මම කැමති නැහැ එකම විදිහකට රාමු වෙලා ඉන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරූපණ ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් සහ නර්තන ශිල්පිනියක් තමයි අංජනා දිල්ෂානි කියන්නේ. අංජනා එකම රාමුවකට කොටු නොවී වෙනස් නිර්මාණ කිරීමට කැමති කෙනෙක්. නිරූපණ ක්ෂේත්‍රයේ දිගු ගමනක් යෑමට කැමැත්තක් දක්වන ඇය සාරවිට සමග කතාබහකට සම්බන්ධ වුණේ මේ විදිහටයි.

මේ දවස්වල වැඩකටයුතු කොහොමද?

මේ දවස්වල කන්සෙප්ට් ෂූට් වගයක් කරගෙන යනවා. ඉස්සරහට අළුත් ඩ්‍රාමා සහ ෂූට් වගයක් එන්න තිබෙනවා. ඊට අමතරව මම ජාතික රූපවාහිනියේ මගේ රැකියාව කරගෙන යනවා. මම එහි මාර්කටින් අංශයේ සේවය කරන්නේ.

ඔබ නිරූපණයට පිවිසෙන්නේ කොහොමද?

දැන් අවුරුදු පහකටත් වැඩියි ක්ෂේත්‍රයට ඇවිත්. මම මුලින්ම ඩාන්සින් කළේ. ඒ හරහා මට නිරූපණයට ආරාධනා ලැබුණා. ඊටපස්සේ මට 2016දි මුතුකුඩ ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබෙනවා. එතනින් පස්සේ තමයි මියුසික් වීඩියෝ, කමර්ෂල් වගේ ඒවාට සම්බන්ධ වෙන්නේ.

වෘත්තීයක් විදිහට රංගනයට සම්බන්ධ වෙනවාද?

මම කැමති නැහැ එකම විදිහකට හිර වෙලා ඉන්න. මම කලා ක්ෂේත්‍රයේ වුණත් එක රාමුවකට හිර වෙලා ඉන්නේ නැතුව වෙනස් වෙනස් වැඩ කරනවා. ඒ නිසා රංගනයේම හිර වෙලා ඉන්නේ නැතිවෙයි.

දැන් ඩාන්සින් කරන්නේ නැද්ද?

දැන් ගොඩාක්ම එතනට ෆෝකස් එකක් දීලා නැහැ. ජාතික රූපවාහිනියට සම්බන්ධ වුණාට පස්සේ ඩාන්සින් ටිකක් මගෙන් ඈත් වෙලා. මම ඩාන්සින් දිගටම කළා. මගේ ඩාන්සින් ගෘප් එකක් පවා තිබුණා.

ක්ෂේත්‍රයේ අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම සතුටුයි. මම මේ ෆීල්ඩ් එකට එනකොට තාත්තා කැමතිම වුණේ නැහැ. ඒක සුන්දර ගමනක් නෙවෙයි. හරිම අමාරු ගමනක්. ඕනම කෙනෙක්ට ෆීල්ඩ් එකේ තැනක් හදාගන්න හරිම අමාරුයි. අද මම නාලිකාවකට සම්බන්ධ වෙලා තිබෙනවා. එතනින් මගේ ගමන තවත් පැත්තකට හැරිලා තිබෙනවා. ඒ දේවල් නිසා ඇත්තටම අද මම ඉන්න තැන ගැන සතුටුයි.

ඔබ පැජන්ට්වලට සහභාගී වෙලා තිබෙනවාද?

නැහැ. මම කිසිම පැජන්ට් එකකට සහභාගී වෙලා නැහැ. දැනට එහෙම බලාපොරොත්තුවක් නැහැ.

නිර්මාණයක් බාර ගනිද්දි මොනවාද සලකා බලන්නේ?

මම ගැහැණු ළමයෙක්. දවසක මම විවාහ වෙලා පවුල් ජීවිතයක් ගත කරනවා. ඒවා ගැන මම ගොඩක් හිතනවා. මම ගෙදර ඉන්නකොට අම්මයි තාත්තයි එක්ක මම කරපු නිර්මාණ ගැන කතා කරන්න පුළුවන් විදිහේ නිර්මාණ වෙන්න ඕනේ. අපි චරිතයක් කළොත් ඒ චරිතය දිහා බලලා තමයි අපේ ඉදිරිය ගොඩනැගෙන්නේ. ඒ නිසා මම නිර්මාණයක් බාර ගනිද්දි බොහෝ දේවල් හිතනවා.

ඉදිරි වැඩ කටයුතු ගැන කිව්වොත්?

මම NVQ එකක් කරගෙන යනවා. ඒක ඉවර කරන්න ඕනේ. ඒ වගේම මගේ රැකියාව පැත්තෙනුත් ඉස්සරහට යනවා. නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කටයුතුත් කරගෙන යනවා. රටේ ප්‍රශ්නත් විසඳුනොත් හොඳයි. ඉන්න පුළුවන් වාතාවරණයක් තිබුණොත් ඇත්තටම හොඳ දෙයක් කරන්න පුළුවන් වෙයි. නැත්නම් ඉතින් රට යන්න තමයි වෙන්නේ.

උදව් කරපු අය ගැන කිව්වොත්?

මුලින්ම මතක් කරන්න ඕනේ මගේ අම්මා. ඒ වගේම තාත්තා, මගේ ළඟම ඉන්න යාළුවෝ, ක්‍රිෂී ඩියානා අක්කා, මගේ පෙම්වතා තමයි මගේ පස්සෙන්ම ඉන්නේ. ඒ හැමෝමවත් මතක් කරනවා.

සාකච්ඡා - කැළුම් දේවින්ද