මම දන්නා සියළු දේ මේ රටටම තමා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

96 ලෝකශූර ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආදරණීය ක්‍රීඩකයකු වන රවීන්ද්‍ර පුෂ්පකුමාර ගැන ඔබට අමුතුවෙන් හැඳින්වීමක් කරන්න ඕනැ නැහැ. බොහෝ දෙනා ආදරයට අමතන ‘පුෂ්පෙ’ ගැන වැඩි දෙනෙක් මේ දිනවල කතා වන්නෙ සුදත්ත තිලක්සිරි අධ්‍යක්ෂණය කළ ‘ටීචර් අම්මා’ ටෙලි නාට්‍යයේ චරිතයක් රඟපාන නිසයි. වෘත්තියෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස කටයුතු කරන අතරේ ප්‍රථම වතාවට ටෙලි නාට්‍යයක රඟපාන ‘පුෂ්පෙ’ ගෙ අද ජීවිතය මොන වගේද කියලා බළමු.

• පුෂ්පෙ ඇයි රඟපෑමට එන්න හිතුනේ?

ඒක මම තීරණය කළේ සුදන්ත තිලකසිරි මගේ හොඳ මිතුරෙක්. අනෙක ඔහු මේ නාට්‍ය හොඳට කරලා තියෙනවා. විෂය සම්බන්ධව උගන්වන්න තියෙන ගුරුවරයෙකු හා සම්බන්ධ වූ චරිතයක්. ක්‍රිකට්වලටම කියා, සර් කෙනෙක් පාසලක නැහැ. මේක මේ රටේ ප්‍රශ්නයක්. ඉතින් මේ ප්‍රශ්නය තමයි මේ චරිතය හරහා කතා වෙන්නෙ.

• කොහොම වුණත්, රඟපෑම ඔබට අලුත් දෙයක්නෙ. මීට කලින් රගපාලා නැහැ නේද?

කිසිම දවසක රඟපාලා නැහැ. මේ ප්‍රථම අවස්ථාව. කමල් දේශප්‍රිය අයියා මට මේ වැඩේ දී බොහෝම උදවු කළා. කමල් අයියාව මම සෑහෙන කලක සිට දන්නවා. ක්‍රිකට් විස්තර විචාරක වැඩ සටහන්වල දී හමුවුණාම මම එයාට කියලා තිබුණා විහිළුවට වගේ එයා එක්ක රඟපාන්න ආසයි කියලා. ඒක සැබෑවීම ඇත්තටම හීනයක් වගෙයි.

• මේ චරිතයෙ නම ?

කමල් දේශප්‍රිය අයියගේ මිතුරෙක් විදියට මම රඟපාන්නෙ. ටීචර් අම්මා කමල්ගෙ දුව. එයා ඈත ගමක උගන්වන ගුරුවරියක්. ටීචර් අම්මා ඒ පාසලට ක්‍රිකට් උගන්වන්න කියලා මගෙන් උදවු ඉල්ලනවා. ඉතින් මම රඟපාන්නෙ ක්‍රිකට් උගන්වන පුහුණුකරුවකුගෙ චරිතයක්. ටීචර් අම්මගෙ උදවුවට ඒ පාසලට යන කෙනෙක්. මගේ නම රවින්ද්‍ර.

• ගෙදර නෝනා මොක ද කිව්වේ මේ රඟපෑම ගැන ?

එයාලටත් මේක අලුත් අත්දැකීමක්. රඟපෑම ඇත්තටම මට අභියෝගයක්. දරුවොත් ඒක ආසාවෙන් නරඹාවි. මේ දිනවල පුහුණුවීම් දිගටම නැහැ. දිගටම තිබුණොත් රඟපෑම බාර ගන්න බැහැ. මම පුහුණුකරුවකු ලෙස කටයුතු කරන්නෙ. මේ ලැබුණු අවකාශය එක්ක මේ චරිතය බාර ගත්තා.

• ගෙදර විත්ති කියමු ?

ලොකු දුව 22 යි. අනෙක් දුලා දෙන්නා නිවුන්නු. දෙවැනි පුතා ශාන්ත පීතර් විද්‍යාලයේ ඉගෙන ගනිමින් ක්‍රිකට් ක්‍රීඩා කරනවා.

• එතකොට නෝනා මොනව ද කරන්නේ

එයා එදා ඉඳලාම ගාහණියක්. මට ලොකු සහයෝගයක් දෙන්නෙ.

• අද ඒ තේරීම ගැන කොහොම ද හිතෙන්නේ?

ඇත්තටම මම විවාහ වුණේ වසර 22 කට පෙරදියි. එදා ඉඳලා මට ඇය ලබාදෙන සහයෝගය ඉතා ඉහළයි. ඇත්තටම මට හොඳ බිරිඳක් ලැබුණේ.

• දරුවන්ගෙ නම් කියමු ද?

ලොකු දුව, මන්මිණි, පුතා ලෂේන් නිවුන් දුලා දෙන්නා ඔනදි, තව්ෂි. 

• පුෂ්පෙ පදිංචිය

කොහුවල.

• ජීවිතයම අදටත් ක්‍රිකට් නේද?

ඇත්තටම ජීවිතය ක්‍රිකට්ම වුණා. මම ලොකුවට ඉගෙන ගත්තේ නැහැ. වසර 15 ක් විතර තිස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් හා සම්බන්ධව පුහුණුකරුවකු ලෙස කටයුතු කරනවා.

• ‘96’ මිහිරි මතක අද අවදි කළෙත් ? අද එදා දවස දැනෙන්නේ කොහොමද ?

