ලොකුම ප්‍රතිචාරය මට එන්නේ ගෙදරින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දඟමල්ල” කියන්නේ ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වුණු දෙදාහා දශකයේ පොඩිත්තන්ගේ සිත්ගත් ළමා ටෙලිනාට්‍යයක්. පරිවර්තන කෘතියක් ආශ්‍රයෙන් නිර්මාණය කළ මේ ටෙලි නිර්මාණය එකල දරුවන් අතර අතිශය ජනප්‍රිය වුණා. වසර පහළොවකට පසුව නැවතත් එම නාළිකාවෙන් “දඟමල්ල” ටෙලිනාට්‍යය විකාශය වෙනවා. මේ ටෙලිනාට්‍යයේ කවුරුත් කියන දේ අහන්නේ නැති දඟම දඟමල්ලට පණ පෙව්වේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් සේම ගායිකාවක් වන නතාෂා පෙරේරා. “දඟමල්ල” ටෙලි නිර්මාණයේ යට ගිය මතක ගැන වගේම ඇගේ වර්තමාන කලා කටයුතු ගැනත් ඇය මේ විදියට පුවත්පතකට පවසා තිබුනා.

“දඟමල්ල” ටෙලිනාට්‍යය මේ දිනවල නැවත විකාශය වෙනවා. ආයෙමත් ඒ අතීතයට යමු?

“දඟමල්ල” අවුරුදු පහළොවකට පස්සේ නැවත විකාශය වෙන්නේ. ඒක ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීම මත විකාශය වුණු ටෙලිනාට්‍යයක්. සමාජ මාධ්‍යවල ප්‍රේක්ෂකයන්ගෙන් සෑහෙන්න ඉල්ලීම් තිබුණා “දඟමල්ල” නැවත විකාශය කරන්න කියලා. ඒ අයගේ ඉල්ලීම නිසාම නැවත වතාවක් ඒ ටෙලිනාට්‍යය පෙන්වන එක ගැන මට හරිම සතුටුයි. “දඟමල්ල” කියන්නේ ටෙලිනාට්‍යයක් විතරක් නෙමෙයි. ඒක මගේ ජීවිතේ වෙනස් කරපු තැනක්. ඒ හැඟීම් ඒ මතක නැවතත් මතක් වෙනවා.

“දඟමල්ල” ටෙලිනාට්‍යයේ සුවිශේෂත්වය ගැන පරිණත වැඩිහිටියෙක් විදිහට නතාෂාට මොකද හිතෙන්නේ?

මේක ඉනිඩ් බ්ලයිට්න්ගේ “ඊඩඥ දචභඨඩබඪඥඵබ ඨඪපත ඪද බඩඥ ඵජඩධධත” කියන පොත් ඇසුරෙන් ගංගා නිරෝෂනී සුදුවැලිකන්ද සිංහලට පරිවර්තනය කරපු “දඟමල්ල සහ අමුතු ඉස්කෝලේ” පොත ඇසුරෙන් කරපු නිර්මාණයක්. මේක මුලින්ම ගුවන්විදුලි නාට්‍යයක් වෙනවා. පසුව වේදිකා නාට්‍යයක් වෙනවා. ඊට පසුව තමයි මේ නිර්මාණය ටෙලිනාට්‍යයක් වෙන්නේ. “දඟමල්ල” වේදිකා නාට්‍යය සහ ටෙලිනාට්‍යය යන දෙකටම හොඳම ළමා නිළියට මට රාජ්‍ය සම්මාන ලැබුණා. මේ නිර්මාණයට අදාළ ඇහැට පෙනෙන රූප සහ වර්ණ සියල්ල අදටත් වලංගුයි කියන තැන මම ඉන්නවා. මේක පරිවර්තන කෘතියක්. ලංකාවේ විදිහට නෙමෙයි පිටරට විදිහටයි මේ ටෙලිනාට්‍යයේ සියලුම දේවල් තියෙන්නේ. ඒක ලංකාවේ නිර්මාණයකට හොඳ සංකල්පයක්. ලංකාවේ නොවන පාසලක සිදු වන සිදුවීම් හැමෝටම අලුත් අත්දැකීමක්. නාලක ස්වර්ණතිලක මාමා තමයි මේ දඟමල්ල ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂණය සහ තිරපිටපත රචනා කරන්නේ. ඔහු ගොඩක් පරෙස්සම් වුණා මේ නිර්මාණය ළමයින්ට හදන නිසා. කතා විලාසය, වචන මෙයින් දෙන පණිවුඩය ගැන ඔහු වැඩි අවධානයක් යොමු කළා. මෙහි කතාවේ හැටියට කතා නායිකාව එලිසබෙත් කියන්නේ නරක ළමයෙක් නෙමෙයි. එයා පාසලේ දඟ වැඩ කරන්නෙ ඉක්මන්ට ගෙදර යවයි කියන බලාපොරොත්තුවෙන්. නමුත් ඒ පාසලෙන් ඒ වරද එයාටම තේරුම් කරගන්න සලස්වනවා. එයාට දඬුවම් කරන්නේ නැහැ. ලංකාවේ පාසල්වල ඒ වගේ ක්‍රමවේදයක් නැහැ. ගුරුවරු, ළමයි හැමෝම පීඩනයෙන් ඉන්නේ. මම විශ්වාස කරනවා රටක් විදිහට අපේ ලංකාවේ අධ්‍යාපනය මුලින්ම හැදුණොත් මුළු රටම වෙනස් වෙයි කියලා. අපේ අධ්‍යාපන ක්‍රියාවලිය මීට වඩා හොඳට කළ හැකි බවයි මේ නිර්මාණය ඔස්සේ හැමෝටම පෙන්නුවේ.

