොඳයි කියනවා. දැනෙන්න රඟපානවා කියනවා. ඉතින් ඒ ප්‍රතිචාර ලබාගන්න මට ගොඩක් කැමැත්තෙන් හිටියා.

ඉතින් ඒ ආදරය ප්‍රතිචාර රඳවගෙන ඉදිරි ගමනක් මේ තුළින් යන්න මගේ ලොකු කැමැත්තක් තියෙනවා. ඉදිරියේදි තව නිර්මාණයකට දෙකකට කතා කරලාත් තියෙනවා. ඉතින් ඒවටත් පුළුවන් විදියට සම්බන්ධ වෙලා මේ තුළ හොඳ දෙයක් කරන්න බලාපොරොත්තු වෙන්නෙ. නමුත් මේ දූපත තුළ සැලසුම් බලාපොරොත්තු තියාගෙන අද ඉදිරි ගමනක් යන්න නොහැකිවෙලා තියෙනවා. ජීවත්වෙන්නෙ කොහොමද කියන දේ මූලිකම ප්‍රශ්නය වෙලා තියෙන්නෙ. මීට කාලෙකට ඉහතදී සැලසුම් ගොඩක් තිබුණා. ඒවා මේ වෙද්දි මාරම ඉක්මනින් කුඩුවෙලාම ගිහින් තියෙනවා. මොකද මුලින්ම පාස්කු ප්‍රහාරය ආවා. එතැනින් පසුව කොවිඩ් වසංගතය නිසා වැඩ කටයුතු අඩාල වුණා. වේදිකා නාට්‍යයක් දුවාගන්න බැරි වුණා. ඒ දෙවල් සියල්ල සමනය වේගෙන එද්දි තමයි හිතුවෙවත් නැති විදියට රට අගාධයටම වැටුණේ. මේ දේවල් එක්ක ජීවිතේ සැලසුම් කරන්න අමාරුයි. මිනිස්සු දැන් නිර්මාණ රසවිඳින්න පුළුවන් වටපිටාවක නැහැ. අපිටත් අද වෙද්දි මෙය වෘත්තීය විදියට කරන්න බැරි මට්ටමක තියෙන්නෙ. මේ පොළොවෙ අද රංගනය කියලා වෘත්තියක් නැහැ. ඇත්තටම ඒකට සුදුසු භූමියක් හදාගන්න ඕනෑ. නමුත් ඊට පෙර මේ රටේ විසඳගන්න ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ වෙනුවෙන් සමාජ මාධ්‍යයෙ පෙනීසිටීම තමයි මේ මොහොතේ අපිට කරන්න පුළුවන් ලොකුම දේ. මොකද මෙය වෘත්තිය කරගන්න මම ගොඩක් කැමැත්තෙන් ඉන්නවා. නමුත් ඒක කරගන්න බැරිව ඉන්නේ. ඉදිරියේදි හොඳ දෙයක් වෙයි කියලා විශ්වාස කරනවා.

මේ ගමනට මේ වෙද්දි ශක්තියක් වෙලා ඉන්නෙ කව්ද?

විශේෂයෙන්ම ලොකුම ශක්තිය ආශිර්වාදය මගේ අම්මා. ඒ ගැන ආදරෙන් සිහිපත් කරනවා. ඒ වගේම ‘‘කියා දෙන්න ආදරේ තරම්’’ නාට්‍ය කණ්ඩායමේ අධ්‍යක්‍ෂවරයා ඇතුළු ඒ කණ්ඩායමේ හැමෝම ආදරෙන් මතක් කරන්න ඕනා. මාරම හොඳ මිනිස්සු ටිකක් මේ නිර්මාණය තුළ මට මුණගැහිලා තියෙනවා. අධ්‍යක්‍ෂවරයාගේ සිට තේ හදන කෙනා දක්වාම ඉතා සුහදශීලීව වැඩ කරගෙන යන්නේ. ඒ හැමදේම නිසා ඔළුවට බරක් නැතිව හැමදෙනාම තමන්ගේ වැඩ කටයුත්ත ඉතා සාර්ථකව කරගෙන යනවා හරි ආසාවෙන්.

ධනු විජේරත්න