මම දේශපාලනයට එනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඇය, නිවේදන ක්ෂේත්‍රයට පැමිණියේ, ස්වර්ණවාහිනිය ඔස්සේය. දොළොස් වසරක් එහි සිටි ඇය, විධායක නිෂ්පාදිකාවක ලෙස සේවය කොට, පසුව ජාතික රූපවාහිනිය සහ හිරු නාලිකාවල සේවය කර මේ දිනවල සියත ටි.වී. ඔස්සේ අප ආමන්ත්‍රණය කරන්නීය. ඊට අමතරව සියතේ විකාශය කෙරෙන රැහේ නාට්‍යයයේ ‘ඒරක්කා’ නම් චරිතය සහ කකුළුවෝ සහ මකුළුවෝ ටෙලි නාට්‍යයේ චරිතයක් සමග අපට හමුවන මොහොතක මේ කතා බහ, ඔබ කවුරුත් දන්නා හඳුනන සුරංගි කොඩිතුවක්කු සමගයි.

• සුරංගි රඟපෑමට ඇවිත්?

ඔව්. මේ දිනවල රැහේ නාට්‍යයේ, අහිකුණ්ඨක රැහේ චරිතයක්. මමත් බොහොම ආසාවෙන් බාරගත් චරිතයක්. මේ නාට්‍ය අධ්‍යක්ෂණය කළේ ජී. නන්දසේන මහතා. මෙහි රචනය කළේ සෝමවීර සේනානායක ශූරින්. එතුමාගේ අවසන් ටෙලිනාට්‍ය රචනය මෙයයි. රැහේ විකාශය වන්නේ සතියේ දිනවල 8.30 ට සියත රූපවාහිනියේ. එහි කොටස් පහක් විකාශය වන විට යූ. ටියුබය හරහා වැඩිම කොටසක් නැරඹූ නිර්මාණයක් බවට ඉදිරියට පැමිණියා. මීට අමතරව සුරංග සෙනෙවිරත්න අධ්‍යක්ෂණය කරන කකුළුවෝ සහ මකුළුවෝ ටෙලිනාට්‍යයේ රඟපානවා. ඒ නාට්‍ය විකාශය වන්නෙත් සියතෙ. සතියේ දිනවල රාත්‍රී 8 ට. එහි රඟපාන්නෙ, වෙනස්ම චරිතයක්. සමාජයේ ජීවත්වන වංචනික ගති ඇති ආයතන ප්‍රධානියක ලෙසයි.

• ‘සුරංගි’ ඇයි රඟපාන්න හිතුණේ ? මේක අහම්බයක් ද? නැත්නම් ඔබ සොයාගෙන ගිය දෙයක් ද?

රඟපාන්න මට හරි ආසයි. මීට අවුරුදු 10 කට පෙරදි තමයි මම රඟපාන්න ආවේ. විමලරත්න අධිකාරී මහතා අධ්‍යක්ෂණය කළ ‘සක්විත්තෝ’ නාට්‍යයෙන් රඟපාන්න ආවේ. නමුත් නිවේදිකාවක ලෙස මම වෘත්තියට මුල් තැන දුන්න නිසා රඟපෑමේ බොහෝ දේ ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වුණා. ඒත් නිදහසේ අවස්ථාවක් ලැබුණොත් එය බාර ගන්නවාය යන දේ මගේ හිත ඇතුළේ තිබුණා. මම හරිම ආස දෙයක් මේ රංගන විෂය.

• ඇයි රංගනයට එච්චරටම ආසා

නිවේදිකාවක, මාධ්‍යවේදිනියක ලෙස වසර 20ක් සේවය කළා. එහි දී මම දුටු දේ තමයි මාධ්‍යවේදිනියකට වඩා රංගන ශිල්පිනියකට ආකර්ශනය වැඩියි. ඊට හේතුව සමාජයේ අපි දකින විවිධ පැතිකඩ ටෙලිනාට්‍ය ඔස්සේ මිනිස්සු නැරඹීම සහ ග්‍රහණය කර ගැනීමයි. මේ නිසා සමාජයට ඔවුන් දැනෙනවා වැඩියි. ඒ නිසාම ඕනෑම තැනක දී රංගන ශිල්පියකුට ශිල්පිනියකට ලැබෙන ආදරය වැඩියි. ඒකට මම ප්‍රිය කළා. ඒ අනුව රංගනයේ මගේ දෙවැනි ගමන පටන් ගත්තේ 2020 දී එරංග සේනාරත්න අධ්‍යක්ෂණය කළ ‘ආදරයේ ජානු’ චිත්‍රපටයටයි. එහි ප්‍රධාන චරිතයක් ලැබුණා. ‘සුරංගි’ නමින්මයි රඟපාන්නෙ. ඊට මාව යොමු කළේ සනෝජා බිබිළේ ප්‍රවීණ රංගන ශිල්පිනියයි. මේ චිත්‍රපටය තිරගතවීමට නියමිතයි. එයින් පසුව තමයි විකාශය වන ‘කකුළුවෝ සහ මකුළුවෝ’ ටෙලිනාට්‍යයට ආරාධනා ලැබුණේ. එහි රූගත කිරීම් මේ දිනවල කෙරෙනවා.

• ඉදිරියේ බාරගත්ත තව රඟපෑම් මොනවාද?

