මම ඇත්ත ලින්කන් කියලා හිතලා මිනිස්සු බොන්න යන්න කතා කරනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය හාස්‍යමය රංගන ශිල්පියෙක් තමයි ප්‍රියන්ත සෙනෙවිරත්න කියලා කියන්නේ. විටෙක ඔහු ටෙලි තිරයේදී බෙනා මාමා විදිහටත්, තවත් විටෙක සෑම් අංකල් විදිහටත්, වරෙක මුළාවෙන් සියල්ල රවටන පොඩි මාමා විදිහටත් ප්‍රේක්ෂකයන් අතරට ආවා. ටෙලිනාට්‍ය කලාව තුළ හාස්‍යමය හා ප්‍රහසනාත්මක චරිත නිරූපණය කිරීමෙහිලා ලොකු කුඩා කා අතරත් එදා මෙන්ම අද ද ඔහු ජනප්‍රිය චරිතයක් කිවුවොත් හරියටම හරි. ඉතින් මේ දිනවල ඔහු ඔබ හමුවට එන්නේ සිරස නාළිකාවේ විකාශය වන ධනුෂ්ක රත්නාකයගේ අධ්‍යක්ෂණයක් වන “කියාදෙන්න ආදරේ තරම්” ටෙලිනාට්‍යයේ “රෙදිමෝලවත්තේ ලින්කන් අයියා” ලෙසයි. ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය ලින්කන් අයියා ගැන සහ වර්තමාන ටෙලිනාට්‍ය කලාව ගැන ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් මෙන්න මේ විදිහටයි කතා බහ කරලා තිබුනේ. මේ දවස්වලනම් බැනුම් අහන එකේ සීමාවක් නෑ. ඒක සාමාන්‍යයෙන් ඉතින් ගෙවල්වල තියෙන කතාවක්නේ. (සිනාසෙමින්) හැබැයි මේ ලින්කන් ඉන්නේ “කියාදෙන්න ආදරය තරම්” ටෙලිනාට්‍යයේ. ලින්කන් කියන්නේ නාගරික ලුම්පන් පරිසරයේ ඉන්න දරුවො තුන්දෙනෙක් ඉන්න රැකියාවක් නැති තාත්තා කෙනෙක්ට. ලින්කන්ට එයාගේ තත්ත්වය තියාගෙන ඉන්න ඕනේ. ඒ නිසා එයා මොන මොනව හරි කරලා හම්බ කර ගන්න බලනවා. ලින්කන් හැමවෙලේම මුදල් හම්බ කරන්න පුළුවන් ක්‍රම හොයාගෙන යනවා. අවසානයේ ඒවා හෙළි වුණාට පස්සේ ගෙදරින් ප්‍රශ්න එනවා.

ලින්කන් තරුණ කාලේ නළුවෙක් වගේ හිටපු කෙනෙක්. හොඳ සෙල්ලක්කාර, විනෝදකාමී, ඉතාම ලස්සන පුද්ගලයෙක් හැටියට තමයි ලින්කන්ගේ ඉතිහාසය කියැවෙන්නේ. ඔහු රෙදිමෝලවත්තට එන්නේ අයිරාංගනීව කසාද බැඳලා. ලින්කන් ඒ වත්තට අනුගත වෙලා ඒ අවට පිරිසත් එක්ක ජීවිතය ගත කරනවා. ඔහු හරි සූක්ෂ්ම පුද්ගලයෙක්. ඔහුට නිතරම ඉවෙන් දැනෙනවා මුදල් හම්බ කරගන්නේ කොහොමද කියලා. ඒ ඔස්සේ තමයි ඔහු නිතරම ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම ලින්කන් කියන්නේ මුදල් උපයන්න බොරු කියන, බොරු කරන කෙනෙක්. මේ ඇත්ත මහපොළොවේ ලින්කන්ලා වගේ චරිත අනන්තයි අප්‍රමාණයි. ඒ වගේ චරිත ඇතුළේ හරි අනුවේදනීය කතාවක් තියෙනවා. ඒ තරුණ කාලේ ජේත්තුවට රැස් විහිදවාගෙන ඉඳලා වයසට ගිහින් ළමයි ලොකු මහත් වුණාම ළමයින්ට හෑල්ලු නොවී තමන්ගෙ තත්ත්වෙ තියාගෙන ඉන්න උත්සහ කරන චරිත. මේ සමාජයේ ඕනෑ තරම් ඒ වගේ චරිත ඉන්නවා. ලින්කන්ලා වගේ අය පොඩි පොඩි රැවටීම් කරලා ඒ වගේ මිනිස්සුන්ව රවට්ටන්නේ තමන්ට වෙන කරන්න දෙයක් නැති නිසයි. ලින්කනුත් කැමතියි හොඳට ජීවත් වෙන්න. ඒත් ඒ ජීවිතවලට ලොකු ආර්ථික ඛේදවාචකයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා.

ලින්කන්ගෙ චරිතයට ලැබෙන ප්‍රතිචාර ඇත්තටම ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම මේ ළඟදි වාහනේ යනකොට මගේ පිටිප්පස්සෙන් පොඩි ලොරියක් මාව හඹාගෙන එනවා. මට හෝන් කරනවා. එයාලා මට නතර කරන්න කියලා සංඥා කරනවා. අවසානයේ මම ඉඩ තියෙන තැනක මගේ වාහනය නතර කළා. මගේ වාහනය ඉස්සරහින් හරස් කරලා ලොරිය නතර කරලා ඒකෙන් බැහැලා පිරිමි ළමයි දෙන්නෙක් දුවගෙන ඇවිත් කිව්වා “අයියේ, ඔයාගේ ලින්කන්ගේ චරිතයට අපි හරිම ආසයි. අපි ඒක ඔයාට කියන්නයි ඔයාව නතර කළේ” කියලා. විශේෂයෙන් අපි රූගත කරන රෙදිමෝලවත්ත තියෙන්නේ කොටහේන පංචිකාවත්තේ. එතැන හරි අමුතු පරිසරයක්. එයාලා සිංහල ටෙලිනාට්‍ය බලන අය නෙමෙයි. ඉන්දියානු චිත්‍රපට බලන වැඩිපුර දෙමළ කතා කරන කැඩිච්ච සිංහල කතා කරන අය. අපි රූගත කිරීම් එතැන කරන නිසා එයාලා හරියට වෙලාවටම අපේ ටෙලිනාට්‍යය බලන්න පුරුදු වෙලා. රෙදිමෝලවත්තේ ගෙවල් ඔක්කොම වගේ “කියාදෙන්න ආදරේ තරම්” ටෙලිනාට්‍යය බලනවා ඒ වෙලාවට. අපි රෑ වෙලත් රූගත කිරීම් කරන දවස් තියෙනවා. ඒ වෙලාවට ඒ අවට මිනිස්සු මහන්සි වෙලා දවසම වැඩ කරලා හවස පොඩ්ඩක් මධුවිත තොලගාලා ඉන්නේ. එයාලා ඇවිත් මට කතා කරනවා කන්න බොන්න යන්න. එයාලා හිතන්නේ ඇත්තටම මම ලින්කන්ගේ චරිතය කියලා. ඒ අවට පොඩි ළමයි පවා මට “ලින්කන් අයියා” කියලා කතා කරන්නේ කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.