මමයි - අක්කයි එකතුවෙලා අපේම වියදමින් තාත්තා වෙනුවෙන් ප්‍රසංගයක් කළා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මරියෝ ආනන්ද, ඒ කියන්නෙ ග්‍රේෂන් ආනන්ද ප්‍රවීණයාගේ පුත්‍රයා. ග්‍රේෂන් ආනන්ද ආදරණීය ගායන ශිල්පියා, සංගීතඥයා මිය ගිය පසු ඔහුගේ මේ පුතු තාත්තාගේ ගීත ගයමින්  කරළියට පැමිණියා. ඒත් පසුගිය කාලයේදී නම් ‘මාරියෝ’ පේන්න හිටියේ නැහැ. ඒ විදියට නොපෙනී හිටපු ඔහු ඔන්න පසුගියදා අලුත් වැඩක් එක්ක යළිත් කාරළියට ආවා. හැබැයි ඒක වෙනස්ම වැඩක්. වෙනස් පිරිසකට කළ සංගීතමය ආමන්ත්‍රණයක්. ප්‍රසංගයක් එහෙම පවත්වා ‘මාරියෝ’ එම සංගීත නිර්මාණය එලි දැක්වූයේ පසුගිය ඔක්තෝබර් 1 වැනිදාය. ඒ කියන්නෙ ලෝක ළමා දිනයදා. මේ වැඩෙන් ටිකක්, වෙනස් වෙලා. කරළියට නැවතත් ආ මාරියෝ ආනන්ද එක්ක අපි ටිකක් කතා කළොත් හොඳයි නේද?

මාරියෝ ආනන්ද නිතර පේන්න නැත්තේ?

ඔව් ඒක ඇත්ත, ඉන්නවට වඩා පේන්න නැහැ වගේ තමයි පෙනෙන්නෙ.

අන්තිමට ප්‍රසංගයක් කළේ ?

මීට අවුරුදු තුනකට විතර පෙරදී තාත්තා වෙනුවෙන් මමයි - අක්කයි ප්‍රසංගයක් කළා. තාත්තා මිය ගිහින් අවුරුදු 12 ක් විතර වෙනවා. ඒ කාලයේදී මමයි - අක්කයි එකතුවෙලා අපේම වියදමින් තාත්තා වෙනුවෙන් ප්‍රසංගයක් කළා. සෑම දෙසැම්බර් මාසයකම 29 දා ‘ප්‍රතිරාව’ නමින් ඒ ප්‍රසංගය අපි ඉදිරිපත් කළා. එහිදී අපි ගැයුවේ තාත්තාගේ සැඟවී තිබූ ගී නිර්මාණ. තාත්තා මිය ගිය දෙසැම්බර් 29දායි. ප්‍රසංගය අතින් වියදම් කරගෙන දිගටම කරගෙන යන්න තරම් තවදුරටත් පුළුවන් වුණේ නැහැ. අක්කගේ ජීවිතය, අම්මගේ ජීවිතයට වග කියන්නත් ඕනෑ. ඒ නිසා ගෙදර තියෙන සල්ලි ටික වියදම් කර හරියන්නෙ නැහැ කියා මම හිතනවා. එහෙම හිතලා නැවැත්වුවාට, ආයෙත් මම කළේ ඒකම තමයි. මොකද ප්‍රසංගය නවත්වලා සංගීත නිෂ්පාදන වැඩ පටන් ගත්තා. ඒවාට වියදම් කරන්න වුණෙත් ගෙදර සල්ලි.

මාරියෝ ඉගෙන ගත්තෙ මොන අංශයෙන්ද?

