මහණ වෙන්න අකමැත්තක් නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සචින්ත රන්දීප පෙරේරා, ඔහුගේ නම වුවද, අද ටෙලිනාට්‍ය නරඹන ලංකාවේ බොහෝ දෙනා ඔහු ගැන දන්නෙ නාඩගම්කාරයෝ නාට්‍යයේ ‘පොඩි හාමුදුරුවෝ’ ලෙසයි. සද්ධා මංගල සූරියබණ්ඩාර යටතේ ඉන්ෆාස් ආයතනයෙන් රංගනය හදාරා, මේ විදියට රංගනයට ආ සචින්තගේ පළමු ටෙලිනාට්‍ය රංගනය වන්නේ මේ පොඩිහාමුදුරුවන්ගේ චරිතයයි. ‘සචින්ද රන්දීප’ සඳැල්ල කතාබහට එක්වුණේ මේ විදිහටයි. 

‘සචින්ත ද’? රන්දීපද? අමතන්න ඕනැ?

‘සචින්ත’ කියා තමයි බොහෝ දෙනා දන්නෙ.

ගම

උපන්නෙ වත්තල. දැන් පදිංචිය දෙල්ගොඩ.

පවුලේ විස්තර කියමු?

අම්මයි, තාත්තයි, අක්කයි, ආච්චියි, මමයි. අක්කා විවාහකයි. 

මොන වගේ පවුලක්ද?

කලාවට සම්බන්ධ පවුලක් නෙවෙයි. අක්කා හෙදියක්. එයා විවාහවෙලා ඉන්නෙ වෛද්‍යවරයෙක් සමග.

කොහෙද පාසල් ගියේ?

අන්තිමට දෙල්ගොඩ කල්‍යාණ ප්‍රදීප පිරිවෙනේ අධ්‍යාපනය ලැබුවේ. ඊට පෙර පාසල් කීපයකට ගියා.

අරමුණ වුණේ?

රංගනයට ආසා කළා. ඉගෙන ගන්නෙත් ‘ඩ්‍රාමා’ අංශයෙන්. පාසල් කාලයේ ඉඳලාම වැඩමුළුවලටත් ගියා. පාසල් නාට්‍ය කණ්ඩායමෙත් හිටියා. පසුව වේදිකා නාට්‍යවලත් රඟපෑවා. රංගනයට අත්තිවාරම වැටුණේ පාසලෙන්.

ඇයි රංගනයට එච්චරටම ආස?

පොඩි කාලයේ ඉඳලා තිබුණු හීනයක්. ඒ හැර විශේෂ හේතුවක් තිබුණෙ නැහැ. දක්ෂයි කියලත් හිතුවා. පාසලේදි සහතික එහෙම ලබද්දි, එහෙම හිතුවා.

දැන් මේ පොඩිනමගේ වයස කීයද?

ඔක්තෝබර් 21 ට අවුරුදු 22 යි.

අපි කියමු මේ නාඩගම්කාරයෝ පොඩි හාමුදුරුවන්ගෙ චරිතය ලැබීමට විශේෂ හේතුවක් තිබුණද?

විශේෂ හේතුවක් තිබුණෙ නැහැ. සද්ධා සර් තමයි ඒ අවස්ථාව මට ලබා දුන්නෙ. ස්ක්‍රීන් ටෙස්ට් තියන්නවත් සුදුසු කාලයක නෙවෙයි මේකට සම්බන්ධ වුණේ. ස්ක්‍රීන් ටෙස්ට් එකට සහභාගි වුණේ ඔන්ලයින් වීඩියෝ මගින්.

ජීවිතේ පළමු වතාවට ටෙලි චරිතයක් රඟපාද්දි, ඒ හාමුදුරු නමකගේ චරිතයක් ලැබුණාම මොන වගේ අදහසක්ද ඇතිවුණේ?

ඒක දුර්ලභ අවස්ථාවක්. සිවුරක් පොරවන එක වෙනමම කටයුත්තක්. ජීවිතයට හරියට වටින දෙයක්. කැප කිරීමකින් කළ යුතු චරිතයක්. කොණ්ඩය කපන්නත් සිද්ධ වුණා.

සිවුර අඳින්න පෙර මොන වගේ පිළිවෙත් කරන්න තිබුණද?

ඔව්, පන්සලට ගිහින් බෝධි පූජා කරලා පිරිත් කියලා පිරිත් නූල් බැඳලා එහෙම කළේ. දර්ශන තලයේදි කෑම කන වෙලාවට සිවුරු අයින් කරනවා. මස් - මාළු කන්නෙත් නැහැ. සිවුරු අඳින නිසා ඒ විදියට පේවිලා ඉන්නෙ. අපි ඉන්නෙත් පන්සලක නිසා එහෙම කරනවා.

