මම දඬුවම් වින්ඳේම නොකරපු වැරදිවලට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන (පාර දිගේ) ටෙලිනාට්‍යයේ ටුටූ එක්ක අපි පොඩ්ඩක් කතා කළා. ඇත්තම කිව්වොත් මේ කතා කළේ ටුටූ නම් නෙවෙයි එම චරිතයට අපූරැවට දායක වන ඇය වොල්ගා කල්පනීයි. මේ ඇය (එහෙම වුණොත්) විශේෂාංගය සමඟ එක්වූ සොඳුරු කතාබහයි.

වොල්ගාට පුංචි කාලෙට යන්න අවස්ථාව ලැබෙනවා. එහෙම වුණොත් යන්න කැමති කොයි කාලෙටද?

පුංචි කාලෙට යන්න මම හරි ආසයි. ඒ අතරින් මම වැඩිපුරම කැමති කඳාන ශාන්ත සෙබස්තියන් විදුහලේ ඉගෙන ගත්තු කාලයටයි. ඒ අතරින් දහය වසර සහ එකොළහ වසර කාලය තුළදී මම ගත කරපු කාලයට මම හරි ආසයි. ඒ කාලේ හිතේ ප්‍රශ්න නැහැ. වගකීම් නැහැ. හරිම සැහැල්ලුවෙන් යාළුවෝ එක්ක හිනාවෙලා ගත කරපු සුන්දර කාලයක්. ඒ කාලයට ආයෙත් යන්න තියෙනවානම් ඒක මරු.

නොහිතූ වෙලාවක කලා ක්ෂේත්‍රයෙන් ඔයාව ප්‍රතික්ෂේප වෙනවා. එහෙම වුණොත්?

අම්මෝ.. එහෙම වුණොත් ඒක මට සෑහෙන්න දරාගන්න බැරිවේවි. එහෙම වුණොත් මම මොනවද කරන්නේ කියලා හිතාගන්නවත් මට අමාරුයි. ඒ තරමට මම මේ කලාවට කැමතියි. කලාවට ආදරෙයි.

නොකරපු වරදකට වොල්ගාට දඬුවම් ලැබෙනවා. එහෙම වුණොත් මොකද කරන්නෙ?

මගේ ජීවිතේ මෙතෙක් මට දඬුවම් ලැබිලා තියෙන්නෙත් මම නොකරපු වැරදිවලට තමයි. ඒ නිසා ඒක දැන් මට හුරුයි. ඒ නිසා ඒක මට කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මම එහෙම නොකරපු වැරදිවලට ලැබෙන දඬුවම් ගැන ලොකුවට ගණන් ගන්න කෙනෙක් නෙමෙයි. කවුරු මොනවා කිව්වත් මගේ හිත දන්නවානම් මම වරදක් කළේ නැහැ කියලා මම කාලයට ඉඩ දීලා බලාගෙන ඉන්නවා. කවුරු මොනවා කිව්වත් ඒවා මගේ ජීවිතේට අදාළ කර ගන්නෙ නැහැ.

දේශපාලනයට යොමුවෙන්න අවස්ථාවක් වගේම ආරාධනාවකුත් ලැබෙනවා. එහෙම වුණොත් මොකද කරන්නෙ?

අම්මෝ.. මම කවදාවත් දේශපාලනය නම් කරන්නෙ නැහැ. මේ පවතින තත්ත්වයත් එක්ක දේශපාලනය කිරීම බොරු වැඩක්. ඒ නිසා පවතින තත්ත්වයත් එක්ක ඒ රාමුවේ ඉඳගෙන දේශපාලනය කරන්න මම දක්ෂ නැහැ. ඒ නිසා නොදන්නා දේවල් වගේම කැමති නැති ක්ෂේත්‍රවලට යොමු නොවී දන්නා දේ කරගෙන ඉන්න එක ඇඟට ගුණයි.

හිතපු නැති මොහොතක වොල්ගාට කෝටි ගණනාවක දිනුමක් ලැබෙනවා. එහෙම වුණොත් ඒ මුදලට මොකද කරන්නෙ?

මට හිතාගන්නවත් බැහැ ඒකට මොකද කරන්නේ කියලා. ඒක ලැබුණට පස්සේම තමයි බලාගන්න පුළුවන් වෙන්නෙ. මුදල් කියන දේ අද මම ළඟ තිබිලා හෙට තව කෙනෙක් ළඟ තියෙන්න පුළුවන්. හරිම අවිනිශ්චිත දෙයක්. තව කෙනෙක් විනාශ කරගෙන මිනිස්සු මෙහෙම මුදල් හම්බ කරන්නෙ ඇයි කියලත් මම දන්නෙ නැහැ. මට නම් ජීවත් වෙන්න සල්ලි තිබුණාම ඇති. ඒ නිසා ලොකු ලොතරැයි දිනුම් ගැන ලොකු බලාපොරොත්තු නැහැ.