නාට්‍ය දෙකකට තවත් ආරාධනා ලැබී තිබෙනවා. මේ පවතින තත්ත්වයෙන් පසුව වැඩිදුර විස්තර ඒ ගැන කියන්න පුළුවන්.

• රඟපෑමද? නිවේදනය ද? වඩා ලෙහෙසි,

නිවේදනය මට නම් වඩා ලෙහෙසියි. රඟපෑම වඩා සංකීර්ණයි. මිනිසුන්ට දැනෙන්න කරන්න නම් අපි  ඒකට කැප වෙන්න ඕනෑ. ඒක දුෂ්කර වුණත්, විඳින්න පුළුවන්. නිවේදනය මගේ ජීවිතයට බද්ධ වෙලා ආ දෙයක්.

• මේ සියල්ල අතරේ ඔබ සමාජ සේවා වැඩ කරන්නෙ දේශපාලනයට අවතීර්ණ වීමේ යටි අරමුණක් ඇතිව ද?

මුලින්ම නම් සමාජ සේවා වැඩ කරන්න පටන් ගන්නෙ ස්වර්ණවාහිනියෙ ආ මුල් කාලයේ ඉඳලාමයි. සමාජ සත්කාර වැඩ සටහන් සංවිධානය සඳහා ස්වර්ණවාහිණිය එදා වැඩිපුරම යොමු කළේ මාවයි. ‘සුබ නත්තල්, සොඳුරු සැඳෑව’ වසර ගණනාවක් කළේ, මහරගම අපේක්ෂා රෝහලේ දරුවන් වෙනුවෙන්. එයින් මා පුද්ගලිකව වඩාත් තෘප්තිමත් වුණා. මෑත කාලයේ දී මගේම ව්‍යාපෘතියක් ලෙස ‘හදවතේ හඬ සමාජ සත්කාර’ පදනම නමින් පටන් ගත්තා. එය සුරංගි කොඩිතුවක්කු වනිතා පදනම යටතේ කෙරෙන්නෙ. 2020 වසරේ දී සමාජ සත්කාර පදනම් 1700 ක් අතරින් හොඳම සමාජ සත්කාර පදනමට හිමි ගෞරව සම්මානය පවා දිනා ගත්තා. කොරෝනා වසංගතය ආ දිනවල සිට අපි නොබියව සමාජ සත්කාරවල යෙදී සිටිනවා. එක් අතකින් මාධ්‍යවේදිනියක ලෙසත්, සමාජ සේවිකාවක ලෙසත්, ජනතාවගේ ආදරය දිනා සිටින මම, දේශපාලනයටත් කැමැතියි. ඒ වෙනුවෙන් මට ආරාධනා ලැබිලත් තියෙනවා. ඇත්තෙන්ම මට හංගන්න දෙයක් නැහැ. මම ක්‍රියාකාරී දේශපාලනයට එනවා.

• මොන පැත්තෙන් ද?

මගේ හැංගිලි නැහැ, බොරු නැහැ. මම මහින්ද රාජපක්ෂ කියන මහා චරිතයට ගරු කරනවා. අපේ රටේ තිස් වසරක යුද්ධය නිමා කළ විරුවා ඔහුයි. අපේ කාලයේ රජු ඔහුයි. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ යන චරිතවලට මම ගරු කරනවා. ඒක තමයි ඇත්ත.

• දේශපාලනය කියන්නෙ මොකක්ද? කොහොමද ඔබට ඒ ගැන දැනෙන්නෙ.

විවිධ අර්ථ කථන දෙනවා. ඒත් අපේ රට, ගම, පාසල, අපි ජීවත්වන අසල්වැසියන් වෙනුවෙන් අපට යමක් කරන්න පුළුවන් නම්, එකිනෙකා වශයෙන්, මේ සමාජය දියුණු කරන්න පුළුවනි. වැඩක් කරන්නෙ නැතුව දේශපාලනයට එන්නං වාලේ ඇවිත් වැඩක් නැහැ. ඇවිත් සමාජයට වැඩ කරන්න ඕනෑ. හදවතින්ම මිනිස්සු එක්ක ඉන්නවා නම් අමුතුවෙන් දේශපාලනය කරන්න ඕනෙත් නැහැ.

• කොහොමද ‘සුරංගිගෙ’ පුද්ගලික ජීවිතය?

පුතාලා දෙන්නා එක්ක සතුටින් ඉන්නවා. එයාලාගේ වැඩට මුල්තැන දීලා, මගේ ‘හඬ’ මාධ්‍ය පුහුණු පාසල කරමින්, මාධ්‍ය වෘත්තියේ යෙදෙමින් රංගනයේ සහ සමාජ සේවයේ යෙදෙමින් ජීවිතය ගත කරනවා.

• ජීවිතය මේ විදියටම යාවිද?

වෙනස් විය යුතු තැනක් ආවොත් වෙනස් වේවි.

• ‘සුරංගි’ කිව්වාම කොහොම කෙනෙක් ද?

බොහොම සංවේදී හිතහොඳ ටිකක් රැවටෙන සුළු, දක්ෂ නිවේදිකාවක්. බයත් නැහැ, අරමුණු ජයගන්න කැපවෙන කෙනෙක්. ඒ වගේම කිසිම දෙයක් හංගන්නෙ නැති විවෘත කෙනෙක්. ඕනෑම දෙයක් දරාගන්න පුළුවන් හරිම සංවේදී චරිතයක්.

සඳුන් ගමගේ