“දඟමල්ල”ට නැවතත් එන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?

ඒක හරිම පුදුමයි. වෙනස් සතුටුදායක ප්‍රතිචාර මට ලැබෙනවා. ලොකුම ප්‍රතිචාරය මට එන්නේ ගෙදරින්. මම තවමත් ඇත්තටම දඟමල්ල වගේ කියලා තමයි මගේ ගෙදර අය, යාළුවෝ කියන්නේ. ඒ කතා විලාසය, හැසිරීම ඔක්කොම එක වගේ කියලා කියනවා. නිර්මාණයක් විදිහට ඒක අදටත් ප්‍රේක්ෂකයන් හරි ආදරෙන් වැලඳගන්නවා. විශේෂයෙන් දඟමල්ල ප්‍රථම වතාවට බලන පොඩි ළමයි හරිම ආසාවෙන් මට ප්‍රතිචාර දක්වනවා. ඒක අවුරුදු පහළොවකට කලින් කරපු නිර්මාණයක්. ඒත් දැන් ළමයි පවා අපිටත් වඩා ඒ නිර්මාණයට බැඳීලා. සමහරු ඒ “දඟමල්ල” ටෙලිනාට්‍යයේ එලිසබෙත් වගේ හැසිරෙනවාලු, එයා වගේ කතා කරනවලු. මම හිතන්නේ එන ප්‍රතිචාරත් එක්ක බලද්දි කාලය කොයිතරම් ගියත් නිර්මාණයක් විදියට ඒක ගොඩක් සාර්ථකයි කියලා.

ඔන්ලයින් වැඩ කරන, ඉන්ටනෙට් ලෝකෙක ඉන්න දරුවන්ගෙන් විශේෂ ප්‍රතිචාර ලැබෙනවා ඇති?

අනිවාර්යයෙන්ම. ඒක මටත් හිතාගන්න බැහැ. අපේ පරම්පරාවන් හරි වෙනස්. ඒ නිර්මාණය හැදෙන්නේ සමාජ මාධ්‍යය ගැන කිසිම දෙයක් නොදන්න යුගයක. නමුත් ඉන්ටර්නෙට් එකෙන් මුළු ලෝකෙම දකින දරුවන් පවා “දඟමල්ල” වැලඳ ගන්නවා කියන එක හරි පුදුම දෙයක්.

“දඟමල්ල” නිසා නතාෂාට මුණගැසුණු යහළු යෙහෙළියන් තවමත් ඔබේ ජීවිතේ ඉන්නවා නේද?

