හීනයක් තිබුණෙ නැහැ, රංගනයට එන්න ලැබුණෙ අහම්බෙන් වගේ - මා රගපෑ ‘සහෝ’ට ජාත්‍යන්තර සම්මාන ලැබුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල පුංචි තිරයේ වැඩි කතාබහකට ලක්ව සිටින චරිතයක් මෙවර සඳැල්ල කතා බහකට එකතු කරගන්න හිතුවා. ඇය නමින් හර්ෂි අංජුමාලා.

කාලෙකට පස්සෙ නේද පුංචි තිරයට සම්බන්ධ වෙලා ඉන්නෙ?

ඔව්. ඇත්තටම අවුරුද්දකට වගේ පසුව තමයි නිර්මාණයකට සම්බන්ධ වුණේ. රටේ පසුගිය කාලෙ තිබුණු වසංගත තත්ත්වයත් එක්ක අපේ වැඩ සියල්ල වගේ නතර කරන්නත් වුණානෙ. ඉතින් ඒ කාලය තුළ නිර්මාණවලට සම්බන්ධ වුණෙත් නැහැ. ඒ වගේම ඒ කාලය තුළ මට විශ්වවිද්‍යාලයේ අවසන් වසර විභාගයත් තිබුණා. ඒ සියල්ල නිසා ටික කාලයකට නිර්මාණවලට සම්බන්ධ වුණේ නැහැ. නමුත් මට නැවතත් අවස්ථාවක් ලැබුණා හොඳ නිර්මාණයකින් ප්‍රධාන චරිතයෙන් ආයෙත් පුංචි තිරයට එන්න. මම හිතන්නෙ මේ ලැබුණු අවස්ථාව ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක්.

ඉතින් මේ චරිත රංගනය ගැන කියමු?

‘‘රාජිණි’’ නාට්‍යය තුළින් කතා කරන්නෙ ගැහැනු ළමයෙක් අභියෝග රැසකට මුහුණ දෙමින් තමන්ගේ ජීවිතේ කොහොමද ඉදිරියට යන්නෙ කියන දේ.

ඉතින් මේ නාට්‍යයෙ ‘‘අභී’’ චරිතය තමයි මම රඟ දක්වන්නෙ. ඇයගෙ මව, පියා ළඟ නැහැ. නමුත් ඔවුන්ගේ අතීතයේ ඒ ආශිර්වාදයත් එක්ක අනතුරකින් පීඩා විඳින තම සහෝදරයාවත් රැක බලාගෙන ආච්චි අම්මාත් සමඟින් දිවි ගෙවන තරුණ ගැහැනු ළමයෙක් ඇය. ඒ චරිතය ඇත්තටම හරිම ආදර්ශවත් චරිතයක්. මේ තුළ නපුරුකම, දුක, වේදනාව, සතුට, සමගිය හැමදේම දකින්න තියෙනවා. ඉතින් හරිම ආසාවෙන් කරගෙන යන වෙනස්ම විදියෙ චරිත රංගනයක්. විශේෂම දේ කියන්නෙ මගේ වයසත් එක්ක මට ලැබුණු මේ චරිතය පාසල් ළමයෙකුගෙ චරිතයක්නෙ. ඉතින් මගේ පාසල් කාලෙත් ආදරෙන් මතක් කරගෙන ඒ චරිත රංගනය කරගෙන යනවා. මේ වෙද්දි හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා රංගනය වෙනුවෙන්.

මේ චරිත රංගන​ෙය්දී නර්තන ශිල්පිනියක් විදියටත් රඟ දක්වන්න තියෙනවනෙ? කොහොමත් නර්තනය කියන්නෙ අංජුමාලාගේ ජීවිතය වගේ නිසා මේ චරිතය එතරම් නුහුරු නැතිව ඇති?

ඔව්. ඇත්තටම. මම මුලින්ම මේ ක්ෂේත්‍රයට එන්නෙ නර්තන තරගාවලියක්නෙ. ඒ මම පුංචි කාලෙදි ‘‘දෙරණ Little Star’’ තරගාවලියට සම්බන්ධ වෙලා ඒ ජයග්‍රහණයත් එක්ක තමයි රංගනයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නෙ. ඉතින් මේ වෙද්දි මේ තරගය අදියර 9ක් දක්වා ඇවිල්ලා ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් රැසක්ම බිහි කරලා තියෙනවා. ඉතින් ඒ අදියර ගණනාවෙන්ම නර්තන අංශයේ තරගකරුවන් තුළින් මට මේ නාට්‍යයට සහ ඒ චරිතයට සම්බන්ධ වීමට ලැබීම ගැන ගොඩක්ම සතුටුයි. මම ගොඩක් වාසනාවන්තයි කියලා හිතෙනවා. මේ ලැබුණු අවස්ථාව පිළිබඳව. දෙරණ ආයතනයෙන් තමයි මේ අවස්ථාව මට ලැබෙන්නෙ. ඉතින් මම හිතනවා පුංචි කාලෙ මගෙ නර්තනයට ආදරය කරපු ප්‍රේක්ෂකයන්ට නැවතත් ඒ අංජුමාලාව මේ නාට්‍යය හරහා මතක් කරගන්න පුළුවන් වෙයි.

මේ චරිතය තුළින් අංජුමාලාගේ කුසලතා කිහිපයක් එකවර එළිදක්වන්න හැකිවෙලා තියෙනවා නේද?