හාමුදුරු නමකගේ අත්දැකීම නැතුව කොහොමද ඒකට අනුගත වුණේ?

මුලින්ම මට බය හිතුණා. නමුත් මම අන්තිමට ඉගෙන ගත්තෙ පිරිවෙනක නිසා, භික්ෂූන් වහන්සේලාගෙ ඇසුර ලබා තිබූ නසා මට ඒක ලෙහෙසි වුණා.

මිනිස්සු ඇත්තටම රැවටිලා තියෙනවද?

අනේ ඔව්. ඇත්ත හාමුදුරුනමක් කියා හිතාගෙන වැඳලා යන අවස්ථා තියෙනවා. මැද්දගම රජමහා විහාරය වඳින්න එන බැතිමතුන්ට එහෙම වෙනවා. ෂූටිං බලන්න එන අයත් හිතන්නෙ ඇත්තටම මම හාමුදුරු නමක් කියලයි.

මොකක්ද අසීරුම වූ අවස්ථාව!

එක අවස්ථාවකදි ‘‘සිල්’’ දෙන්න තිබුණා. සෙනග ගොඩාක් හිටියා, ගාථා කියන්නත් තිබුණා. එතැනදි මම බය වුණාම, කැමරා අධ්‍යක්ෂ අයියා ප්‍රභාත් දර්ශන අයියා ඇතුළු පිරිස මගේ බය නැති කළා.

‘ගාථා’ එහෙම ඔක්කොම දන්නවද?

කලින් බලාගෙන, ඒකට සූදානම් වෙනවා.

ඇත්ත ජීවිතේ ‘සචින්ත’ මොන වගේ චරිතයක්ද?

ගෙදරට නම් සෙල්ලක්කාර, හුරතල්, අම්මගෙ ආදරය එක්ක ඉන්න කෙනෙක්. ඊට අමතරව පිළිවෙලකට ඉන්න ආස, ආඩම්බර නැති කෙනෙක්. ඕන කෙනෙක් එක්ක කතා කරන කෙනෙක්.

මේ හැර වෙන මොනවටද දක්ෂ?

ගයන්නත් පුළුවනි. තවමත් ඉගෙනීම් ඉවර කරලා නැහැ. රංගනය සහ වොයිස් ට්‍රේනින්වලටත් යනවා. රංගනයෙන්ම ඉදිරියට යාම අරමුණයි.

‘සරාලා’ එහෙම ඇවිත් වඳිනකොට මොකද හිතෙන්නෙ?

මට වඩා වැඩිහිටි නිසා, මට ලැජ්ජත් හිතෙනවා. ඒ වගේම පව් කියලත් හිතෙනවා. මට පව් පිරේදෝ කියලා බයකුත් තියෙනවා.

ඇත්තටම, මහණ වෙන්න හිතිලා නැද්ද?

ඒ වගේ අවස්ථා තිබිලා තියෙනවා. එහෙම කිව්වාම අම්මට දුකයි. මොකද ගෙදරට එක පුතෙක්නෙ ඉන්නෙ. හැබැයි මගේ අකමැත්තක් නම් නැහැ. බෞද්ධයකු ලෙස මම ඒකට කැමතියි.

‘ගිහි ජීවිතේ’ ගැන කොහොමද හිතන්නෙ?

කටුකයි, සමහර වෙලාවලදි සමහර විට කලකිරීම් එනවා. දුක් විඳලා තමයි අද මේ සිටින තැනට ආවෙ. මේ ක්ෂේත්‍රයට ඒමට පෙර බොහෝ අය විවිධ දේ කිව්වා. මොකද මේ ක්ෂේත්‍රයේ ස්ථාවර නැහැ කියලා. ඒත් මගේ අරමුණු අත් හැරියෙ නැහැ. හිතේ තිබුණු දේ කර ගන්න යහපත්ව හිතුවා.

අද නාඩගම්කාරයෝ කණ්ඩායමේ හොඳම යාළුවා කවුද?

ලොකු හාමුදුරුවෝ තමයි. මොකද නිතරම ඉන්නෙ රහල් බුලත්සිංහල මහතා එක්ක. රාළහාමිත් යාලුයි. ඒ හැර අනෙක් ඔක්කෝමලත් හොඳ යාළුවෝ.

සරා වූ සජිත මොනවද ඔබට කිව්වෙ?

එයා එක්ක රඟපෑමේ යෙදෙන අවස්ථාවලදි මට අඩුපාඩු ගොඩාක් කියලා දෙනවා. ඒ වගේම තමයි සංගීත් ප්‍රභූ අයියත්. එයත් මට බොහෝ දේ කියා දෙනවා. මේ නාට්‍යයේ අධ්‍යක්ෂතුමා ඇතුළු සියලු දෙනා හරිම ගෞරවයෙන් මතක් කරන්න ඕනෑ.

සඳුන් ගමගේ