මම වත්මන් ජනාධිපතිතුමාගේ කිසිම දෙයකට සම්බන්ධ නෑ, සමහරු වැරැදි මත යවන්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඔහු හැමවිටම අලුත් දෙයක් ඉදිරිපත් කිරීමට සමත් වූ නිර්මාණකරුවෙකි. මේ නිසාම ඔහු නිතරම ආන්දෝලනයට ලක් වූ චරිතයක් බවට පත්විය. ඔහුගේ මියුසික් වීඩියෝ බොහෝ දෙනාගේ දැඩි විවේචනයට ලක්විය. තරුණියන්ගේ අඩනිරුවත පෙන්වමින් මෙරට මියුසික් වීඩියෝ කලාව උඩුයටිකුරු කළ ඔහුගේ ගීත නිර්මාණ ජාත්‍යන්තරයේ බොහෝ දෙනාගේ අවධානයට පාත්‍රවිය. මෙරට විවේචන මධ්‍යයේ වුවද ඔහු තම සුපුරුදු කටයුතු අත්නොහලේය.  

 

නිතරම ආන්දෝලනාත්මක පුවත් මවන මේ නිර්මාණකරුවා ඉරාජ් වීරරත්නය. ඔහු ගායකයකු මියුසික් වීඩියෝ නිර්මාණකරුවකු, යු ටියුබ් නාළිකා මෙහෙයවන්නකු හා රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙස තමන්ගේ නිර්මාණ කටයුතුවල නිරත වී සිටියි. ඔහුගේ නවතම යූ ටියුබ් නාළිකාව ‘ඉරාජ් ෂෝ’ (Iraj Show) නමින් පසුගිය දා එළිදක්වනු ලැබිණි. මෑත කාලයේ වෙබ් අඩවි සම්බන්ධ සිදුවීම්වල දී ඔහුගේ නමත් කියැවී ඇත. මේ පිළිබඳව දැන ගැනීමේ අටියෙන් ඉරාජ්ට අපි කතා කළෙමු. පුවත්පත්වලට සම්මුඛ සාකච්ඡා දීමෙන් වැළකී සිටිය ද ඔහු අප කෙරෙහි තැබූ විශ්වාසය නිසාම කතාබහ කිරීමට කැමති විය. එයට ගරු කරමින් අපගේ කතාබහ ආරම්භ කළෙමු.  


ඔබ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගේන්න සමාජ මාධ්‍ය හරහා ලොකු වැඩ කොටසක් කළා නේද?  

ඔව්. ජනාධිපතිතුමා බලයට ගේන්න මම උදව්කළ බව ඇත්ත. පසුගිය ආණ්ඩුකාලයේ තිබුණු ප්‍රශ්නත් එක්කත් සහ තිබුණු කරදරය හින්දා ඒ අය එළවන්න සහ අලුත් කෙනෙක් පත්කරන්න වැඩ කටයුතු කළා. එච්චරයි. එතනින් එහාට කිසිම සම්බන්ධයක් නැහැ.  


අද දිනයේදීත් ජනාධිපතිතුමාගේ සමාජ මාධ්‍ය හසුරුවන්නකු විදිහට වැඩ කරනවා ද?  

කොහෙත්ම නෑ. මම වත්මන් ජනාධිපතිතුමාගේ කිසිම දෙයකට සම්බන්ධ නෑ. සමහරු වැරැදි මත යවන්නේ. මම එහෙම කිසිම සමාජ මාධ්‍ය ජාලයක් හෝ යූ ටියුබ් නාලිකාවක් හෝ රජය වෙනුවෙන් කරන්නේ නෑ.  


ඔබගේ ගීත හා මියුසික් වීඩියෝ බොහෝ ආන්දෝලනාත්මක ඒවා බවට පත්වුණා. එහෙම දේවල් කළේ ඇයි? අලුත් දෙයක් කිරීමේ වුවමනාවෙන්ද?  

ඒවා ලෝකයේ අලුත් දේවල් නොවෙයි. ලංකාවේ සාමාන්‍යයෙන් කෑ ගහන නිර්මාණ, ලංකාවට අලුත් වුණාට ලෝකයට පරණයි. ආන්දෝලනාත්මක විදිහට ලොකුවට කෑ ගැසුවාට ඒවා සාමාන්‍ය දේවල්. ඇමරිකාවේ, ඉන්දියාවේ වගේ රටවල් ඒවා සාමාන්‍ය දේවල් විදියට තිබෙන්නේ.  


