තාත්තයි අම්මායි තමා මාව ගායිකාවක් කරන්න උනන්ඳු වුණේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

එංගලන්තයේ ලන්ඩන් නගරයේ දැනට පදිංචිව සිටින ලිසෙනි තියන්සා ගායනා කළ මේ දෙතොලේ සායම් නොව බුලතේ රත තමයි.. ගීතයට මේ වනවිට ඉහළ රසික ප්‍රතිචාර හිමිවෙමින් පවතියි. තවමත් දහතුන් වැනි වියෙහි පසුවන ලිසෙනි කුළුඳුලේ ගැයූ ගීතයද මෙය වීම විශේෂත්වයකි. ගායනයට නවකයෙක් නිසාම මෙවර අප ඇය වෙනුවෙන් මෙසේ ඉඩක් වෙන් කළා.

ලිසෙනි ගැන විස්තර කියමුකෝ මුලින්?

මම ලිසෙනි දැනට පදිංචිය එංගලන්තයේ ලන්ඩන් නගරයේ. හැබැයි මම ලංකාවේ ඉපදුනේ. ලන්ඩන්වලට එනකොට මට යාන්තම මාස එකොළහයි. ලංකාවේ ඉපදුණත් මම හැදුණේ වැඩුණේ ලන්ඩන්වල.

පොඩි කාලේදීම ඔබ ගායිකාවක් වෙනවා?

මම ගීත ගායනයට දක්ෂයි. ඒ නිසා මගේ අම්මායි, තාත්තායි දෙන්නා එකතු වෙලා තමයි ගීතයක්  කරමු කිව්වේ. ඇත්තටම මම දන්නෙත් නැහැ මේ වගේ දෙයක් ගැන මුලින්ම. අම්මා තමයි මාව උනන්ඳු කළේ. මම පුදුම වුණා මොකද, ඒ වගේ අත්දැකිමක් මට මීට කළින් මට ලැබිලා තිබුණේ නැති නිසා.

ඉංග්‍රීසි භාෂාවට හුරුවුණ ඔබට සිංහලෙන් ගීතයක් ගායනා කරනවා කියන්නේ අභියෝගයක්?

ඇත්තටම ඔව්, මෙහේ කතා කරන්නේම ඉංග්‍රීසි භාෂා වෙන්නේ. ඒ නිසා අපි හුරුවෙලා තියෙන්නේ ඉංග්‍රීසි වචනවලට. හැබැයි මට සිංහලත් කතා කරන්න පුළුවන්. වැඩේ කියන්නේ හැබැයි සිංහල අකුරු කියන්න බැහැ. මේ ගීතය මම ගායනා කළේ සිංහල වචන ඉංග්‍රීසියෙන් ලියාගෙන.

මේ දෙතොලේ ගීතය ගැන කතා කරමු අපි?

ගීතයේ පද රචනා කළේ උවිඳු දයාරත්න. ගී තනුව හා සංගීතය එකතු කළේ ඉසුරු වික්‍රමගේ. ගීතයට ලස්සන රූප රචනාවක් නිර්මාණය කරලා දුන්නේ තිළිණ ධනුෂ්ක. සංගීත් ප්‍රභු එක්ක අමල් ප්‍රසාද් (විනි රැවුලා) හා මලිෂා චමෝදි දෙන්නා තමයි මේ ගීතයට රඟපාන්නේ.

ලිසෙනි ගීත ගායනයට විතරද දක්ෂ?

නැහැ. මම නර්තනයටත් දක්ෂයි. ඊට අමතරව ක්‍රීඩාව පැත්තටත් දැන් මම සම්බන්ධ වෙලා ඉන්නවා. ටයිකොන්ඩෝ හා පිහිනුම් ක්‍රීඩාවට තමයි ගොඩක් දක්ෂ. ඒ එක්කම ගීටාර් වාදනය කරන්නත් මට පුළුවන්.

මේ දෙතොලේ ගීතයෙන් පස්සේ?

තවත් ගීතයක් කරන්න ඕනා. නමුත්, අධ්‍යාපන කටයුතුත් එක්ක මේක පටලවගෙන කරන්න මම කැමති නැහැ. කාලයක් අරගෙන අධ්‍යාපන කටයුතුවලටත් බාධාවක් වෙන්නේ නැතුව තව ගීතයක් ඉදිරියට කරන්න හිතාගෙන ඉන්නවා.

පවුලේ කට්ටිය ලිසෙනි ගායිකාවක් වුණ එකට සතුටුද?

මටත් වඩා සතුටු මගේ අම්මාටයි, තාත්තටයි. ඒ එක්කම මගේ මල්ලි සිතෙව් මින්තරුත් මට ගොඩක් උදව් කරනවා. මේ දෙතොලේ සායම් ගීතය මගේ අම්මයි තාත්තායි මට දුන්න පුදුම කිරිමේ තැග්ගක් කිව්වොත් හරි. ඒ දෙන්නටයි මගේ මල්ලිටත් ගොඩක් මම ආදරේයි. ඒ හැමෝම මට ගොඩක් උදව් කළා මේ වැඩේ හරියටම කරගන්න.

බුද්ධික සේනාධීර