මම නරක ළමයෙක් නෙවෙයි. ටිකක් විතර කච කච ගාන කෙනෙක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජීවිතයට ලැබෙන අවස්ථා ගැහැනු ළමයෙක් හරි විදියට පාවිච්චි කරන්න ඕනෑ. එතකොට අපට වරදිනවා අඩුයි. මෙහෙම කියන්නෙ, දෙරණෙ විකාශය කෙරෙන නිදුක් මධුශිකගෙ රචනයෙන්, නිමේෂ් කුලසිංහගෙ සංගීතයෙන් සහ ශ්‍රියන්ත ප්‍රසාද් රත්නායකගෙ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ ධරණි නාට්‍යයේ පොඩ්ඩි ලෙස රඟපාන, ඩිලුෂි හංසිකාය. සුන්දර සිනහවකින් නිතර මුව සරසා ගත් මෙම ඩිලුෂි කවුද? අද සඳැල්ල කවරය සරසන ඇය අප සමග කතාබහට එක්වූ විදියයි මේ.

ඩිලුෂි සම්පූර්ණ නම කියමු?

ඩිලුෂි හංසිකා කුමාරි.

ඩිලුෂි හංසිකා කුමාරි, ඒ අතරින් වඩා කැමති?

ඩිලුෂි කියන්න.

ගම එහෙම?

මොරටුවෙ

ඉගෙන ගත්තෙ?

දෙහිවල ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයෙන්.

ගෙදර විස්තර කිව්වොත්?

මගේ පවුලේ අම්මයි, අප්පච්චියි, මල්ලිලා දෙන්නයි, මමයි. අපෙ අප්පච්චි ව්‍යාපාර කරන්නෙ. අම්මා ගෘහණියක්.

ඩිලුෂි එතකොට පොහොසත් පවුලක කෙල්ලෙක්?

අනේ එහෙම නැහැ. බොහොම සාමාන්‍ය විදියට ජීවත් වන පවුලක සාමාන්‍ය ළමයෙක්.

ඉගෙනීම් කරලා ඉවරද? තවමත් කරනවද?

තවම අධ්‍යාපනය ඉවර කරලා නැහැ. මේ වනවිට උසස් අධ්‍යාපනය හදාරමින් සිටින්නෙ. පොඩි කාලයේ ඉඳලාම පාසලේ වැඩ වලදි, පොතපතේ වැඩට වගේම බාහිර වැඩවලට බොහොම උනන්දු වුණා. නර්තනයට, සංගීතයට, නිවේදනයට ආදී ඔය ඔක්කෝම අංශවලදී ඒවාට දායක වීමේ උනන්දුවක් මට තිබුණෙ. හැබැයි ඒ විදිහට වුණාට පුංචි කාලයේ ඉඳලාම මගේ අරමුණ වුණේ නීතිඥවරියක වීමටයි. ඒත් Z-Score එක මදිවුණා. නමුත් කැලණි සරසවියට ඇතුලත් වීමේ සුදුසුකම් ලැබුවා. ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශේෂවේදී උපාධිය දැන් හදාරමින් සිටින්නෙ. අවසන් වසරේ සිසුවියක්.

ඩිලුෂි අනාගතයේදී වෘත්තිය හැටියට තෝරාගන්න හිතාගෙන ඉන්නෙ?

උපාධි අධ්‍යාපන කටයුතු ඉවර කරලා, ඊළඟට ඉදිරියටත් උසස් අධ්‍යාපනය හදාරන්න හිතාගෙන ඉන්නෙ. ඊට පස්සෙ අධ්‍යාපනයට අදාල අංශයක රැකියාවක් කරාවි.

ඩිලුෂි වයස කියන්න එහෙම කැමතිද?

අනේ කමක් නැහැ. වයස කියන්න අකමැති නැහැ. මේ එළැඹෙන නොවැම්බර් මාසයේදී මගේ වයස අවුරුදු 24 සම්පූර්ණ වෙනවා.

වයස 24 ක් දක්වා මෙතෙක් ගෙවී ගිය ජීවිතය දිහා පසු විපරමක් කළොත්?

ඇත්තටම මෙතෙක් ආ ගමන ගැන මට හරි සතුටුයි. මට තිබුණෙ ලස්සන මිහිරි පාසල් ජීවිතයක්. ඒ වගේම තමයි ගෙදර ජීවිතයත් හරිම සුන්දරයි. ඒ වාසනාව තිබුණු කෙනෙක්. සුන්දර පාසල් ජීවිතයකින් පසුව, සරසවි වරම් ලැබුවා. ඉතින් ජීවිතය සුන්දරයි. සරසවි අධ්‍යාපනය ලබන අතරේදී තමයි දෙරණෙ අවුරුදු කුමාරිය තරගයට අයදුම් කළේ. ඉතින් අද වන විට ඒ සියල්ල අතරේ රඟපෑමටත් වාසනාව ලැබී තිබෙනවා. හරි සතුටුයි ජීවිතය ගැන.

මේ විදියට සතුටින් කටයුතු කරන ඩිලුෂි මොන විදියෙ කෙනෙක්ද?

තැන්පත්, විනීත කියන දේ සියයට සියයක්ම නැතත්, මම නරක ළමයෙක් නෙවෙයි. ටිකක් විතර කච කච ගාන කෙනෙක්. නිතරම කතාවම තමයි. මම හොඳ දරුවෙක් කියලා ගෞරවයෙන් කියන්න පුළුවනි.