ඔව්. නර්තනය එක්කම රංගනයත් කරගෙන යනවා. ඇත්තටම මාව විශ්වාස කරලා මේ චරිතයට සම්බන්ධ කරගැනීම සම්බන්ධයෙන් මෙහි අධ්‍යක්ෂ තිලිණ බොරලැස්ස මහත්මයාටත්, නිෂ්පාදක ජානක සිරිවර්ධන මහත්මයටත් ස්තුතිවන්ත වෙන්න ඕනැ. ඒ වගේම දෙරණ නාළිකාවෙ ලක්සිරි වික්‍රමගේ මහත්මයා. මුලින්ම මම කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙද්දිත් මම රංගනයෙන් දායකවුණු ‘‘සිදු’’ නාට්‍යයටත් මාව සම්බන්ධ කරගත්තෙ මේ කණ්ඩායම තමයි. ඉතින් ඒ ලැබුණු අවස්ථාවත් එක්කම එම ආරාධනාවත් මම ගොඩක් ආසාවෙන් භාරගත්තා. ඉතින් මම ගොඩක් සතුටුයි අවුරුදු 5කින් පසුව වගේ නැවතත් එම කණ්ඩායමත් එක්කම වැඩ කරන්න ලැබීම ගැන.

‘‘සිදු’’ හි අංජුමාලා රඟපෑ චරිතය තවමත් ප්‍රේක්ෂක සිත් තුළ තියෙනවා නේද?

අනිවාර්‍ය්‍යයෙන්ම. සිදු අවසන් වෙලා දැන් ටික කාලයක් වෙනවා. නමුත් එහි ගයනිගෙ චරිතයට ගොඩක් දෙනෙක් ආදරය කළා. ගයනි කියන්නෙ ගමේ හැදුණු වැඩුණු ගැහැනු ළමයෙක්. ඒ චරිතය අවසන් වුණේ හොඳ බිරිඳක් ලෙස මව් පදවියත් එක්කම. ඉතින් අදටත් ඇය ගැන කතාබහ කරන පිරිසක් ඉන්නවා.

අංජුමාලා මේ ගමන ආරම්භ කළේ නර්තන ශිල්පිනියක් විදියට. දැන් රංගනයට ඇවිල්ලා ඉන්නවා. කලා ක්ෂේත්‍රයේ තවත් දක්ෂතා තියෙනවද?

නර්තනයට, රංගනයට අමතරව මම නිවේදන කටයුතුත් කරනවා. මේ වෙද්දි රූපවාහිනියේ වැඩසටහනකටත් නිවේදනයෙන් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම හඬකැවීම් ශිල්පිනියක් විදියටත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට අමතරව ගායනයටත් හැකියාවක් තියෙනවා.

ඒ කලා හැකියාවන් එක්ක කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්නද බලාපොරොත්තු වෙන්නෙ?

මම විශ්වවිද්‍යාලයේ හැදෑරුවෙ නම් සිනමාව සහ රූපවාහිනී අධ්‍යයනය. ඒ අංශයෙන් වැඩිදුර ගමනක් යන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. රංගනය පැත්තෙන් ඉදිරියට යාම ගැන නම් ටිකක් හිතන්න ඕනෑ දෙයක්. මොකද රටේ තියෙන තත්ත්වයත් එක්ක හරි තීරණයක් ගන්න අමාරු තැනක ඉන්නෙ. ලංකාවෙ ඉන්න පුළුවන් වෙයිද කියලාත් දැන් හැමෝටම ප්‍රශ්නයක් වෙලානෙ තියෙන්නෙ. ඒක නිසා ඉදිරිය ගැන කියන්න බැහැ. මොකද කරන්නෙ කියලා තව ටිකක් බලාගෙන ඉන්න ඕනෑ.

රංගන ශිල්පිනියක් වෙන්න හීනයක් තිබුණද?

හීනයක් තිබුණෙ නැහැ. රංගනයට එන්න ලැබුණෙ අහම්බෙන් වගේ. මම ළමා රංගන තරුවක් විදියටනෙ ක්ෂේත්‍රයට එන්නෙ මුලින්ම. එතැනින් පසුව මට මුලින්ම අවස්ථාව ලැබෙනවා සිරස නාළිකාවෙ ඒකාංගික ටෙලිනාට්‍ය මාලාවක රංගනයෙ යෙදෙන්න. ඒ පුංචි ආරම්භයක්. ඉන්පසුව ලොකු ගමනක් යන්න ලැබුණෙ ‘‘සිදු’’ නාට්‍යයට සම්බන්ධ වීමත් එක්ක. එතැනින් පසුව මට සිනමා නිර්මාණ දෙකකටත් සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂවරයාගේ ‘‘සේද මාවතේ’’ ප්‍රධාන චරිතයට සම්බන්ධ වීමෙන්. පසුව මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ ‘‘සහෝ’’ සිනමා නිර්මාණයට සම්බන්ධ වෙනවා. ඒ නිර්මාණයට ජාත්‍යන්තර සම්මාන පවා ලැබුණා. ඉතින් රංගන ශිල්පිනියක් වෙන්න ලොකු හීනයක් තිබුණෙ නැතත් අද රංගන ශිල්පිනියක් වීම ගැන ලොකු සතුටක් තියෙනවා. ඉතින් අද මේ ගමන එන්න මට ලොකුම ශක්තියක් වුණේ මගේ අම්මා. ඇය තමයි මගේ මේ හැම ජයග්‍රහණයක්ම පිටුපසම ඉන්නෙ. ඒ ගැන විශේෂයෙන්ම කියන්න ඕනැ.

ධනු විජේරත්න