විශේෂයෙන් මතක් කරන්න ඕනේ මගේ යාළුවා දිනිති දොරනෑගොඩව. දිනිති අදටත් මගේ හොඳම යාළුවෙක්. අපි දෙන්නගෙ යාළුකම අවුරුදු විස්සකට වැඩියි. අපි දෙන්නා මුණගැහෙන්නේ දඟමල්ල වේදිකා නාට්‍යයෙන්. දඟමල්ල කියන්නේ ටෙලිනාට්‍යයක් වුණාට ඒක මගේ ජීවිතය වෙනස් වුණු එක්තරා යුගයක්. ඒ හැඟීම වචනෙන් විස්තර කරන්න බැහැ. නැවත නැවතත් ටෙලිනාට්‍යය සමඟ ඒ අතීතයට ආයෙමත් යනවා. ජීවිතේ එක පැත්තක් ඇහැරුණා වගේ හැඟීමක් දැනෙන්නේ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ දඟමල්ල ටෙලිනාට්‍යයට 170කට අධික පිරිසක් සහභාගි වුණා. ඒ සමහර වැඩිහිටියෝ අදට ජීවතුන් අතර නැහැ. රූපගත කිරීම් තිබුණේ ගුරුතලාවේ. අදාළ රූපගත කිරීම් ඉවර වෙලා හැමෝම යනකොට ඒ බැඳීම නැති වෙනවා කියලා දැනෙනකොට හැමෝටම ගොඩක් දුක හිතුණා. හැමෝම අඬලා හිටපු නිසා අවසාන ජවනිකා ටික රූපගත කරන්නත් ටිකක් වෙලා ගියා. ඒ කාලවකවානුව මගේ ජීවිතේ හරිම සුන්දර අත්දැකීමක්.

ඉස්සර වගේ නෙමෙයි. දරුවන් වෙනුවෙන් දැන් කලා නිර්මාණ හැදෙන්නේ හරි අඩුවෙන්.?

ඒක ලොකු පාඩුවක්. සමස්තයක් ලෙස ගත්තාම මිනිස්සුන්ගේ රසවින්දනයේ ලොකු පසු බැස්මක් තියෙනවා. ඊටත් වඩා නරක දේ තමයි ළමයින් වෙනුවෙන් නිර්මාණ හැදෙන්නේ නැති එක. මෑතකදී මම දැක්කා හර්ෂණ දිසානායකගේ ගීත ළමයින්ගේ විෂය නිර්දේශයටත් ඇතුළු කරලා තියෙනවා. හර්ෂණගේ ගීත, මගේ සුළඟක් වී ගීතය අවුරුදු පහළොවකට විස්සකට කලින් හැදුණු ඒවා. තවමත් ඒවා ළමයි රසවිඳීනවා. ඒත් වර්තමානයේ අලුතෙන් ළමයින්ට නිර්මාණ හැදෙන්නේ නැහැ. ඒක එහෙම වෙන්නේ ඇයි කියන එක ලොකු අඩුවක්.

රියැලිටි තරග කොතෙකුත් තිබුණත් දක්ෂතා තියෙන ළමයි කොතරම් හිටියත් ඔවුන් ඉස්මතු නොවන කාරණාව?

මේ අවුරුද්දට “සුළඟක් වී” ගීතයට අවුරුදු විස්සක් වෙනවා. හැමෝම වගේ අදටත් මාව අඳුන ගන්නේ “සුළඟක් වී” ගීතය කියන කෙනා හැටියට. ඒ කාලේ ජනමාධ්‍ය හරි ප්‍රබලයි. ඒත් වර්තමානයේ සමාජ මාධ්‍ය ඉස්මතු වීමත් එක්ක කෙනෙකුගේ පැවැත්මේ ජීවකාලය හරි අඩුයි. ඉස්සර නිර්මාණ අදටත් පවතිනවා. ඒත් දැන් හැදෙන නිර්මාණ පවතින්නේ හරිම සුළු කාලයයි. ඒත් අවස්ථා වැඩියි. අපේ කාලේ රියැලිටි වැඩසටහන් කියලා එකක් ගැන අහලාවත් නැහැ. ඕනේ කෙනෙකුට ගෙදර ඉඳලා හෝ යූටියුබ් චැනල් එකක් කරන්න පුළුවන්. මේ නිසා ක්ෂේත්‍රයට ගොඩක් ළමයි එනවා. දක්ෂතා ඉහළ මට්ටමක තියෙන දරුවන් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. රියැලිටි වැඩසටහන්වලින් ඒ දරුවන් ගැන හැමෝම දකිනවා. එහෙත් ඔවුන් ඉස්මතු නොවෙන්නේ ඒ ජනප්‍රියත්වය පවත්වාගෙන යන්න ඒ දරුවන් දන්නේ නැති නිසා වෙන්න ඇති. දක්ෂතාවලින් ජනප්‍රිය වුණාම එතැනින් එහාට ක්ෂේත්‍රයේ රැඳී ඉන්න නම් හොඳ හොඳ නිර්මාණ කරන්න ඕනේ. ඒ දරුවන් හොඳ නිර්මාණයක් කළත් ඒ ජීව කාලය හරිම අඩුවෙන් පවතින්නේ. ඒක කාලානුරූපීව වෙනස් වෙනවා. ඒ අතින් මම හරිම වාසනාවන්තයි. ඒ වකවානුවේ ළමා ගායිකාවක් සහ රංගන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට ආව එක ගැන.

