රඟපාන්න නම් නම් ගොඩක් ආරාධනා ලැබුණා මට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රූපවාහිනි වෙළෙඳ දැන්වීම් හරහා නිතර දකින යෙහානි අනුරාධා සමගින් මෙවර සාරවිට අපි කතා බහා කළේමු. දැනට බොහෝ වෙළෙඳ දැන්වීම් ප්‍රමාණයක් සඳහා සිය දායකත්වය සපයා ඇති යෙහානි ඉදිරියේදී රංගනයටද පිවිසිමටද සූදානමින් සිටියි. මේ දිග හැරෙන්නේ ඇය සමග කළ කතා බහයි.

යෙහානිගේ වෘත්තිය මොකක්ද?

මම වෘත්තිය මට්ටමේ රූපලාවණ්‍ය ශිල්පිණියක්. The Lavish Hair Studio නමින් මගේම කියලා රූපලාවණ්‍යගාරයක් දැනට පවත්වාගෙන යනවා. ඒක තියෙන්නේ කොට්ටාවේ. ඒ වැඩ වලට අමතරව රූපවාහිනී වෙළෙඳ දැන්වීම් සහා ගීත රූප රචනාවලට පෙනී සිටිනවා.‍

ඔබ දායක වුණ නිර්මාණ ගැන අපිට කියන්නකෝ?

බාචි සුසාන් ගැයූ ඔබ එනකල්.. ගීතයේ රූප රචනවට මම පෙනි හිටියා. ඒ හරහා තමයි කලා ක්ෂේත්‍රයට මගේ පිවිසිම සිදු වුණේ. ඊට පස්සේ ගොඩක්ම කළේ රූපවාහිනි වෙළෙඳ දැන්වීම්වලට දායකත්වය සපයන එක. දැනට මම වෙළෙඳ දැන්විම් බොහෝමයකට පෙනි ඉඳලා තියෙනවා. ඒ අතරින් එයාර්ටෙල්, DFCC Bank, හෝර්ලික්ස්, ඩීවා සබන්, Union Bank ආයතන වෙනුවෙන් කරපු වෙළෙඳ දැන්විම් ගොඩක් ජනප්‍රිය වුණා.

යෙහානි රඟපාන්න කැමති නැද්ද?

ටෙලි නාට්‍යය වලට නම් ගොඩක් ආරාධනා ලැබුණා. කොටින්ම කිව්වොත් අදටත් ඊට එක්වන්න ආරාධනා මට ලැබෙමින් පවතිනවා. ඉදිරි කාලයේදී ඒ හා සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. මම ගොඩක් ආස කරන වෘත්තියක් තමයි රංගනය කියන්නේ.

ඉදිරියට මොනවද ඔබගේ සැළසුම්?

මට අවුරුදු තුනක් වයසැති පුතෙක් ඉන්නවා. ඉතින් අම්මා කෙනෙක් විදිහට එයා වෙනුවෙන් තමයි ගොඩක්ම කාලය කැප කරන්නේ. පුතා ටිකක් ලොකු වුණාම මීට වඩා කලා කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්න සුදානමින් ඉන්නවා මම.

බිරිඳක් මවක් වුණ කෙනෙකුට මේ ක්ෂේත්‍රය සුදුසුද?

මම නම් හිතන්නෙ තමන් ගියපු වැඩේ හරියට කරලා පාඩුවෙ ගෙදර එනවානම් ඔය ප්‍රශ්න මොනවත් එන්නෙ නෑ. තමන්ටම කියලා වටිනාකමක් හදාගෙන තෝරා බේරගෙන වැඩ ටික කර ගන්නවා නම් පහසුයි. හදිසි ගමනකට වඩා හිමින් ගමනක් යන එක හොදයි කියලයි මට හිතෙන්නේ. මට යහළු යෙහෙළියෝ හරිම අඩුයි. එදිනෙදා හම්බෙන ඕන කෙනෙක් එක්ක ඉතා සුහදව වැඩ කටයුතු ටික කරනවා. පිට ප්‍රශ්න කිසිම දෙයක් මම ගෙදරට අරන් යන්නෙ නෑ. ඒ නිසා මම හරිම නිදහස් කෙනෙක් විදිහට ජිවත් වෙනවා.

කලාවට සම්බන්ධ වුණ එක ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම හරිම සතුටුයි. ඉස්සර කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ මට කලාවට සම්බන්ධ වෙන්න. කලාවට සම්බන්ධ වීමත් එක්ක මගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වුණා. ඒ වෙනසත් එක්ක මට මම ගැන ගොඩක් ආඩම්බරයි වගේම සතුටක් අද වෙන කොට මට දැනෙනවා.

උදව් කරපු අය ගැන මතක් කළොත්?

මුලින්ම මේ ක්ෂේත්‍රයට එන්න උදව් කරපු කේශාන් පෙරේරා අයියාව සහා ඒ හා සම්බන්ධ වුණ සියලුම දෙනාව ගොඩාක් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මගේ ආදරණීය අම්මා (නැන්දම්මා) එයා තමයි මගේ කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න මට ගොඩක්ම උදව් වෙන්නෙ. ආදරෙයි ඒ හැමෝටම.

බුද්ධික සේනාධීර