උසස් පෙළින් පසුව මම කළේ පුද්ගලික කළමනාකරණ අංශයේ උපාධියක්. ඒත් ජොබ් එකක් කිරීමේ අදහස තිබුණෙ නැහැ. තාත්තා නැතිවීම එක්ක පටන් ගත්ත සංගීත ගමන දිගටම යමින් හිටියා. ටුවර් එකක් ආවත්, පොඩි වැඩක් හෝ ලොකු වැඩක් කළත්, මම හම්බ කළේ සංගීතයෙන්. එය අදටත් එහෙමයි. තාත්තා සිටියදී මම ගායනයට ආවේ නැහැ. හැබැයි තාත්තාගේ ගීතයකට සංගීතය නිර්මාණය කළා. ක්ලැරන්ස් විජේවර්ධන මහතා වෙනුවෙන් තාත්තා කළ කොවුලා කොහෙදෝ ඒ ගීතයයි. ඒකට සංගීත අධ්‍යක්ෂණය කළ වග තාත්තා දැන ගත්තෙත් පසුවයි. ඒක දැකලා එයා හරියට සතුටු වුණා. මොකද තාත්තාගෙ ගීත වලින් විතරක් නොවී මගේම ගමනක් යන්න පුළුවන් බව තාත්තා මට කිව්වා. ඒත් ලාංකීය සමාජය මා ගැන දැන ගන්නේ කාලයක් ගිහින්.

කොහොමවුණත් අද ඔබ ඉදිරිපත් කළ මේ ගීතය වෙනස් එකක්නෙ. ක්‍රීඩාවයි, සංගීතයයි, මොකක්ද මේ?

මම කොහොමටත් ක්‍රීඩා අංශයට ලැදි කෙනෙක්. වසර පහකට කලින් සංගීත ක්ෂේත්‍රයේ කටයුතු වලින් ඈත් වන විට මම තීරණයක් ගත්තා. ප්‍රසංගවලට යන එක සහ මාධ්‍ය හමුවේ පෙනී සිටීමත් නැවැත්තුවා. පාස්කු ප්‍රහාරයෙන් පසුව මට ඇති වුණේ දැඩි වේදනාවක්. සහරාන්ලා වගේ අය එකතුවෙලා අහිංසක මිනිස්සු රැසක් මරලා දැම්මා. ඒ විදියට මිනිස්සු මරන්න එයාලට සංවිධානය වෙන්න පුළුවන් නම් ඇයි අපට සංවිධානය වෙලා යහපත් දෙයක් කරන්න බැරි? එහෙම හිතලා මම ළමා පරපුර බේරා ගන්න යමක් කළොත් හොඳයි කියලා හිතුවා. ටොෆි චොකලට් වගේ දේ මත්ද්‍රව්‍ය ලෙස ළමා පරපුරට දීමට තරම් සමහර මිනිස්සු සංවිධානය වෙනවා නම්, ඇයි අපට බැරි ඒ වගේ දේ වලින් ඔවුන්ව මුදවා ගන්න? මගේ අක්කා සහ යාළුවෝ කීපදෙනෙක් එකතුවෙලා සමාජය, විශේෂයෙන්ම ළමා පරපුර වෙනුවෙන් වැඩ සටහනක් දියත් කළා. මට ඒ වෙනුවෙන් හොඳටම සුදුසුකම් තියෙනවා. මොකද මම මගේ ජීවිතයේ මේ දක්වා කිසිම විදියකින් මත්ද්‍රව්‍ය භාවිතා කරළා නැහැ. දුමින් - මතින් තොරයි. ඒ වගේ දේට වියදම් කරලත් නැහැ. ඒ නිසා චරිතයක් ලෙස මා දිහා බලලා ගමනක් යන්න පුළුවන් කියලා මට ළමා පරපුරට කියන්න පුළුවනි.

එතකොට ඒ අතරේ පිහිනුම් ක්‍රීඩාව සහ තවත් ක්‍රීඩා කරන්න පටන් ගත්තෙ?