විවාහයෙන් පසුව නතාෂාගේ කලා ජීවිතය අත්හැරලා කියලා සමහරු කියනවා.?

විවාහයට වඩා ඒක වුණේ අධ්‍යාපනය නිසා. මම නීති අධ්‍යාපනය හදාරපු නිසා මට ඒකට වැඩි අවධානයක් යොමු කරන්න වුණා. ඒ වකවානුවේ ලංකාවේ හොඳම අධ්‍යක්ෂවරු සිනමා නිර්මාණවලට ටෙලිනාට්‍යවලට මට ආරාධනා කළා. ඒ නිර්මාණවලින් ක්ෂේත්‍රයට ආපු අය තවමත් ඉන්නවා. අපිට යම් දෙයක් ලබාගන්න නම් තවත් දේවල් කැප කරන්න වෙනවානේ. අධ්‍යාපනය සඳහා මම මගේ කලා ජීවිතය කැප කළා. ඒත් එක්කම මම 2015දී නීතීඥවරියක් ලෙස දිවුරුම් දෙනවා. 2015දී විවාහ වෙලා ඕස්ට්‍රේලියාවට ගියා. එහෙ වසර දෙක තුනක් හිටියා. මේ හැම දෙයක් නිසාම මට කලාව මඟහැරුණා. විවාහය නිසා කලාව මඟහැරුණා කියන්න බැහැ. මොකද මගේ සැමියා ප්‍රිහාන් මට එහෙම කිසිම වාරණයක් දාලා නැහැ. එයා හැමදාම මට බනිනවා “ඔයා කම්මැළියි අලුත් නිර්මාණයක් කරන්නේ නැහැ” කියලා මට මගේ නිර්මාණ කරන්න සම්පූර්ණ නිදහස තියෙනවා.

එහෙනම් ගායනයෙන් හෝ රංගනයෙන් නැවත ක්ෂේත්‍රයට එන්නේ නැත්තේ ඇයි?

ඒක ඇත්තටම ප්‍රශ්නයක් තමයි. කොහොම වුණත් මම අලුත් ගීතයක් කරන්න බලාපොරොත්තුවෙන් හිටියා. මේ කොරෝනා තත්ත්වයත් එක්ක ඒක මට මඟහැරුණා. ඒ වගේම පහුගිය දවසක මගේ ජීවිතයේ අවාසනාවන්ත සිදුවීමක් වුණා. මගේ අම්මා (අත්තම්මා) නැති වුණා. එතනින් එහාට මට කිසිම දෙයක් කරන්න වුවමනාවක් නැති වුණා. එතනින් පසුව නැවතත් වැඩ පටන්ගන්නවා කියලා ඉන්නේ. මාව මේ ක්ෂේත්‍රයට ගෙනල්ලා මේ හැමදේම කළේ මගේ අම්මා. ඇගේ ආසාව සහ බලාපොරොත්තුව වුණේ මම හොඳ නිර්මාණ කරනවා දකින්න. ඒ නිසාම මම ඇය වෙනුවෙන් නිර්මාණ කරනවා. ගීතයක් නිර්මාණය කළා. ඒකේ රූපරචනාවත් කළා. සංස්කරණ කටයුතු ඉවර වුණ ගමන්ම ඒ ගීතය එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. රංගනයටත් ටෙලිනාට්‍ය කීපයකට ආරාධනා ලැබුණා. ඒවා හොඳ නිර්මාණ නම් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා.

නතාෂාගේ රූපය වෙනස් වීම ගැන එදා සිට අද වෙන තෙක් විවිධ කටකතා හැදෙනවා.?

