ලාලසීය ගීතය මට නිර්මාණය කරන්න වසරක් ගතවුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගායිකාවක් ලෙස මේ වනවිට ජනප්‍රිය වී සිටින නදිෂා දයාරත්නගේ අලුත්ම ගීතය ලාලසිය... මීට දින කිහිපයකට පෙර නිකුත් කරනු ලැබීය. මේ නිසාම මෙවර සාරවිට අපි නදිෂා වෙනුවෙන් ඉඩක් වෙන් කරන්නට මෙසේ සූදානම් වුණා. මේ ඇය අලුත්ම ගීතය හා තම කලා තොරතුරු සම්බන්ධව අපිට දැක්වූ අදහස්.

ලාලසීය.. ගැන මුලින්ම කියමු?

ලාලසීය.. කියන්නේ ආදරය පදනම් වුණ ගීතයක්. මේක ලිව්වේ චමත් සංගීත්. එතකොට සංගීතවත් කළේ යශෝධ අධිකාරි. ගීත රූප රචනාව අධ්‍යක්ෂණය කළේ පසිඳු කෞශාල්ය. ලාලසීය.. රූප රචනාවේ මාත් සමගින් සූර්යා දයාරුවන් අයියා රඟපානවා. මේ ගීතය නිර්මාණය කරන්න මට වසරකට වඩා වැඩි කාලයක් ගියා. මොකද, රටේ තිබුණ ප්‍රශ්නත් එක්ක. නමුත්, මම හිතනවා  පරාක්කු වෙලා හරි හොඳ නිර්මාණයක් මට මගේ ආදරණිය රසික, රසිකාවියන්ට අද වෙන කොට දෙන්න පුළුවන් වුණා කියලා.

මීට පෙර කරපු නිර්මාණත් එක්ක ගත්තොත් ලාලසීය ගීතයේ වෙනසක් තියෙනවාද?

මෙහෙමයි කළින් කරලා තිබුණේ මම  කවර් සෝන්ග් දෙකක්. ඊට වසර ගණනාවකට පෙර මගේම කියලා ගීතයක් කරලා තිබුණා. ගොඩක්ම මම කරලා තියෙන්නේ ටෙලි නාට්‍යය තේමා ගීත. ඒ ගීතත් එක්ක බලද්දි නම් ලාලසීය.. කියන්නේ හාත්පසින්ම වෙනස් ගීතයක්. ඒ වගේම තවත් දෙයක් කියන්න ඕනා මේක ලියපු චමත් සංගීත් අයියා අතින් නිර්මාණය වුණ වෙනස්ම තාලේ ගීතයක් කියලාත් මට මේක සඳහන් කරන්න පුළුවන්.

මේ වසරේ ඔබ නිකුත් කළ කී වැනි ගීතයද මේ?

මේ ගීතය විතරයි මම මේ දක්වා මේ වසරේදී නිකුත් කළේ. නමුත්, අදහසක් තියෙනවා මේ වසරේදී තවත් ගීතයක් හෝ දෙකක් නිකුත් කරන්න. ඒත්, කාලය තමයි තිරණය කරන්නේ ඒක. එළිමහන් ප්‍රසංගවලට සහභාගි වෙන අවස්ථාත් වැඩි නිසා මම හිතනවා තව කාලයක් අරගෙන අලුත් ගීතයක් නිකුත් කරන්න.

අලුත් ගීතයට ලැබෙන රසික ප්‍රතිචාර මොන වගේද?

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. බුද්ධිමත් ශ්‍රාවකයෝ පිරිසක් මා වටා ඉන්නවා කියලා මට හිතෙනවා ඔවුන් දක්වන ප්‍රතිචාර මත. යූ ටියුබ් එකේ මේ ගීතය ප්‍රචාරය වෙනවා. එහිදි රසිකයෝ දක්වන ප්‍රතිචාර ඉතා ඉහළයි. ගොඩක් අය ගීතය ගැන නිර්මාණත්මක අදහස් දෙනවා. ඇත්තටම ඒ ගැන මට ගොඩක් සතුටුයි. මම හිතනවා මේ ගීතය ඉහළ පිරිසක් ආදරයෙන් වැළඳගනියි කියලා.

අද ගොඩක් නවකයෝ හින්දි තනුවලට ගීත නිර්මාණය කරනවා?

ඔව්, ගොඩක් අය අද හින්දි, දමිල ගීත රිමෙක් කරනවා. වර්තමානය වෙන කොට ඒ තත්ත්වය වැඩි වෙලා තියෙනවා දකිනවා. හැබැයි ඉතින් මේක අද ඊයේ ඇතිවුණ දෙයක් නොවෙයි. අතිතයෙත් මෙහෙම හින්දි ගී තනුවලට ගීත ගොඩක් නිර්මාණය වෙලා තියෙනවා. විශේෂයෙන්ම ජෝතිපාල මහත්මයා ගායනා කරපු ගීත බොහෝමයක් තියෙන්නෙත් හින්දි ගී තනුවලට. මට දැනෙන විදිහට හින්දි, දමිල වගේ ගී තනුවලට නිර්මාණය වුණ සිංහල ගීත අහන්නත් අද වෙනම පිරිසක් ඉන්නවා කියලා. මගෙත් තියෙනවා ගීත කිහිපයක්ම ඒ විදිහට නිර්මාණය වුණ. ශ්‍රාවකයෝ රසවිඳිනවා නම් මම දකින්නේ නැහැ එහි වැරැද්දක් තියෙනවා කියලා.

ගීතයක් නිකුත් කරන්න මේක හොඳ කාලයක්ද?

අපේ රටේ තියෙන දේශපාලන පසුබිමත් එක්ක රටේ ජනතාව අද ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දිලා තියෙනවා. තව ඉදිරියට ඉතින් හොඳ කාලයක් ලැබෙයිද කියලා හිතන්න අමාරුයි මේ රට යන විදිහට. කලාකරුවෙක් විදිහට අපේ නිර්මාණත් නිකුත් කරන්න බැරිව ඉන්න බැහැ. මොකද අපේ පැවැත්මත් තියෙන්නේ අපි කරන නිර්මාණ හරහා නිසා. ඉතින් රටේ තත්ත්වය හොඳඳ නරකද කියලා බලලා නිර්මාණ නිකුත් කරන්න බැහැ අපිට.

බුද්ධික සේනාධීර