රටම සුව පතන ජැක්සන් ගැන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රැඟුම, ගැයුම, වැයුම, නැටුම පමණක් නොවේ, ඒ මහා කලාකරුවා, අධ්‍යක්‍ෂණයට, රචනයට, ලියැවිල්ලට, කියැවිල්ලට, දෙසුමට, ජීවයක් දුන් දුර්ලභ ගණයේ කලාකරුවෙකි. ඒ, අන් කවරකුවත් නොවේ ජැක්සන් ඇන්තනී නමැති ප්‍රතාපවත් කලාකරුවාය. නළුකම කැමරාව ඉදිරියේ සිත්තම් කරන ඔහු සැබෑ ජීවිතයේ දී පොළවේ පය ගසා ගහට කොළට ආදරය කරමින්, මිනිස්සුන්ට ආදරය කරමින් ජීවත් වන තවත් සොඳුරු මිනිසෙකි. ඒ සුන්දර මිනිසා අනතුරකට මුහුණ දී අද රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී. ඔහු එදා මේ අනතුරට මුහුණ දුන්නේ, ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ, ‘‘සිංහබාහු’’ සිනමා නිර්මාණයෙහි රූගත කිරීම්වලට සහභාගි වෙමින් සිටිය දී ය.

සාමාන්‍යයෙන් සිනමා නිර්මාණයක් කිරීමේදී, ආචාර්ය සෝමරත්න දිසානායකයන් සහ රේණුකා බාලසූරිය දෙපළ යනු සිනමා නිර්මාණයට දායක වන නළු නිළි පිරිසට මෙන්ම සමස්ත කණ්ඩායමේ සියලු දෙනා වෙනුවෙන් නවාතැන් පහසුකම් ඇතුළු අනෙකුත් සියලු දේ ලෝභ නැතිව උසස් මට්ටමින් ලබාදෙන නිර්ලෝභී යුවළකි. මෙම ‘සිංහබාහු’ චිත්‍රපටය යනු දැවැන්ත සිනමා නිෂ්පාදනයකි. මෙම චිත්‍රපටය වෙනුවෙන්ද නිෂ්පාදන කටයුතු සම්පාදනය කර තිබුණේ, පිළියෙළ කර තිබුණේ එලෙසින් උසස් අයුරිනි. වායුසමනය කළ සුපිරි සුඛෝපභෝගී බස්රථ, සියලු පහසුකම් සහිත නවාතැන් ස්ථාන සියල්ල සිංහබාහු සිනමා කණ්ඩායමේ සියලු දෙනා හට සම්පාදනය කර තිබිණි.

එහෙත් ජැක්සන් ඇන්තනී ප්‍රවීනයා, ලංකාවේ කොහේ ගියත් පණමෙන් ආදරය කරන දෙයක් තිබේ. ඒ දශක දෙකකට එහා අතීතයක් ඇති ඔහුගේ ඩබල් කැබ් රථය වේ. එය අතිශය සුඛෝපභෝගී රථයක් නොවේ. රළු පොළවේ, ගල් බොරළු මග, දියකඩිති මතින් ධාවනය කළ හැකි රථයකි. හොඳට ඒසී (A/C) නැතත්, පරිසරයට වඩා ආසා කරන, පොළවේ පය ගහලා ඉන්න කලාකරුවෙකු ලෙස ජැක්සන් ප්‍රවීනයා ඒ වාහනය තම ගමන් මිතුරා බවට පත්කරගෙන සිටියේය. මීට වසර කීපයකට පෙරදී මේ රථයම බොරැල්ලේදී උඩු යටිකුරු වී පෙරැළිණි. ඒත් තමා ආදරය කළ ඒ වාහනය ජැක්සන් ප්‍රවීනයා අත් නොහළේය.

එදා සිංහබාහු ෂූටිං නිමවා අනෙකුත් පිරිස සුඛෝපභෝගී රථවලින් නවාතැන්පළ කරා යද්දී, ජැක්සන් ගමන් ගත්තේ තමාගේ මේ ගමන් මිතුරා වන කැබ් රථයෙනි. ඔහුගේ තනියට, මල්ලි සමන් ඇන්තනී (ඔහු සිංහබාහු චිත්‍රපටයේ සුළු චරිතයකට දායකව සිටි) සහ සහායට සිටි ඉරේෂ්ද එක්ව සිටියේය.