මම කියන්නම් මේ ළඟදි වුණු සිදුවීමක්. සමාජ ජාලාවල සුදු වෙන්න ඉන්ජෙක්ෂන් එකක් විකුණන පේජ් එකක් තිබුණා මගේ ඡායාරූප දාලා. මම ඒ ගැන දන්නේ නැහැ. මම ඒ අයට ඇමතුමක් අරගෙන වෙනත් කෙනෙක් වගේ විස්තර ඇහුවාම එයාලා කිව්වේ “නතාෂා ගහන්නෙත් අපෙන් ඉනජෙක්ෂන් අරගෙන කියලා”. මම කිව්වා “මම නතාෂා පෙරේරා මම කවද්ද ඔයලාගෙන් ඉන්ජෙක්ෂන් ගත්තේ?” කියලා. ඊටපස්සේ ඔවුන් මගෙන් සමාව අරගෙන මගේ ඡායාරූප ඉවත් කළා. මේ වගේ බොරු ප්‍රචාර සෑහෙන්න ගිය කාලයක් තිබුණා. මම ඉන්ජෙක්ෂන් ගහලා සුදු වුණා කියලා ගොසිප් හැදුණා. මම එහෙම ඉන්ජෙක්ෂන් භාවිත කරන්නේ නැහැ. හැමෝම ලස්සනට ඉන්න ඕනේ. මමත් හරි ආසයි ලස්සනට ඉන්න. ඒත් ඒකට ශරිරයට අහිතකර දේවල් භාවිත කළොත් හානිය වෙන්නේ අපිටමයි. ඒ නිසා මගේ නම භාවිත කරලා ව්‍යාජ රූපලාවණ්‍ය කටයුතු කරන අයට රැවටෙන්න එපා කියලා මම හැමෝගෙන්ම ඉල්ලනවා.

ප්‍රිහාන් ගැනත් මතක් කරමු?

දැන් අවුරුදු හයකට වැඩියි අපි විවාහ වෙලා. කිසිම ප්‍රශ්නයක් ගැටලුවක් නැතුව අපි සතුටින් ජීවත් වෙනවා. අපි දෙන්නා එකට නිර්මාණ කරන්නේ නැහැ. ප්‍රිහාන් “යායට පායනා” ගීතය ගායනා කරලා දැන් අවුරුදු එකොළහක් වෙනවා. ඊටපස්සේ ඔහු ව්‍යාපාර වැඩකටයුතු එක්ක කාර්යබහුල වුණා. මම කැමතියි ප්‍රිහාන් නැවතත් නව නිර්මාණයකින් ගායන ක්ෂේත්‍රයට එනවාට. ඉදිරියේදී ඔහු අලුත් වැඩ කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

“දඟමල්ල” පෙන්වන්න දඟමල්ලක් හදන්න බලාපොරොත්තුවක් නැද්ද?

ඇත්තටම ඔව්. හරියට බැලුවොත් දරුවෙක්ට “දඟමල්ල” ටෙලිනාට්‍ය පෙන්වන්න පුළුවන් වයසක තමයි දැන් මම ඉන්නේ. ඒත් දරුවෙක් හදන්න නම් දැනට බලාපොරොත්තුවක් නැහැ. ප්‍රිහාන් තවමත් පොඩි ළමයෙක් වගේ. අපි දෙන්නම ඒ ගැන හිතලා නැහැ. ඉදිරියේදී බලමු ඉතින්.

නතාෂගේ රසිකයන්ට මොනවද කියන්න තියෙන්නේ?

මට සමාජ ජාලාවලින් ගොඩක් අය පණිවිඩ එවනවා. ඒ හැම එකකටම මම පුළුවන් විදිහට ප්‍රතිචාර දක්වනවා. හැමදාම ඒ වගේම මට ආදරේ දෙන්න කියලා මම එයාලගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම කොහෙදි හරි මාව දැක්කොත් මා එක්ක කතා කරන්න. මම එහෙම කතා කරන කෙනෙක්. මම ආඩම්බරයි කියලා හිතන්න එපා. ගොඩක් අය හිතන්නේ මම ආඩම්බර කෙනෙක් කියලා. මං ගැන දන්නෙවත් නැතුව එහෙම නිගමනවලට එන්නේ ඇයි කියලා මම දන්නේ නැහැ.මම දැන් ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු විස්සක්. මම එදා ඉඳලා මේ වෙනකල් නිර්මාණ කරලා තියෙන්නේ හරි අතළොස්සයි. ඒත් හැමෝටම මාව මතකයි. ඒ ගැන මම හරි සතුටුයි.