ඒක වචනයෙන් විස්තර කරන්න බැහැ. අද ලංකාවේ දරුවන්ට එදා අපි ලද ජයග්‍රහණය හරහා ලොකු දෙයක් ලැබුණා. මම හිතන විදියට ‘අර්ජුන’ අයියා නිසාම තමයි ඒ ජය අපට ලැබුණෙ. ඒ නිසා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වර්ණවත් වුණා.

• අද වැඩිපුරම හමුවන්නේ ?

චමින්දවාස්, උපුල් චන්දන, ප්‍රමෝදයව සහ හෂාන් අයියා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා බැඳි කටයුතු කරන නිසා නිතර අපි හමුවෙනවා. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ හෂාන් අයියා. මම එහි වේග පන්දු අංශය බාරව කටයුතු කරන නිසා අපි දෙන්නා නිතර හමුවනවා.

• එදා පුෂ්පෙ එක්ක ක්‍රිකට් ගහපු බොහෝ දෙනා අද වෙනත් රටවල පදිංචියට ගිහින්. ඒත් පුෂ්පෙ ගියේ නැහැ?

එදා ඉඳලා මට එහෙම බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ. ලංකාවට මා උගත් දෙයින් යමක් කිරීම තමයි මගේ අරමුණ වුණේ. රට අත්හැරලා යන්න හිතුවෙ නැහැ. 96 ජය ගත්තා වගේම, ලංකාවේ ජය තමයි නිතර බැලුවේ. මට සියලු දේ ලැබුණෙ මේ රට නිසා. ඒ නිසා මම දන්නා සියලුම දේ මේ රටට දීම මගේ වගකීමක්. යුතුකමක්.

• තවත් චරිත ලැබුණොත් බාර ගන්නවා ද?

දරුවන්ගෙ වැඩ සහ වෘත්තිය පුහුණුකරුවකු ලෙස වැඩ කරන නිසා වෙනත් ක්ෂේත්‍රයක නිරත වෙන්න බැහැ. ඒ වෙනුවෙන් අමතර කාලයක් මට නැහැ. 

• මේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොම ද?

සමාජ මාධ්‍ය සහ මගේ ෆේස්බුක් පිටුව ඔස්සේ ලැබෙන්නෙ හොඳ ප්‍රතිචාර. ඒ ගැන ඇත්තටම හරි සතුටුයි.

• මේ රඟපෑම ගැන 96 යාළුවෝ ටික මොනව ද කිව්වේ ?

එයාලත් මේ නාට්‍යය නරඹනවා. එයාලාගෙනුත් ලැබෙන ප්‍රතිචාර හොඳ ප්‍රතිචාර.

• 96 කණ්ඩායමේ හිටපු හොඳම යාළුවෝ කවු ද?

කණ්ඩායමේ අපි ඔක්කෝම එකම පවුලක අය වගේ. අදටත් එහෙමයි. එදා අපේ ජයග්‍රහණයට හේතුව වුණෙත් ඒ බැඳීමයි. පන්දු යැවීමේ දී චමින්ද වාස්, ප්‍රමෝද්‍යය, උපුල් චන්දන එක්ක මම නිතර හිටපු නිසා ඒ අය වඩාත් සමීප වුණා. ඇත්තටම අපි එක පවුලක අය වගේ. ඒකම තමයි ජයග්‍රහනයේ රහස වුණේ. හැමෝම හොඳම යාළුවෝ තමයි.

• පුෂ්පෙ සිංදුත් කියනවා නේ ද?

ගායකයකු හා සමානව ගයන්න නම් බැහැ. ඔය වැඩසටහන් එක දෙකකදී ගැයුවා එච්චරයි.

• තවමත් ප්‍රමෝද්‍යය එදා වගේ ලණු දෙනව ද?

අපොයි ඔව් අදටත් එහෙමයි. හැබැයි ඉස්සර වගේ දරුණු ඒවා දෙන්නෙ නැහැ. අද තේරුම්කමිටුවේ වගකීමක් දරනවනෙ.

• ප්‍රමෝ ගැන කිව්වම මතක් වුණේ ප්‍රමෝ අනෙක් අයට නිතර දුන්න ‘ලනු’ ගැනයි. එදා පුෂ්පෙට දුන්න ලනු අතරින් අමතකම නොවන්නේ?

ඒ කාලයේ අපි වේග පන්දු පුහුණු ඇකඩමියේ හිටියෙ. මගේ වයස අවුරුදු 18 යි. දවසක් උදේම ප්‍රමෝ කතා කරලා, උදේ 6 ට පුහුණුවීම් තියෙනවා, ගේට් එක ළඟට වරෙන් කිව්වා. මාත් උදෙන්ම ලැහැස්ති වෙලා ගේට් එක ළඟ හිටියා. පැයක් ගියා, දෙකක් ගියා, කවුරුවත් නැහැ. ප්‍රමෝ ටික වෙලාවකට පස්සෙ මා ළඟට ඇවිත් උඹට පිස්සුද අද පැක්ට්‍රිස් තියෙන්නෙ උදේ නෙවෙයි හවස 6 ට කිව්වා. ඕක මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.

• ප්‍රමෝ අර්ජුණ අය්යටත් ඒ විදියට ලනු දීලා තියෙනවා ද?

මම හිතන්නේ ඒ දිනවල ක්‍රිකට් ගහපු හැමෝම ප්‍රමෝගෙ ලනු කාලා රැවටිලා තියෙනවා. ඒවා ඉතින් මතක් කරද්දී හරිම රසවත්. ප්‍රමෝ දරුණුවටම ලනු දීලා තියෙන්නේ එයාගෙ හොඳම යාළුවා වෙච්ච මුරලිට.

සඳුන් ගම​ගේ