අනතුරින් පසුව ජැක්සන්, සමන්, ඉරේෂ් තිදෙනාම තුවාල ලැබූහ. සමන් ඇන්තනි ද තවමත් රෝහලේය. ජැක්සන් අයියා සැත්කම් කීපයකට මුහුණ දී කොළඹ ජාතික රෝහලේය. ඉරේෂ්, තරමක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් සිටී.

ආචාර්ය සෝමරත්න දිසානායකයන් සහ රේණුකා බාලසූරිය දෙපළ තවමත් සිටින්නේ අනුරාධපුරයේය. සමන් ඇන්තනි වෙනුවෙන් කළ යුතු සියලු දේ එහි සිට සම්පාදනය කරන අතරේ, ජැක්සන් වෙනුවෙන් සිදුකළ යුතු සියලු දේ සොයා බලා නිදි නොවරා, ජැක්සන් පවුලේ අය සමඟ එක්ව සියලු දේ කරන්නේ මේ සමන් මල්ලි සහ ජැක්සන් අයියා ඉක්මණින් සුවපත් කර ගැනීම වෙනුවෙනි.

ඉතිං‘සිංහබාහු’ චිත්‍රපටයට කුමක් වේවිද?

‘සිංහබාහු’ චිත්‍රපටය රූගත කෙරෙන්නේ අදියර කීපයක් යටතේය. සහාය අධ්‍යක්‍ෂ චාමර සෙලාර පවසන පරිදි තුනෙන් එකක පමණ වැඩ නිමවා ඇත. ප්‍රශ්නය එන්නේ ඉදිරි වැඩ කෙරේවිද යන්නය. චිත්‍රපටයක්, අලුතින්, අමුතුවෙන් තැනීමට පුළුවන. එහෙත් මිනිසෙක් තැනීමට නොහැකිය. එනිසා චිත්‍රපටයේ ඉදිරිය කෙසේ වුවද, හැමෝගෙම ප්‍රාර්ථනය වන්නේ ‘ජැක්සන් ඇන්තනී’ ප්‍රවීනයා ඉක්මණින් සුවය ලබනවා දැකීමය. ‘සිංහබාහු’ චරිතය රඟපෑමට ලැබීම නිසා අපමණ සතුටකින් පසුවූ ජැක්සන් ඇන්තනී ප්‍රවීනයා එදා මුහුණ දුන් සිදුවීම ගැන සහාය අධ්‍යක්‍ෂ චාමර සෙලාර, සඳැල්ලට විස්තර කළේ මෙලෙසිනි.

