හාමුදුරුකෙනෙක් කියන්නෙ ගිහි සැපත හැර ගිය කෙනෙක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇත්තටම මම හාමුදුරු චරිත විශාල සංඛ්‍යාවක් කරලා තියෙනවා. ඒ කොච්චරක් ද කියලා මට හරියටම කියන්න බැහැ. ඒ තරමට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ අතරින් මම කරපු චරිත ටිකක් මතකයෙ තියෙනවා. අශෝක හඳගමගෙ මේ මගේ සඳයි චිත්‍රපටයෙ චරිතයත්, සරත් වීරසේකරගෙ ගාමණී චිත්‍රපටයෙ චරිතයත්, සිදු නාට්‍යය චරිතයත්, දඹුළුගල සක්මන නාට්‍යයෙ චරිතයත්. මේ හාමුදුරු චරිත එකිනෙකට වෙනස්. දඹුළුගල සක්මන නාට්‍යයේ වෙද හාමුදුරු කෙනෙක්. 
ගාමණී චිත්‍රපටයෙ චරිතය ගත්තොත් ඒ හාමුදුරුවො සම්පූර්ණ සටන්කාමී හාමුදුරු නමක්, ජාතිවාදියි, සිංහල බෞද්ධයන් වෙනුවෙන් පමණයි පෙනී සිටින්නෙ. සිදු නාට්‍යය ගත්තොත් ඒ හාමුදුරුවො බොහොම සිල්වත්, ගුණවත්. මිනිසුන්ට උදව් උපකාර කරන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳ හාමුදුරු නමක්. හාමුදුරු කෙනෙක් කියන්නෙ මේ විදියයි කියන දේට ආදර්ශයක් ඒ චරිතය. ඒ වගේම මේ මගේ සඳයි චිත්‍රපටයෙ ඒ රඟපෑ හාමුදුරු චරිතය ඇත්තටම මම කැමැතිම රංගනයක්. මොකද ඒ චරිත රංගනය මගෙ පුද්ගලික අදහස් සමඟත් සමානයි. ඒ චිත්‍රපටයෙ තියෙනවා එක් දෙබසක් මම ප්‍රකාශ කරන ඒ තමයි “හැම ඇඳුමක් යටින්ම නිරුවතින් එකෙ ඇවිදිනවා. සිවුරෙයි කියලා වෙනසක් නැහැ” යනුවෙන්. 
 මම හිතන්නෙ හාමුදුරු නමක් කියන්නෙ සම්පූර්ණ ජීවිතේදී ගිහියෙක් විඳින සැප විඳින්න අකමැති ඒ ගිහි සැපත අත ඇරලා ගිය සමාජයේ කෙනෙක්. සසර ගමන කෙටි කරගන්න උත්සාහ කරන භාවානුයෝගී හාමුදුරු නමක් තමයි සිවුරක් ද‌ාගෙන ඉන්න සංඝයා වහන්සේ නමක් කියන්නේ. ලංකාවෙ හාමුදුරු චරිත කරද්දි ඇත්තටම කොහොමද හාමුදුරු කෙනෙක් හැසිරෙන්නෙ කියන දේ පෙන්නන්නත් අමාරුයි. ඒ ලංකාවෙ තියෙන නීති උඩ සහ මිනිසුන්ගෙ තියෙන හැඟීම් උඩ. ඇත්තටම හාමුදුරු කෙනෙක් හැසිරෙන විදියයි, ටෙලිනාට්‍යයක හාමුදුරු නමක් නිර්මාණය වෙන විදියයි අතර වෙනසක් තියෙනවා කියලයි මට හිතෙන්නෙ. ඇත්තටම ඉතින් මටත් මේ චරිත රංගනයට වැඩි ඉඩක් ලැබෙනවා. ගිහි චරිතවලට වඩා ලොකු වෙනසක් තමයි තියෙන්නෙ.