ඉන්නකො මම කතාව සම්පූර්ණ කළේ නැහැනෙ. ඉතින් පසුගිය කාලයේදී මම මගේ සිරුරේ ශක්තිය භාවිතා කර කළ හැකි ක්‍රීඩා තෝරා ගත්තා. බාස්කට්  බෝල් සහ පිහිනුම් ක්‍රීඩාව පසුගිය දෙවසර ප්‍රගුණ කළා. ඒ විතරක් නොවෙයි එම අංශ වලින් සැඟවී සිටි ළමුන් එළියට ගේන්නත් මට පුළුවන් වුණා. ළිවින් ඔන්ද ඒජ් (Living On The Age) වැඩ සටහන දියත් කළේ ඒ විදියටයි. එම වැඩසටහනට දායක වන දරුවන් ප්‍රතිඥාවක් දෙනවා. ඒ තමයි, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි නොවන බව සහ එන එන රැලිවලට හසුනොවී ක්‍රීඩාවේ උපරීම දුරකට යන බවට. ඊට පස්සේ මම ‘වුෂූ’ ඉගෙන ගත්තා. සතපහක්වත් මගේ සර් මගෙන් ඒ වෙනුවෙන් සල්ලි ගත්තේ නැහැ. ලීල් ධර්මප්‍රිය සර්ට ඒ ගෞරවය හිමිවන්න ඕනෑ. තවත් ලස්සන දෙයක් වුණා. සැරින් සැරේට බුත්තල යනවා. ඒ ගිය ගමනකදී අවුරුදු 7 ක දරුවකු හමුවුණා. එයාගෙ නම හිමංෂ. ඒ ළමයා ගැන තමයි මම මේ ගීතය කළේ. රොක් ඇන්ඩ් රෝඅර් (Rock and Roar) කියලා. සිංහලෙන් නම් කළේ සැරසිංහ පැටව් කියලා. ඒ ළමයාව මම ඔක්තෝබර් 1 වැනිදා ප්‍රසංගයට එක්ක එන්න හිටියෙ. ඒත් ගමේ කුහකත්වය නිසා එයාට එන්න බැරිවුණා. ඒ ළමයයි - මායි දෙන්නම දුක් වුණා. ඒත් හිමංෂ නැතුව හරි මම ඒ වැඩේ කළේ ඒ කතාව කියන්න ඕනෑ නිසයි. මේ ළමයාගෙ හැකියාවට ගමේ අය ඊර්ෂ්‍යා කරනවා. අද මේ සිංදුව ලංකාවේ අය විතරක් නොවෙයි. ලෝකෙම ඉන්න සුද්දො පවා  අහන්න පටන් අරන්.

හරි අපිට දැන් කියන්නකො ඔබ ලෝක ළමා දිනය දවසේ එළි දැක්වූ ජාත්‍යන්තරයට ගීතය ගැන?

ලංකාවේ දුප්පත්කම දරාගෙන සිටින ළමයින් ගැන කියැවෙන්නෙ. අපි මොන විදියට කතා කළත්, අපේ රටේ හොඳම සැපසම්පත් ලබා ගන්නෙ එක පිරිසක් විතරයි. එයාලා සියලු දේ භුක්ති විඳලා බැරි වුණාම රට අත්හැරලා යන අවස්ථාවාදීන්. මේ වගේ වාතාවරණයක් ඇති රටක ළමයකුට රටකට යන්න වීසා එකක් ගහගන්න එකත් හීනයක්. හිමංෂ වගේ කරවිලයි බතුයි විතරක් කන ළමුන් ඉන්න රටක් මේ. ඒ වගේ දරුවන් මේ රටේ තනි වෙනවා.  ඒ නිසා යන එවුන්ට යන්න දීලා උඹලා කවදාහරි මේ රටේ රජ කරාවි යන සංකල්පය තමයි මට මේ ගීතයෙන් සමාජගත කරන්න ඕනෑ වුණේ. රොක් ඇන්ඩ් රෝඅර් සහ සැර සිංහ පැටව් ගීතයට රැප් ශෛලියෙන් ගයන්නෙ කිනෝන් ඇන්ජලෝ. මේ ගීතය ගැන හෙට දවසේ ජාත්‍යන්තරය කතා වේවි.

සඳුන් ගමගේ