වෙනස්ම පහන් හැඟීමක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘සුභා තෙරණියෝ’ සිනමා නිර්මාණය වෙනුවෙන් තමයි මට භික්ෂුණී චරිතයක් කරන්න ලැබුණෙ. ඉතින් මෙහි අධ්‍යක්ෂවරයා සුමිත් කුමාර ඔහු මට මේ නිර්මාණය පිළිබඳව දැනුවත් කිරීමක් කරලා තිබුණා. ඒ මේ නිර්මාණය කරන්න අවුරුද්දකට පමණ පෙර. ඒ කාලෙදි මම මේ චරිතය ගැන ගොඩක් හොයලා බැලුවා විවිධ විධිවලින්. මුලින්ම යූටියුබ් හරහා. නමුත් ඒ තුළින් ලොකු කරුණක් හොයා ගන්න ලැබුණේ නැහැ. පසුව පොත්පත්වලින් සහ ඒ ගැන බොහෝ දෙනෙක්ගෙන් අහලා දැනගන්න ලැබුණා මේ චරිතය පිළිබඳව. ඒ අධ්‍යයනයන් තුළින් මට ලොකු ආසාවක් හිතුණා මේ රංගනය ගැන. පසුව මට තිර පිටපතක් ලැබුණම ඒක කියෙව්වම ඒ කැමැත්ත ආසාව වැඩි වුණා.
 ඇත්තටමම මේ වගේ දැවැන්ත චරිත රංගනයක් ඉදිරිපත් කිරීමට ලැබීමම ලොකු වාසනාවක්නෙ. නමුත් සිවුර අඳින්න වෙනවා කිව්වම හිතට දැනුණු ආසාව වගේම ලොකු බයකුත්  දැනුණා. මොකද මම අහලා තිබුණා සිවුර එහෙම ඕනෑම කෙනකුට අඳින්න බැහැ එක පාරම. ඒ වෙනුවෙන් වත් පිළිවෙත් කරන්න ඕනෑ, ඒවා රකින්න ඕනෑ කියලා. මම අධ්‍යක්ෂවරයාගෙනුත් ඒ ගැන ඇහුවම ඔහුත් කිව්වෙ රූගත කිරීම් කරන්න මාසයකට පෙර සිට වගේ මස් මාංශවලින් තොරව ඉන්න පුළුවන් නම් හොඳයි කියලා. බොහෝ දෙනෙක් ඒ දේ තමයි කිව්වේ. ඉතින් රූගත කිරීම් කරන්න මාසෙකට පෙර වගේ මම මස්, මාංශවලින් තොරව ඒ වෙනුවෙන් සූද‌ානම් වුණා. සිවුර අඳින පළමු දවසෙත් රූගත කිරීම්වලට යන්නට පෙරත් බෙල්ලන්විල පන්සලට ගිහින් ඒ වතාවත් කරලා තමයි ආවෙ. ඉතින් රූගත කිරීම් කරද්දී ඒ දවසෙ පාන්දර දෙකට තමයි වේශ නිරූපණ කටයුතු පටන් ගන්නෙ. පාන්දර දෙකේ ඉඳන් උදේ හය වනතුරු වගේ තට්ටෙ ද‌ාපු ඒක තමයි කළේ. මගේ තියෙන කොණ්ඩෙ තද කරලා තට්ටෙ සකස් කරන්න පැය 3 ක් වගේ ගතවෙනවා.
ඇත්තටම ඒ ඇත්දැකීම හරිම අමාරුයි. නමුත් තට්ටෙ දාලා, ඒ අවශ්‍ය මේකප් දාලා සිවුර ඇන්දම ඒක වෙනමම හැඟීමක්. ඉතින් ඒ විදියට සම්පූර්ණයෙන් මම මුලින්ම කණ්ණාඩියෙන් දකිද්දී මේ මමම ද කියලා හිතුණා. අමුතුම පහන් සිතිවිල්ලක් තමයි ඇති වුණේ. රඟපෑමකට ඒ විදියට ඇන්දා, පැළැන්දා වුණත් ඒ පහන් හැඟීමත් එක්ක ඒ හැසිරෙන විදිය, යන එන විදිය පවා ඇඟට ඉබේම එනවා. ඇත්තටම අලුත්ම ඇත්දැකීමක්. 
ඇත්තටම මේ වගේ චරිතයක් කරන්න ආරාධනාවක් ලැබෙයි කියලා හිතුවෙ නැහැ. වේශ නිරූපනය කරද්දී ලොකු තෙහෙට්ටුවක් දැනුණත් ඒ නිර්මාණය තුළ මාව දකිද්දි හරිම සතුටුයි අදට වුණත්. ඉදිරියේදීත් එවැනි චරිතයක් භාරගන්න දෙපාරක් හිතන්නෙ නැහැ. ඇත්තටම හරිම සතුටුයි.