මුළු රටේම මිනිස්සු මට වෝට් කරලා තිබුණු නිසා තමයි පළවැනියා වුණේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙවර සිරස වොයිස් ටීන් (Voice teen) කිරුළ දිනාගනු ලැබුවේ බණ්ඩාරවෙල ප්‍රනීර්ෂා ත්‍යාගරාජා දැරිවිය විසිනි. මේ පුංචි හැඩකාරිය, දමිළ - සිහල, තෙලිඟු - හිංදි ගීත ගයමින්, භද්‍ර යෞවනයේ වේදිකාවට අපූරු රසයක් ගෙන දුන් බව කිව හැකිය. මලක් වගේ රුවට පිපුණු මේ ගැයුමට අපූරු දක්‍ෂතා ඇති මේ ප්‍රනීර්ෂා දියණිය කොහොම කෙනෙක්ද කියලා මේ පිළිසඳරේදී අපට කියාවි. ඇය සමඟ පිළිසදර ඇරඹීමට පෙර අපට විශේෂයෙන් කිවයුතු දෙයක් තිබේ. එනම් මේ දැරිවිය වොයිස් ටීන් අවසන් තරගයට සූදානම්ව සිටියදී ඩෙංගු රෝගය ඇයට වැළඳී තිබිණි. මේ නිසා ඇඳෙන් බිමට බහින්නවත් එපා, යනුවෙන් වෛද්‍යවරු ඇයට උපදෙස් දී තිබිණි. ඇය අවසන් සජීවි තරග මොහොතට පැමිණියේ එලෙසින් ප්‍රතිකාර ලබමින් සිටියදීය. දෙයක් හිමිවේ නම් එය සුදුස්සාටම හිමිවිය යුතුය. ප්‍රනීර්ෂා ගැයුමෙන් කියා පෑවේ එය නොවේද?

දුවගෙ සම්පූර්ණ නම

ත්‍යාගරාජා ප්‍රනීර්ෂා.

ප්‍රනීර්ෂා කියන්නෙ?

අපේ අම්මා තමයි ඒ නම මට දැම්මෙ.

ගම කොහෙද?

බණ්ඩාරවෙල.

අම්මා - තාත්තා මොනවද කරන්නෙ

අම්මා ගුරුවරියක්, තාත්තා ව්‍යාපාරයක් කරනවා.

තව කවුද ඉන්නෙ?

අක්කා, එයා බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාවෙන් උසස්පෙළ හදාරනවා. එයාගෙ නම රදූර්ෂා

ප්‍රනීර්ෂා ආසම විෂය?

විද්‍යාව

කවදාහරි මොනවා කරන්නද ආසා කරන්නෙ?

මම ආස ඩොක්ටර් කෙනෙක් වෙන්න. මම ඉගෙන ගන්නෙ බණ්ඩාරවෙල දමිළ මධ්‍ය මහා විද්‍යාලයේ.

ඇයි වොයිස් ටීන් එන්න හිතුවෙ?

ඔඩිෂන් (කුසලතා පරීක්‍ෂණයට) ආවා. මේ විදියට ඔඩිෂන් තියෙනව කියලා දැනගත්තාම තමයි ඇප්ලයි කළේ. කොහොමටත් මම වොයිස්ටීන් එකට ආසයි.

ගෙදර දී නිතර සිංදු කියනවද?

ඔව්,

වැඩිපුර කාගේ ගීතද මුමුණන්නෙ?

එක්කෙනෙක්ගෙ කියලා නෑ. හැමෝගෙම වගේ ආසා හිතෙන ඒවා අහනවා.

ඉගෙන ගන්නෙත් දමිළ භාෂා පාසලකින්, කොහොමද ප්‍රනීර්ෂා මෙච්චර හොඳට සිංහල ගීත ගයන්න පුරුදු වුණේ?

ටැමිල් ස්කූල් ගියාට මම ඉගෙන ගත්තෙ ඉංග්‍රීසි භාෂාවෙන්. මුලින්ම මේ තරගයට එද්දි මට සිංහල වචන විතරයි කතා කරන්න පුළුවන්. ඒත් වොයිස් එකේ. යාළුවෝ එක්ක එකට එකතුවෙලා කතා කරද්දී, සිංහල ගීත අහද්දී හුරුවුණා. මගේ කෝච් අභිෂේකා විමලවීර මැඩම් තමයි මට ගීත තෝරලා දීලා ඔක්කෝම පුරුදු කළේ.