‘‘මුල් අදියරේ රූගත කිරීම් අපි යොදාගෙන තිබුණෙ, දඹුල්ල සහ අනුරාධපුර අවට මෙන්ම හත්ථිකුච්චිහිදි. පසුව ගම්පොළ, කොළඹ ඇතුළු ප්‍රදේශවල රූගත කිරීමට නියමිතව තිබුණා. සම්පූර්ණයෙන් චිත්‍රපටයේ රූගත කිරීම් නිම කරන්න තිබුණෙ, අගෝස්තු 5 වැනිදා. අනතුර වූදා රූගත කිරීම් යොදාගෙන තිබුණු ලොකේෂන් එකේ ඉඳලා ජැක්සන් අයියා නවාතැන් ගෙන සිටි තැනට කිලෝමීටර විසිපහක් - තිහක් විතර දුරයි. ජැක්සන් අයියා, ගමන් ගත්තේ එයාගේ ඩබල් කැබ් රථයෙන්මයි. කොහේ ගියත් එයාගෙ හැටි එහෙමයි. එදා කැලෑවේ‘ලෙන්’ වගයක රූගත කිරීම් කළේ. මේ චරිතය ලැබීම නිසා එනම් සිංහබාහු ලෙස රඟපාන්න ලැබීම ගැන ජැක්සන් අයියා හිටියෙ පුදුම සතුටකින්. චරිතය වෙනුවෙන් පුදුමාකාර පූර්ව සූදානමක් සහ කැපකිරීමක් කරන්න සූදානමින් හිටියෙ. එදා රූගත කරන්න තිබුණෙ රාත්‍රී 8 වෙනකල් විතර. සාමාන්‍යයෙන් හවස 3 වෙද්දි ෂූටිං ඉවර කරනවා. ඒත් එදා රාත්‍රී දර්ශනයක් කළ යුතුව තිබුණු නිසා තමයි අට වෙනකල් කළේ. කොහොමටත් කැලෑවෙ රාත්‍රියේ ෂූටිං කරන එක අනතුරුදායකයි. සත්තු - සර්පයින් සිටින  නිසා, හවස වෙද්දී ෂූටිං නතර කරනවා. කොහොමවුණත්, එදා රූගත කිරීම් ඉවර කරලා ජැක්සන් අයියා, සමන් අයියා සහ ඉරේෂ්, ජැක්සන් අයියගෙ වාහනයෙන්ම ගියා. ඊට ටික වෙලාවකට පස්සෙ සෝමරත්න දිසානායක මහත්තයයි - මායි තවත් වාහනයක ආවෙ. ඒ එන විට අනතුරක් වෙලා තිබුණත් කවුද කියලා අපි දැනගෙන හිටියෙ නැහැ. ඒ වෙලාවෙ රේණු අක්කා කෝල් කරලා, ජැකාගෙ වාහනය අනතුරට පත්වෙලා කියලා කිව්වා. ඒ වන විට ජැක්සන් අයියා වාහනයෙන් එළියට අරගෙන පාරේ තැනක තියලා තිබුණෙ. ඉරේෂ් ලේ පෙරාගෙන ජැක්සන් අයියව අල්ලාගෙන කෑ ගසමින් සිටියෙ. චාමර අයියෙ එන්න - සර්ව බේරා ගන්න කියලා එයා කියමින් හිටියෙ. පිරිසක් සමන් අයියාව රථයෙන් එළියට ගැනීමට කටයුතු කරමින් හිටියෙ. සියලු දෙනා ඉන්පසුව අනුරාධපුර රෝහලට යැවීමට කටයුතු කළා.

චාමර මෙලෙසින් කී පරිදි, සියල්ල වහ වහා කිරීමට ඒ මොහොතේ පිරිස යුහුසුළු වුවද, ඉන්ධන නොමැති වාතාවරණය හමුවේ මේ සියලු දේ අතිශය බැරෑරුම් කර්තව්‍යයන් වූ බව කිව හැකිය. පසුදා රේණුකා අක්කා ජැක්සන්ව කොළඹ ගෙන ඒමට හෙලිකොප්ටර යානයක් පවා ගෙන්වා ගැනීමට හැකි උපරිම ප්‍රයත්න ගත්තද එය ව්‍යර්ථ වී තිබුණේ, රටේ පවතින තත්ත්වය නිසාය. කෙසේ වුවද සිංහබාහු නිෂ්පාදන කණ්ඩායම යුහුසුළුව ගත යුතු ක්‍රියාමාර්ග ගත්තේ දිවා රාත්‍රී නිදි නොලබමිනි. මේ වන විටත් ඔවුන් ඒ යුතුකම් කොටස කරමින් සිටී. ඒ ඔබ අප කවුරුත් ආදරය කරන රටක් වටින කලාකරුවකුගේ මෙන්ම ඔහුගේ සොහොයුරාගේ ජීවිත ඉක්මණින් සුවකර ගැනීම වෙනුවෙනි.

රථයේ ගැටුණු අලියා සොයා ප්‍රතිකාර ලබාදීමට සහ අලියාගේ ජිවිතය බේරා ගැනීමද ඒ සියලු දෙනාගේ එකම අරමුණය. කලාවට ආදරය කරන, මිනිසුන්ට ආදරය කරන, පරිසරයට ආදරය කරන අපි හැමෝම එක් වී ආදරණීය ජැක්සන් අයියාටත්, ඔහුගේ සොහොයුරු සමන් සහ ඉරේෂ්ටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.

සඳුන් ගමගේ