ඒත් මේවා කතාබහට ලක්වුණේ කුමක් හින්දා කියල ද ඔබ හිතන්නේ ? ඔබේ මියුසික් වීඩියෝවල කාන්තාවන්ගේ අඩනිරුවත පෙන්වීම බොහෝ කතාබහට ලක්වුණා. එහෙම නේද?  

ඒවා ඉතිං පැෂන්. සමහර කාන්තාවන් අඳින විදිහ. ඒ පැෂන් එකට ලංකාවේ සමහර අය කැමැති නෑ. හැබැයි ඉතිං ලෝකයේ එවැනි දේවල් සිදුවෙනවා. විශේෂයෙන් තරුණ තරුණියන් මේවාට කැමැතියි. ඒ හින්දා තමයි මේ මියුසික් වීඩියෝ මෙතරම් ජනප්‍රිය වුණේ. අලුත් පැෂන්වලට තරුණ පරම්පරාව කැමැතියි. බොරු මත දරන අය තමයි කෑ ගහන්නේ.  

 

ඔබ ලෝකයේ තිබෙන ප්‍රවණතා මෙරට ජනතාවට හඳුන්වා දෙන්න උත්සාහ කළත් නිතරම විවේචන එල්ල වෙනවා. ඇයි ඔබට මෙතරම් චෝදනා එල්ල කරන්නේ?  

මම කෙලින් කතාකරන හින්දයි මඩ ගහන්නේ. මම ජේ.වී.පී. එක කරන ගොඩාක් දේවල් විවේචනය කළා. ගිය ආණ්ඩුව තිබුණු කාලයේ දේවල් මම ගීතවලින් විවේචනය කළා. ඉතිං ඒවාට තරහ ගිය අය තමයි චෝදනා එල්ල කරන්නේ.  


ඔබ පසුගිය ආණ්ඩුව කාලෙත් ඔබේ නම හා මුහුණ යොදාගනිමින් දැඩි ලෙස නිර්මාණවලින් විවේචනය කළා නේද?  

ඔව්. මම කියන්න තිබෙන දේ කෙලින්ම මගේ නම හා මුහුණ දාලා කළේ. ඒක සමහරුන්ට රිදෙන්න ඇති. 

 
ඔබ මියුසික් වීඩියෝ හා යූ ටියුබ් වලින් විශාල මුදලක් උපයාගන්නා බවත් සමහරු කියනවා. ඒවා ඔබ දුප්පත් ළමයි, පන්සල්වලට පරිත්‍යාග කරන බවයි දැනගන්න තිබෙන්නේ. ඇත්තද මේ කතාව?  

මට එන යූ ටියුබ් ආදායම්වල සියලුම මුදල් යොදවන්නේ ඔබ කී දේවල්වලටයි. සමහර යූ ටියුබ්වල ආදායමටත් වඩා වැඩි මුදලක් මම යොදවනවා. විශේෂයෙන් පිළිකා හැදුණු ළමයින්ට මුදල් එකතු කරන්න. ඒ වගේම උතුරු නැගෙනහිර පන්සල්වලට හා දුප්පත් පන්සල්වලට දුප්පත් ළමයින්ට මේ සල්ලි යොදවනවා. මම ඒ යූ ටියුබ්වලින් ලැබෙන මුදල් කිසිවක් තියාගන්නේ නැ. ඒවා සියල්ල මම ඒ වෙනුවෙන් පරිත්‍යාග කරනවා.  


ඔබට දේශපාලනයට එන්නත් ආරාධනා ආවා ද?  

ඔව්. ආරාධනා ආවා. ඒත් මට දේශපාලනය කරන්න කිසිම කැමැත්තක් නෑ. මම දේශපාලනයේ යම් යම් දේවල් විවේචනය කළා. හැම පක්ෂවලම වැරදි දේවල් විවේචනය කළා. හැබැයි ගිය ආණ්ඩුව කාලයේ ගොඩාක් විවේචන සිදු කළා. මොකද තිබුණු ප්‍රශ්නත් එක්කයි එහෙම සිදු වුණේ.  

