වටපිටේ මිනිස්සු කියන කතා ඇත්තටම වැඩක් නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරූපණ ක්ෂේත්‍රයට අළුතෙන් එකතු වුණු කෙනෙක් තමයි අශී කියන්නේ. අශී තවමත් අධ්‍යාපනය හදාරනවා. ඒ වගේම අනාගතයේදී ඇය ගුවන් සේවිකාවක් වන්නටත් හීන දකින අතර නිරූපණය තුළින් දිගු ගමනක් යෑමටද බලාපොරොත්තු වෙනවා.

ඔබව හඳුන්වා දුන්නොත්?

මගේ නම අශී සෞම්‍යා. මම තවම පාසැල් යනවා. මගේ ගම පොළොන්නරුව. නිරූපණ ක්ෂේත්‍රයට ඇවිත් ලොකු කාලයක් නැහැ.

නිරූපණයට එන්න හිතුවේ ඇයි?

මම Fasiaඅම්මයි දුවයි තරඟාවලියට මුලින්ම සහභාගී වුණේ. ඒකේ අවසන් තරඟය දක්වාම මම ආවා. එතකොට මට වයස අවුරුදු පහළොවයි. ඊටපස්සේ දැන්වීම්වලට, ෆොටෝෂූට්වලට ආරාධනා ලැබුණා. මම නිරූපණය පැත්තට ගොඩක් කැමතියි. මුලින්ම කළේ බ්‍රයිඩ්ල් ෂූට් එකක්.

දායක වෙලා තිබෙන නිර්මාණ?

හිරු නාලිකාවේ දැන්වීම්වලට දායක වෙලා තිබෙනවා. ජනනන්දන කියලා හඳුන්කූරු දැන්වීමක් කළා. ඊට අමතරව බ්‍රයිඩ්ල් ෂූට්, කැෂුවල් ෂූට් කරලා තියෙනවා. පොදු ටෙලි නාට්‍යයට ආරාධනා ලැබුණා. නමුත් මට ඒකට යන්න බැරි වුණා. මේ වෙද්දි මට Catwalk Model Academy එකෙන් ආරාධනා ලැබිලා තිබෙනවා. රටේ තත්ත්වය යහපත් වුණාම ඒකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.

නිරූපන ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

ෆීල්ඩ් එකට එනවාත් එක්කම ගොඩක් කට්ටිය එක එක ඒවා කියනවානේ. වටපිටේ මිනිස්සු කියන කතා ඇත්තටම තමන්ට වැඩක් නැහැ. මේ වෙනකල් මට ෆීල්ඩ් එකේ ලොකු වැරැද්දක් වෙලා නැහැ. ෆීල්ඩ් එකේ මට ලොකු ගමනක් යන්න පුළුවන් කියලා මට හිතෙනවා. මගේ අම්මයි තාත්තයි ඒකට ගොඩක් උදව් කරනවා.

වෘත්තීමය නිරූපණ ශිල්පිනියක් වීමටද බලාපොරොත්තු වෙන්නේ?

මම ආසයි ගුවන් සේවිකාවක් වෙන්න. මම ඉගෙනගන්නෙත් ඒකටයි. ඊට අමතරව නිරූපණ ශිල්පිනියක් විදිහටත් ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා.

නිරූපණයට එද්දි ගෙදර ප්‍රතිචාරය කොහොමද?

මම තමයි පවුලේ එකම ළමයා. අම්මයි තාත්තයි ලොකු සහයෝගයක් දෙනවා.

නිරූපණයත් එක්ක අධ්‍යාපන කටයුතු සමබරව කරගන්න පුළුවන්ද?

ඒ දෙකම හරියටම කරගෙන යනවා.

අධ්‍යාපන කටයුතු ගැන කිව්වොත්?

මම 2020 වසරේ සාමාන්‍ය පෙළ ලිව්වේ. තවම උසස් පෙළ පටන්ගත්තේ නැහැනේ. මම බයෝ සයන්ස් කරන්න තමයි හිතාගෙන හිටියේ. නමුත් දැන් මම වැඩ කරන ෆීල්ඩ් එක නිසා ආර්ට් කරන්න බලාගෙන ඉන්නවා. 

අශී කැමති මොනවගේ ෆැෂන් කරන්නද?

මම ෆැෂන් කරන්න කොහොමත් කැමතියි. තැනට සුදුසු විදිහට ෆැෂන් කරනවා.

විනෝදාංශයක් විදිහට කරන්නේමොනවාද?

මම ඩාන්ස් කරන්න කැමතියි.

රංගනයට එකතු වෙන්න බලාපොරොත්තුවක් නැද්ද?

ඔව්. ආරාධනා ලැබුණොත් බාර ගන්න කැමතියි.

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ වගේම නිරූපණ කටයුතුත් කරගෙන ලොකු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. මගේ ගුවන් සේවිකා හීනයටත් හෙමීට යනවා.

උදව් කරපු අය කවුද?

මගේ අම්මාවයි තාත්තාවයි මුලින්ම මතක් කරන්න ඕනේ. එතකොට ස්ටුඩියෝ G one එකේ ජීවන් අයියා, මාව හැඩකරපු සැලෝන්වල අයවත් මතක් කරනවා. ඒ වගේම හිරු එකේ අයවත්, දෙරණේ අයවත් ආදරයෙන් මතක් කරනවා.

කැළුම් දේවින්ද