මිනිස්සු මාව විකුණාගෙන කන්නේ ඇයි කියන එක මට හරි ප්‍රශ්නයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශ්‍රී ලාංකේය සිනමාවේ සරාගී නිළි රැජින ලෙස අදටත් හඳුන්වන ඇය, මේ වනවිට ඇමරිකාවේ ප්ලොරිඩා ප්‍රාන්තයේ ජීවත්ව සිටින්නීය. එදා ඇයගේ රූ සපුවට බොහෝ දෙනා ඇල්මක්  දැක්වූහ. ඒ ඇල්ම, ආසාව අදටත් අඩු වී නොමැත. තවමත් රූ සපුවෙන්, සරාගිත්වයෙන් බැබලෙන ඇයට අද දවසේදීත් ප්‍රේක්ෂකයන්ගෙන් දැඩි ඉල්ලුමක් පවතී. ඒ ඇයගේ රුව දැක ගැනීමේ ආසාවෙනි.

මේ නිසාවෙන්ම ඇය පිළිබඳ  මුහුණ පොතේ ගිණුම් රැසක් විවෘතව පවතී. ඇයගේ එදා චිත්‍රපටවල රඟපෑ සරාගී නිරුවත් දර්ශන රැගත් වීඩියෝපටද සමාජ මාධ්‍යවල අදත් පළවේ. මේ පිළිබඳව ඇය සිටින්නේ දැඩි කලකිරීමකින් බව අපට දැනගන්න ලැබුණි. සුමනා ගෝමස් නම් වූ මේ සරාගී නිළි රැජින ‘සඳැල්ල’ වෙනුවෙන්ම ඇමරිකාවේ සිට ඇය ඒ ගැන කතා කරන්නට වූවාය. ඒ මෙරට ඇයට ආදරය කරන රසිකයන් දැනුවත්  කිරීමේ අරමුණෙනි. මේ ඇයගේ කතාවයි.

“මට යාළුවෙක් කතා කරලා කිව්වා, මම රඟපෑ ‘රාගයේ උණුසුම, කාම සූත්‍ර’ චිත්‍රපටවල සෙක්ස් දර්ශන ඇතුළත් කරලා සමාජ මාධ්‍යවල දාලා තිබෙනවා කියලා. ඒක කැලිෆෝනියාවල ෆේස්බුක් ශාඛාවක තමයි දාලා තිබෙන්නේ. මගේ පරණ අඩ නිරුවත්,  නිරුවත් දර්ශන ඇතුළත් වීඩියෝ පට හා ඡායාරූප තමයි මේකට යොදාගෙන තිබෙන්නේ. මගේ චිත්‍රපටවල දර්ශන අරන් මොකක්දෝ නමක් දාලා තමයි මේක දාලා තිබෙන්නේ. ඒක දැන් වයිරල් වෙලා. සමහර අසභ්‍ය චැනල්වලට පවා දාලා මේ මිනිස්සු එයින් හම්බ කරන් කනවා. මට අහන්න ඕනේ ඇයි මේ මිනිස්සු මෙච්චර මගේ  දේවල් උලුප්පලා හම්බ කරන් කන්නේ කියලා.

මම කලා ක්ෂේත්‍රයෙන් අයින් වෙලා නෑ. ඒත් මම දැන් ඇමරිකාවේ ඉන්නේ. ඉතිං මට දැන් රඟපාන්න යොමුවෙන්න විදිහක් නෑ. මගේ රැකියාවේ කාර්ය බහුලතම හින්දා මට රඟපාන්න දැන් වෙලාවක් නෑ. දැන් රඟපාන්න කට්ටිය ඕන තරම් ඉන්නවා. ඒ අයගෙන් අඩනිරුවත්, නිරුවත්, ඡායාරූප, වීඩියෝ නැද්ද? ඒ මිනිසුන්ට පුළුවන් නේද ඒ අයගෙන් ඒවා හදලා දාන්න. ඇයි මේ මාවම අල්ලාගෙන කන්නේ? මිනිස්සු මාව  විකුණාගෙන කන්නේ ඇයි කියන එක මට හරි ප්‍රශ්නයක්. ඒ වගේම ලජ්ජා හිතෙනවා, ලංකාවේ මිනිස්සු ගැන. ඒක දැන් හැම තැනම සංසරණය වෙනවාලු. කොහොම හරි මට ආදරේ කරන කට්ටියක් එකතුවෙලා ඒක පිළිබඳව පැමිණිලි කරලා දැනට නවත්වලා තිබෙනවා. නමුත් ඕක ටික කාලයකින් ආපසු ඔය මිනිස්සු ඕක දානවා. මම දන්නේ නෑ, ඇයි මේ මිනිස්සු මට මෙහෙම කරන්නේ කියලා. මා පිළිබඳව තවමත් සරාගී නිළි රැජින විදිහට කතා කරන එක සන්තෝෂයට කාරණයක්. නමුත් මගේ තිබෙන ගෞරවය විකුණාගෙන කෑමේ ජනප්‍රියතාවයක් මට අවශ්‍ය නෑ. මට ලොව පුරා ආදරය කරන, හදවතින්ම සුබපතන රසික රසිකාවියන් පිරිසක් ඉන්නවා. මගේ ඡායාරූපවලට ඒ අය ඉතා හොඳ ‘‘කමෙන්ට්ස්’’ දාන්නේ. කවදාවත් නරක දේවල් කියන්නේ නෑ.

අනෙක මගේ නමින් මුහුණ පොතේ (Face book) ගිණුම් 7 - 8ක් තිබෙනවා. ඒ සියල්ල ව්‍යාජ ඒවා. ඒවා ෆේක් ගිණුම්.  ඒවා එකක්වත් මගේ නොවෙයි. මගේ රසිකයන්ට කියන්නේ ඒවාට මගේ කිසිම සම්බන්ධයක් නෑ කියලා ලංකාවේ මගේ රසිකයන්ට, මට ආදරය කරන අයට කියන්න කැමතියි.  ඒවා හරි අප්‍රසන්න, නින්දිත වැඩ. ඒවා ලැජ්ජාශීලි වැඩ. කාටවත් ඒ වගේ දේවල් කරන්න හොඳ නෑ. තමන්ගේ  ස්වශක්තියෙන් මොනව හරි දෙයක් කරන්න උත්සාහ  කරනවා මිසක් ඇයි මේ වගේ ලැජ්ජා නැති වැඩ කරලා හම්බ කරන් කන්නේ? මට අාදරය කරන රසිකයන්ට හදවතින්ම මම ආදරෙයි. ඔවුන් එක්ක හැමදාම මම ඉන්නවා.”

සමන්ත යහම්පත්.