හිත සංසුන් වුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සිරස නාළිකාවෙ විකාශය වුණු සල්මල් ආරාමයෙ ආනන්ද හාමුදුරුවන්ගෙ චරිතය වෙනුවෙන් තමයි මම පැවිදි චරිතයක් කළේ. ඇත්තටම මම මේ චරිතය භාරගත්තෙ ගොඩක් ආසාවෙන්. පුංචි කාලෙදී මට ලොකු ආසාවක් තිබුණා කවි බණ කියන්න. ඒත් ඒ වෙනුවෙන් මහණවෙන්න ඕනැනෙ කියලා හිතුණා.
ඉතින් මෙවැනි චරිත රංගනයක් මට ලැබෙයි කියලා බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ. ඉතින් මේ චරිතෙ කරන්න පළමු කොටසෙ රූගත කිරීම්වලට එද්දී කොණ්ඩෙ තියාගෙන එන්න කිව්වෙ. ඒ ආවම පළමුව කළේ ළිඳක් ළඟට අරගෙන ගිහින් මාව නාවලා දැලි පිහියෙන් මගෙ කොණ්ඩෙ බූ ගාලා රැවුල ඔක්කොම කපලා මට අඳනෙ අන්දපු එක. හාමුදුරු කෙනෙක් මහණ කරන විදියටමයි හැමදේම කළේ. 
මම ඒ මුල් කාලෙ මස් මාංශවලින් පවා තොරවෙලා හිටියෙ. ඉතින් රූගත කිරීම් කරද්දී මුලින්ම මල් පූජා කරලා ඒ පිළිවෙත් කරලා තමයි සිවුර අඳින්නෙ. ඒ අැන්දම හැමදේටම වඩා තිබුණු විශේෂත්වය තමයි හිතට, ගතට මාරම සැහැල්ලුවක් දැනෙනනවා. ඒ සැහැල්ලුව වචනවලින් කියන්න බැහැ. වෙන චරිත රංගනයන් වගේ නෙමෙයි. අපි ඉබේම සන්සුන් වෙනවා. මේ චරිතය රූගත කිරීම් කරලා ගෙදර ගියත් ඒ චරිතය ඇඟෙන් ඉවත් කරගන්න අමාරුයි. ඇත්තටම මේ රංගනය තුළින් මගේ ජීවිතේටත් ලොකු වටිනාකමක් එකතු කරගන්න පුළුවන් වුණා. පූජාවලියෙ ධම්ම පදයෙ ගාථා 50, 60 වගේ කටපාඩම් වුණා. සමහර වෙලාවට මම මේ චරිත රංගනය අතරතුරදී බෝධිය ළඟට ගිහින් භාවනා කරනවා. ඒ තුළින් මාරම සැහැල්ලුවක් දැනෙන්නෙ. ඇත්තටම මගේ මතක ශක්තියත් වැඩි දියුණු වුණා කියන්න පුළුවන්. අවුරුදු එක හමාරක් වගේ මම මේ චරිතය එක්ක ජීවත් වුණා. 
තරුණයෙක් විදියට මේ තරම් සංයමයක් ඇති වුණේ කොහොමද කියන එකත් මට හිතුණ වෙලාවල් තිබුණා. ඇත්තටම මහණ වෙන්න හිතුණු අවස්ථාවන් පවා මට තිබුණා. මොකද සමහර වෙලාවට ඒ බණ දහම් එක්කම ඉද්දි යථාර්ථය තේරෙනවා. චරිතය එක්කමනෙ ජීවත් වුණේ. ඇත්තටම මේ වගේ චරිතයක් ලැබීම ලොකු භාග්‍යයක්. සමහර වෙලාවට අපි රූගත කිරීම් කරද්දි පන්සලට එන සමහර උපාසක අම්මලා මම ඇත්තටම හාමුදුරු නමක් කියලා ඈත ඉඳන්ම වැඳගෙන එන අවස්ථා පවා තිබුණා. එක් වතාවක අපේ රූගත කිරීම් බලන්න ආපු සුසාර දිනාල් අයියත් මම ඇත්තටම හාමුදුරු නමක් කියලා හිතලා මට වඳින්න ගියා. ෂර්ලි පී. දෙලංකාවල අයියානම් ඇත්තටම වැන්දා. මම ඇත්තටම හාමුදුරු නමක් කියලා හිතලා. ඇත්තටම මගේ ජීවිතේ ලොකු වෙනසක්, සරලකමක්, සැහැල්ලු බවක් ඇති කරපු චරිතයක් තමයි මේ. ඉදිරියේදීත් මේ වගේ චරිතයක් ලැබුණොත් හිස් මුදුනින් භාරගන්න කැමතියි. මේ චරිතය භාරගත්තා වගේම.