වැඩිය කැමති බණ්ඩාරවෙලටද? කොළඹටද?

දෙකටම ආසයි. කොළඹ හරිම වෙනස්. බණ්ඩාරවෙලත් වෙනස්. ඒ නිසා ආසයි.

බණ්ඩාරවෙල, එළවළු - මල් එහෙම වගා කරනවනෙ, ප්‍රනීර්ෂා ගෙ ගෙදර අයත් වගා කරනවද?

අපේ වත්තෙ එළවළු - මල් තියෙනවා. ඒවා ෆ්‍රෙෂ්.

වොයිස් ටීන්- ‘කප්’ එක ලැබේවි කියලා ප්‍රනීර්ෂා හිතුවද?

ඇත්තටම හිතුවෙ නෑ. මුළු රටේම මිනිස්සු මට වෝට් (SMS) කරලා තිබුණු නිසා තමයි පළවැනියා වුණේ.

වොයිස් ටීන් තරගයට එන්නට පෙර කොළඹ කී සැරයක් ඇවිත් තියෙනවද?

කීප සැරයක්ම ආවා. උත්සවවලට එහෙම.

ප්‍රනීර්ෂාට මෙච්චර ගොඩාක් මනාප ලැබෙන්න ඇත්තෙ ඇයි?

එක - එක විදියට ගීත කිව්වනෙ. ඒ නිසා වෙන්නැති විවිධ ගීත අහන්න මිනිස්සු ආසයිනෙ.

ඩෙංගු උණ හැදිලා තියෙද්දිනෙ අවසන් මොහොතේ වේදිකාවට ආවෙ? නේද?

ඔව්, ඊට ඉස්සෙල්ලා රෝහල් ගතවෙලා හිටියෙ ෆයිනල් ෂෝ එකට පෙර රිහසල් එකට ආවෙත් එක දවසයි. එච්චරම අමාරු වුණා. ප්ලේට්ලට් හොඳටම බැහැලා තිබුණෙ. ඒ නිසා හෙල්ලෙන්නෙවත් නැතුව ඉන්න කියලා තමයි ඩොක්ටර් අංකල් කිව්වෙ. එයාලා මාව සනීප කරන්න ගොඩක් මහන්සි වුණා. තවමත් ඇඟට පණ නැහැ. ෆයිනල් එකට යන්නෙ නැතුව රෙස්ට් කරන්න හිටියෙ. ඒත් අන්තිමට ඇවිත් ගීතයක් ගයන්න ලැබීම ගැන හරි සතුටුයි.

ගෙදරදී ප්‍රනීර්ෂා මොනවද කරන්නෙ?

ටී.වී. බලනවා, ගීත අහනවා. නටනවා, පාඩම් ඔන්ලයින් එකෙන් කරනවා. මට කතා කරන්න මහන්සියි වගේ අපේ තාත්තාට දෙන්නද ෆෝන් එක අංකල්?

හරි දෙන්න.. දෙන්න...?

ඉන්න අංකල්.. ආ තාත්තා

ඉතිං කියමුකො බලන්න ප්‍රනීර්ෂාගෙ තාත්තගෙ නම?

පෙරුමාල් ත්‍යාගරාජා.

දුවගෙ ජයග්‍රහණය ගැන කොහොමද හිතෙන්නෙ?

හරිම සතුටුයි. මේ වගේ ලොකු චැනල් එකක, ලොකු තරගයකින් එයා දින්නානෙ. ඒක ඇත්තටම හීනෙන්වත් හිතන්න බැරි තරමේ දෙයක්.

කොහොමද මේ දුව ගෙදරදි දඟ වැඩ කරනවද?

පොඩ්ඩක් අක්කා එක්ක රණ්ඩු කර ගන්නවා. ඉස්කෝලෙත් ටිකක් දඟයි. ඒත්, ඉස්කෝලේ වැඩ හොඳට කරනවා. එක්සෑම් හොඳට ලියනවා.

අම්මගෙන් වැඩිපුර මොනවගේ කෑමද ඉල්ලන්නෙ?

අපි කොහොමටත් සතියට දෙපාරක් විතර ඉට්ලි එහෙම හදනවනෙ? ඒවාට ආසයි.