ජීවිතේ වෙච්චි සමහර සිදුවීම් අමතක කරන්න, මකා දමන්න අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් අමතක කරන්න උත්සාහ ගන්නෙ?

මට එහෙම අමතක කරන්න හිතෙන සිදුවීම් බොහොමයක් නැහැ. සමහරු අකමැතියි කියලා හිතන සිදුවීම් මම හරිම කැමැත්තෙන් මතක තියාගෙන ඉන්නවා. මගේ ආච්චියි සීයයි දෙන්නා මේ මොහොතේ ජීවතුන් අතර නැහැ. ඒ දෙන්නට අදටත් මම හරි ආදරෙයි. ඒ නිසා ඒ දෙන්නා මැරුණා කියන එක අමතක කරන්න පුළුවන් නම් මම ඒකට කැමතියි.

ජීවිතේ වෙච්චි වැරැද්දක් ආයෙත් නිවැරදි කර ගන්න අවස්ථාව ලැබෙනවා. එහෙම වුණොත් නිවැරදි කර ගන්නෙ මොන වැරැද්දද?

මම නිසා මගේ දෙමව්පියන්ට සමහර ප්‍රශ්නවලට උත්තර නැතිවෙලා තියෙනවා. ඒක හදාගන්න පුළුවන් නම් මම ඒ වැරැද්ද නිවැරදි කර ගන්නවා.

කලාවට අමතරව වෙනත් ක්ෂේත්‍රයක යම් විෂයක් ගැන ඉගෙන ගන්න වොල්ගාට අවස්ථාව ලැබෙනවා. එහෙම වුණොත් හදාරන විෂය මොකක්ද?

ඇත්තටම මම භාෂාවක් ඉගෙන ගන්න කැමතියි. කාලයක් මම ඒකට පොඩි උත්සාහයකුත් ගත්තා. හැබැයි කාර්යබහුලකමත් එක්ක මගෙන් ඒක මඟහැරුණා. ඒ නිසා ආයෙත් මට යම් විෂයක් ඉගෙන ගන්න අවස්ථාවක් ලැබුණොත් මම වෙනත් භාෂාවක් හෝ භාෂා කිහිපයක්ම ඉගෙන ගන්නවා.

අධ්‍යක්ෂණයට පිවිසෙන්න අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් වොල්ගා මොකද කරන්නෙ?

අම්මෝ.. අධ්‍යක්ෂණය කියන්නෙ පුළුල් විෂයක්. තාමත් ඒ ගැන හිතන්න මම සුදුසු කෙනෙක් නෙමෙයි. ඒ නිසා මම කවදාවත් අධ්‍යක්ෂණයට නම් පිවිසෙන එකක් නැහැ. හැබැයි නිෂ්පාදන ක්ෂේත්‍රයටනම් මම කැමතියි. ඒ නිසා කවදා හරි දවසක ඉඩක් ලැබුණොත් මට කැමති විදිහට නිෂ්පාදන ක්ෂේත්‍රයට යොමුවේවි.

ඉතාම හොඳ නිර්මාණයකට ඉතාමත් හොඳ චරිතයකට වොල්ගාට ආරාධනාවක් ලැබෙනවා. හැබැයි ඒ අඩු ගෙවීමක් සහිතවයි. එහෙම වුණොත් ඒක බාරගන්නවාද?

ඔව්.. මම ඒ චරිතය බාරගෙන කරයි. මුදල්වලින් හැමදේම තීරණය වෙන්නෙ නැහැ. හොඳ නිර්මාණයක් නම් මට යමක් කළ හැකි යැයි හිතනවා නම් මම ඒ නිර්මාණය බාරගනීවි.

අද රටේ පවතින තත්ත්වය හමුවේ බොහෝ තරුණ තරුණියන් විදෙස් රටවලට රැකියා සඳහා යනවා. වොල්ගාටත් විදෙස් රටක ඉතා ඉහළ වැටුපකට හොඳ රස්සාවකට ආරාධනාවක් ලැබෙනවා. එහෙම වුණොත් විදෙස්ගත වෙනවාද?

නැහැ. මගේ දෙමව්පියන්වයි කලාවයි දාලා මම විදෙස් රටකට යන එකක් නැහැ.

දිශානි ජයමාලි