 

ඔබේ අදහසක් තිබෙනවා ද? ඉදිරියේ දී දේශපාලනයට එන්න?  

කොහෙත්ම නෑ. මම දේශපාලනයට එන්න කිසිම අදහසක් නෑ. මොකද ලංකාවේ දේශපාලනය කියන්නේ ජරාම ජරා දේහපාලනයක්. ඒ හින්දා කොහෙත්ම එන්නේ නෑ.  


එහෙමත් නැතිනම් මේ සියලු දෙයින් ඔබ බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? ඔබගේ ඉලක්කය මොකක්ද?  

මගේ ගීතයක් ඉන්දුනීසියාවේ පසුගිය දවස්වල අතිශය ජනප්‍රිය වුණා. ලංකාවේ ‘ආරම්භයම බැලුවම’ සිංහල ගීතය ටික්ටොක් හරහා අතිශය ජනප්‍රිය වුණා. එතකොට දකුණු ආසියාවේ නේපාල​ෙය මගේ ජනප්‍රිය ගීතයක් තිබෙනවා. යූ ටියුබ් එකෙන් එය කෝටියක් පමණ ප්‍රේක්ෂකයන් නරඹා තිබෙනවා. හෙමින් හෙමින් මගේ ඉලක්කය සංගීතයෙන් ඉස්සරහට යන්නයි.  


ඔබ මේ දවස්වල මොනව ද කරන්නේ?  

ඇත්තටම මේ කාලයේ ප්‍රසංග නැති නිසා, සංගීත සංදර්ශන නැති නිසා මගේ නිර්මාණ කටයුතු කරගෙන යනවා. ඊට අමතරව යූ ටියුබ් නාලිකා හා නව වැඩසටහන් කිපයක් කරගෙන යනවා. අලුතින් යූ ටියුබ් චැනල් එකක් ‘ඉරාජ් ෂෝ’ නමින් එළිදැක්වූවා. මම දෙරණ රූපවාහිනියේ අවුරුදු 10 ක් විතර වැඩසටහනක් කළා. මම හිතුවා ඒ නමින්ම යූ ටියුබ් එකේ අලුත් පෝග්‍රෑම් එකක් පටන්ගන්න. ඒ යූ ටියුබ් හරහා මම ගොඩාක්ම ධනාත්මක දේවල් කරන්නේ. ලංකාවේ තරුණ තරුණියන්ට උදව් කරන්න. ඒ අපගේ නිර්මාණ තිබෙනවා නම් මාත් එක්ක එකතු වෙන්න පුළුවන්. මම ඒ හරහා ඔවුන්ට ජනප්‍රියත්වයක් ලබාදෙනවා. මේ චැනල් එක සම්පූර්ණයෙන්ම තරුණ පරපුරට හැදුව එකක් හා ගොඩාක් උදව් කරන්න හදපු එකක්. කලින් කළ මගේ යූ ටියුබ් චැනල් එක වෙනම තියාගත්තා. ඒක හරහා හැමදේම කරන්න බැරි හින්දා මම අලුත් එකක් හදාගත්තා.  


අලුතින් නිර්මාණ ඔබ කළා ද?  

එව්. නිර්මාණ ගණනාවක් කරලා තිබෙනවා. එන්නත්කරණය ඉවරවෙලා රට පොඩ්ඩක් යහපත් තැනකට ආවගමන් තමයි ඒවා රිලීස් කරන්නේ. මේ වෙලාවේ අපි බලන් ඉන්නවා යුද හමුදාව විශිෂ්ට සේවයක් කරනවා. අපි හිතනවා මේ ප්‍රශ්නය ඉක්මනින් විසඳෙයි කියලා.  

ලංකාවේ වෙනස් දෙයක් කළොත් දන්නේ නැති අය කෑගහනවා. හැබැයි දවස් 2 - 3 ක් ගියාම එය සාමාන්‍ය බවට පත්වෙනවා. ඒ වගේම මගේ නිර්මාණවලට බැන, බැන ඒවා ෆලෝ කරන අයත් ඉන්නවා.  

 

කතාබහ කළේ - සමන්ත යහම්පත්