පොඩ්ඩි ගැන කියමු? කොහොමද ඒ අවස්ථාව ලැබුණෙ?

ස්ක්‍රීන් ටෙස්ට් එකට ගියාම රඟපාන්න ලැබේවි කියලා හිතුවෙ නැහැ. සහභාගි වෙලා බලන්නයි මට ඕනෑ වුණේ. පාසලේදී වේදිකා නාට්‍ය එහෙම කරලා තිබුණු නිසා කැමරාව ඉදිරියට යද්දි මට බයක් තිබුණෙ නැහැ. තිර පරික්ෂණය (ස්ක්‍රීන් ටෙස්ට්) එක හොඳට කළාය කියලා මම හිතනවා. පොඩ්ඩි කියන්නෙ සාමාන්‍ය විදියෙ ගැහැණු ළමයෙක් නෙවෙයි. නටන්න, සටන් කරන්න තියෙනවා. ඉතින් ඒක ලොකු වෙනසක් තියෙන චරිතයක්. ස්ක්‍රීන් ටෙස්ට් එකෙන් මාව තේරීම ගැන හරි සතුටුයි.

කොහොමද ෆයිට් කරන එක ගැන මිනිස්සු මොනවද කියන්නෙ?

ඒකට නම් හොඳ ප්‍රතිචාර ලැබෙන්නෙ. අපට ෆයිට් (සටන්) පුරුදු පුහුණු කරවන්නෙ ඔසඳ සමන් බණ්ඩාර මාස්ටර්. අපි ඉතින් දෙයියනේ කියලා වැඩේ හරියට කරගෙන යනවා.

සැබෑ ජීවිතයේදීත් රණ්ඩුවට බර ළමයෙක්ද?

අපෝ කොහෙත්ම නැහැ. මම හොඳට කතාබහ කරලා මිනිස්සු එක්ක බොහොම සහයෝගයෙන් ඉන්න චරිතයක්. ෆයිට් කරන්නන් ධරණි නාට්‍ය නිසා ලැබුණු එකක් ලොකු දෙයක්. ධරණි නාට්‍යයට තෝරා ගත්තාට පස්සෙ සටන් පුහුණුව වෙනුවෙන් අභ්‍යාස වලට සහභාගි වුණා.

පොඩ්ඩිට ආදරයක් ගැන එහෙම හිතිලද තියෙන්නෙ?

හරි කාලය ආවාම අම්මලා හොයලා දේවි. මොකද අපිට මිනිස්සු හොයාගන්න අමාරුයි, ඒකට හේතුව අපි හිතන විදියෙ මිනිස්සු නෙවෙයි සමාජයෙ ඉන්නෙ. තවම මගේ වයස අවුරුදු 24 යි. හරි කෙනා වෙලාවට ඒවි.

ගෙවී ගිය කාලයේදී ප්‍රේම සබඳතා වගේ දේ තිබිලම නැද්ද?

මම හිතන්නෙ නැහැ කියලා කිව්වොත් ඒක බොරුවක්. ඒත් හරි කෙනා හම්බවෙලා නැහැ.

ඩිලුෂි ආදරය ගැන හිතන්නෙ කොහොමද?

රැකබලා ගැනීම එක්ක, එකිනෙකා කෙරෙහිවූ අවබෝධය එක්ක, සතුටින් සිටීමට හැකි නම් එතැන තියෙන්නෙ ආදරයක්.

ඩිලුෂි තවත් බොහෝදේට දක්ෂ ඇති?

පාසලේදී 13 වසරේ සිටියදී විශිෂ්ටතම ශිෂ්‍යයා වුණා. කථික, විවාද තරගවලට ගිහින් ජය ලැබුවා. විවාද කණ්ඩායමේ නායිකාව විදියට හිටියා. බටහිර සංගීත කණ්ඩායමේ හිටියා. ශිෂ්‍ය නායිකාවක වුණා. මේ ඔක්කෝටමත් වඩා පාසලේ අනෙක් ළමයි මට බොහෝම ආදරය කළා. ගුරුවරුන්ගෙන් විතරක් නොවී, ළමුන්ගෙනුත් ආදරය ලැබූ කෙනෙක්. අදටත් මට පාසලට ගියොත්, ඒ ආදරය ලැබෙනවා.

රඟපෑම හැර වෙන මොනවටද ආසා?

රූපවාහිනී නිවේදිකාවක වෙන්නත් ආසයි. අපි බලමු ඉතින්.

මේ දිනවල වැඩිපුර අහන ගීතයක් එහෙම තියෙනවද?

විදුල රවිෂර ගැයූ 
බොහෝ පෙම් කවි ලියූ පසුවද
සියුම් කැපුමක් මෙන්රැඳි
නොලී කවියක් තිබිය නොහැකිද
හදේ යම් රිදුමක් දිදී
ගීතයට ආසයි.

ඩිලුෂි ලස්සනයි කියලා කියනවට කැමතිද?

මාව කෙසේ වෙතත්, මගේ හිනාව නම් ලස්සනයි කියලයි මගේ යාළුවෝ කියන්නෙ. මගේ හිතත් ලස්සනයි කියලා මට හිතෙනවා. මම බොහොම වාසනාවන්තයි කියලා හිතෙනවා. දක්ෂතා කුසලතා එක්ක ආව ලස්සන ගමනක්.

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