දැන් ප්‍රනීර්ෂාට අවුරුදු 13යිනෙ. මේ ගෙවී ගිය කාලයේදී දුව සම්බන්ධයෙන් අමතකම නොවන සිදුවීම මොකක්ද?

එක පාරක් අපි ෆැමිලි එක කතරගම ගිහින්, හම්බන්තොට යද්දී මුහුද බලන්න ගියා. රැල්ල පාගාගෙන ඉදිද්දි, දුවලා දෙන්නම ලොකු රැල්ලකට අසුවෙලා පාවෙලා යද්දි, ටී ෂර්ට් විතරයි දැක්කෙ. මගේ නෝනා එයාලා දෙන්නව බේරා ගත්තෙ ටී ෂර්ට් එක දැකලා. ටී ෂර්ට් දෙකෙන් ඇදලා අරගෙන. දැන් අවුරුදු පහකට විතර කලින් ඒක වුණේ. එදා අනූනමයෙන් ජීවිත බේරුණේ. ඊළඟ අවුරුද්දෙ ගිහින් ඒ නිසා අපි ආයෙත් බාරයක් වෙලා ආවා. ඒත් මුහුද ළඟදී රතුපාට ටී- ෂර්ට් දකිද්දී අදටත් බය හිතෙනවා. අද මුහුද ළඟට ගියාට රැල්ල පාගන්න යන්නෙ නැහැ.

මේ දුවගෙ හොඳම ගුණාංගය මොකක්ද?

අම්මට උයන්න එහෙම උදවු කරනවා. පුංචි වුණාට ප්‍රනීර්ෂාටත් උයන්න පුළුවනි. පරිප්පු රසට උයනවා. ජෙලි හදන්නත් පුළුවන්. එයා සෑම දෙයක්ම කරන්න උත්සාහ ගන්නවා. වොයිස්ටීන් තරගයට ආවෙත්, ඉදිරිපත් වෙලා බලන්නයි. ජය ගන්නම හිතාගෙන නෙවෙයි. කෝච් එයාට පුහුණු කරලා ගත්තනෙ. ඒ නිසයි මෙච්චර දුර ගමනක් ආවෙ. අපි කළේ තරගයට ගෙනැල්ලා දැම්ම එක විතරයි. ඉතුරු ටික කළේ සිරස කණ්ඩායම සහ අභිෂේකා විමලවීර මහත්මිය.

නිවාඩුව ගත කරන්න දුවලා දෙන්නා වැඩිපුරම කැමති කොහොමද?

ආච්චිලාගෙ ගෙදර යන්න තමයි එයාලා ආසම. තලවකැලේ ආගරපතන. එහේ සරස්වතී මෙඩිකල් සෙන්ටර් කියලා මෙයාලගෙ මාමට ෆාමසි එකක් තියෙනවා. එතැන තමයි ගෙදර තියෙන්නෙත්. මෙයාලා එහේ යන්න හරි ආසයි.

දුවට ඩෙංගු හැදිලා කියලා දැන ගත්තෙ කොහොමද?

ඉස්සෙල්ලාම උණ නිසා, උණට බෙහෙත් ගන්න ගියේ. පස්සෙ ඩෙංගු පොසිටිව් කියලා දැන ගත්තාම අපි ඉක්මණට රෝහලට ඇඩ්මිට් කළා.

ප්‍රනීර්ෂාගෙ අම්මගෙ නමත් කියමු?

ආර්මුගම් කවීදා.

දුවලා දෙන්නා ගැන සහ ඔබගෙ පවුල ගැන කොහොමද හිතෙන්නෙ?

අපි හරි එකමුතු පවුලක්. ඒ වගේම කවදාවත් අපට සිංහල සමාජයෙන් ප්‍රශ්න ඇතිවෙලා නැහැ. අපි එකම රටක ආදරණීය ජනතාවක්. දුවගෙ මේ ජයග්‍රහණය පවා බලන්න, එයාට ජාති ආගම් භේද නැහැ, ඔක්කෝමලා හරි ආදරෙයි. අපිත් එහෙමයි, අපේ ලංකාවට- ආදරෙයි. දුව පංසල් යනවා, කෝවිල් යනවා, එයාට ආගම් ප්‍රශ්න නැහැ. ඒ බැඳීම එයාට තියෙනවා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ජාත්‍යන්තරව රටට කීර්තියක් ගෙන දෙන්න ප්‍රනීර්ෂා උත්සාහ ගනිවී.

සඳුන් ගමගේ